spot_img
spot_imgspot_img

ගාල්ලේ බිංගෙට රිංගූ දෙදෙනාගෙන් අයෙක් මරුට, අනෙකා අතුරුදන්

පුවත්

විදෙස්

ගාල්ල, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති දුම්රිය උමං මාර්ගයක් තුළ සිටි තරුණයන් දෙදෙනකුගෙන් එක් අයකු ඊයේ (03) සවස මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වැදී මියගොස් ඇති අතර අනෙක් තරුණයා අතුරුදන් ව ඇතයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර තල්පාවිල පදිංචිව සිටි දොන් දිල්ශාන් චමුදිත රවිඳු ධර්මසේකර නමැති 22 හැවිරිදි අයෙකි. ඔහු මෙවර උසස් පෙළ විභාගයෙන් ඒ සාමර්ථ 02ක් සහ බී සාමාර්ථ 01ක් ලබමින් සමත්ව සිටි බවත් නැවත විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි බවත් ඔහුගේ මව පවසා ඇත.

මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් මියගිය තරුණයාගේ මව කියා ඇත්තේ තම පුතු 03 වැනි දා මාතර සම්මන්ත්‍රණයකට සහභාගීවන බව පවසා උදෑසන නිවසින් පිටත් වූ බවයි. නමුත් ඔහු කවුරුන් සමඟ ගියා ද ගාල්ලට පැමිණියේ කවර හේතුවක් නිසා ද යන්න මව දන්නේ නැත. මව පවසන්නේ මියගොස් ඇත්තේ තමන්ට සිටි එකම දරුවා බවයි. වසර 20කට පෙර සැමියා තමා හැරගිය පසු දරුවා සමඟ තම මවගේ නිවසේ ජීවත් වූ බව ද ඇය කියා ඇත.

මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ රියදුරු සිසිර ද සිල්වා පවසන්නේ 1.40ට මාතරින් පිටත් වූ දුම්රිය කටුගොඩ දුම්රිය ස්ථානය පසුකළ විට ගාල්ල මිනුවන්ගොඩ දුම්රිය උමං මාර්ගයෙන් තරුණයන් දෙදෙනකු එළියට එන ආකාරය තමන් දුටු බවයි.

ඒ අවස්ථාවේ දී දුම්රියේ නලාව නාද කළ බව ද ඔහු පවසා ඇත. එක් තරුණයකු පැත්තකට පැන ඉවත් වූ බවත් අනෙක් තරුණයා දුම්රියේ වැදුණු බවත් ඔහු පවසයි.

ගාල්ල පොලිසිය පවසන්නේ මියගිය තරුණයා සමඟ සිටි ඔහුගේ මිතුරා කවුරුන්ද යන්න මෙතෙක් සොයා ගත නොහැකි වූ බවයි. ඔහු අතුරුදන් ව ඇති බව ද මරණ පරීක්ෂණයේ සාක්ෂි දීමට කැඳවීමට ඔහු සොයා ගත නො හැකි බව ද පොලිසිය කියයි.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා මරණ පරීක්ෂණයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උසස් පෙළ හොඳින් සමත්ව පැහැදිලි අනාගතයක් හිමිව තිබුණු මෙවන් තරුණයකු තම මවටත් බොරු කියා නිවසින් පැමිණ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු ව ඇති බවයි. තමන් යෙදෙන කාර්යය පිළිබඳ තරුණ දරුවන් මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් මේ වළක්වා ගත හැකි මරණ බවත් හදිසි මරණ පරීක්ෂකවරයා අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!