මතුගම බෝපිටිය පාසල අසළ දී නාදුනන පිරිසක් විසින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව අද (24) උදෑසන වාර්තා විය. මතුගම පොලිසිය කිය ාසිටියේ මෙලෙස ඝාතනය කර ඇත්තේ මතුගම බෝපිටිය පදිංචි වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයකු බවයි.
ඔහු සමඟ සිටි අයකු ද බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ගම්පහ, උඩුගම්පොළ, බටපොත ප්රදේශයේ අද සවස සිදුවූ වෙඩි තැබීමකින් ද පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කීවේය. මියගිය පුද්ගලයාගේ උදරයට වෙඩි පහර කිහිපයක් ම වැදී තිබුණු බවත් රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
මියගිය පුද්ගලයා ලොරි රථයකින් පැමිණ ඉන් බසින ආකාරය ඝාතනය සිදුවූ ස්ථානයේ ඇති සීසීටීවී කැමරාවක සටහන්ව ඇත. ඔහු ලොරියෙන් බසින තුරු එතැනට යතුරුපැදියකින් පැමිණ සිටි දෙදෙනකු හොඳින් බලා සිටින අතර කිසිවක් නොදන්නා මියගිය පුද්ගලයා ලොරියෙන් බැස්ස අවස්ථාවේ දී පසු පැදිකරු පැමිණ ඔහුට වෙඩි තබා යතුරුපැදියේ නැග ඉවත්ව යන ආකාරය ද කැමරාවල සටහන්ව තිබේ.
ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්රදේශයේ දී ද අද (24) සවස වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් රන්තොටුවිල නුගුඩුමුල්ල හංදියේ කොණ්ඩා කපන ස්ථානයක් අසලදී මෙම ඝාතනය සිදුකර ඇත. එම කොණ්ඩා කපන ස්ථානයේ හිමිකරු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මීට අමතරව අහුංගල්ල ඌරගස්මංහන්දිය මාර්ගයේ දී ද අද (24) දහවල් වෙඩි තැබීමක් සිදුව එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර සිටියි. එලෙස රෝහල්ගත කළ පුද්ගලයාගේ පාදයකට වෙඩි වැදී ඇති අතර තත්වය බරපතල නැතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.