හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාකින් පසුව මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
එහි දී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමේ සූදානමක් පිළිබඳ ද අවධානය යොමුව ඇතත් ඔහු නොපැමිණෙන බව ද වාර්තා වෙයි.
තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ජනතා අරගලය අතරතුර රටින් පිටව ගොස් සිංගප්පූරුවේ දී ඉල්ලා අස්වූ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට තායිලන්තයේ රැඳී සිටියි. ඔහු අගෝස්තු 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශ කරන ලද්දේ රාජපක්ෂ පවුලේ ඥාතියකු වූ උදයංග වීරතුංග විසිනි.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ උදයංග වීරතුංග එම ස්ථානයෙන් පිටතට පැමිණ හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශ කළේය.
එතැන් පටන් මෙරට බහුතරයක් ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පවා ගෝඨාභයගේ පැමිණීම පිළිබඳ වාර්තා කළ අතර උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ මිග් යානා ගනුදෙනුව සම්බන්ධ අවධානයක් යොමු කළේ නැත.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තා වන්නේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් ගැන කිසිම තොරතුරක් වාර්තා වන්නේ නැත.