spot_img
spot_imgspot_img

“ගමරාලගේ අඬහැරය” එළි දකී

පුවත්

විදෙස්

“ගමරාලගේ අඬහැරය” නමින් ගොවිතැන, ගම, ගමේ කම, ගැමි දිවිය සහ ගැමි සමාජ සංස්කෘතීන් ගැන කතා කරන සංවාදයේ යෙදෙන නව සයිබර් අවකාශයක් ඊයේ (18) ආරම්භ කෙරිණි.

ගාල්ලේ පිහිටි දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක සභික මාධ්‍යවේදී සමන් සී. ලියනගේ ඇතළු මාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වෙබ් අවකාශය අන්තර්ජාලයට එක්කිරීම සිදුකෙරිණි.

සමාජ ක්‍රියාකාරිකයකු වන රවීන්ද්‍ර ජාගොඩ විසින් මෙය ආරම්භ කළ අතර කුඩා කළ සිට ගැමි දිවියට හුරුපුරුදුව සිටින ඔහු ගොවිතැන් කරන, ගොවිතැනින් ජීවත් වන පුද්ගලයෙකි. දැනට වසර ගණනාවකට පෙර සිටම ගමේ ගොවියකු ලෙස වෙනස්ම ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සමස්ත සමාජය තුළ මතවාදී ප්‍රවේශයකට පිවිසීමට කටයුතු කරමින් සිටින ජාගොඩ ගැමියකු ලෙස නූතන සමාජය අතික්‍රමණය කිරීමට උත්සාහ ගනී.

“ගමරාලගේ අඬහැරය” ඔහු facebook පිටුවක් ලෙස පවත්වාගෙන යයි. මෙම සබැඳියෙන් එයට පිවිස ඕනෑම අයකුට ඒ හා සම්බන්ධ වී තම අදහස් එහි පළ කිරීමටත්, ගමරාල සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාව තිබේ.

මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක සභික රාවය පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සමන් සී. ලියනගේ ද සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වීමට වසර කිහිපයකට පෙර “ගාල්ලේ ගල් ලෑල්ල” නමින් පොදු අවකාශයක් පවත්වාගෙන ගියේය. ගාල්ල බස් නැවතුමේ “ගාල්ලේ ගල් ලෑල්ල” පවත්වාගෙන ගිය අතර ඕනෑම අයකුට එහි තම අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබිණි. ඊට සමගාමීව පසු කළෙක “වඳුරඹ ගල් ලෑල්ල” වඳුරඹ බස් නැවතුමේ ආරම්භ කෙරිණි.

සමාජ මාධ්‍ය මෙරට ප්‍රචලිත ‍වීමට පෙර ඕනෑම කෙනෙකුට සිය නිර්මාණ, අදහස් සහ ගැටලු ඉදිරිපත් කිරීමට පැරණි නමකින් නව ආරක අවකාශයක් නිර්මාණය කළ සමන් සී. ලියනගේ මාධ්‍යවේදියා ගමරාල ලෙස හඳුන්වන රවීන්ද්‍ර ජාගොඩගේ මේ උත්සාහය ගැන දැක්වූයේ මෙවැනි අදහසකි.

“අද මූලු ලෝකයේ ම සන්නිවේදනය කියන්නේ ඉතාමත් පහසු තැනකට ඇවිල්ලා. ඒ වුණත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමත්, සමාජ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ නිසි සංවාදයක් ගොඩනැගීමත් ඇත්තටම වෙනවා ද කියන එක ගැටලුවක්. එවැනි කාලයක මෙතෙක් මාධ්‍යවේදියකු නොවුණු නමුත් සමාජයට දැවැන්ත බලපෑමක් කළ හැකි ගමාරලගේ චරිතයට නව පනක් සපයපු ජාගොඩ සහෝදරයා මේ තැබූ ඉදිරි පියවර අපිට ඉතාමත් සතුටුදායක දෙයක්. ඔහු වෙබ් අවකාශ භාවිතා කරමින් ගමරාල කියන චරිතය, මේ සමස්ත සමාජයේ සළකුණ ඔසවා තබනවා. එයට අභියෝග තිබෙනවා. නමුත් ගමරාලගේ අඬහැරය තුළින් අපිට පෙනෙනවා ශ්‍රී ලාංකීය සමාජයට විශාල බලපෑමක් කළ හැකියි කියලා. ඇත්තටම නූතන මාධ්‍ය භාවිතා කරමින් නූතන තාක්ෂණය තුළින් කළ යුතු දේ මෙයයි.”

ගමරාල හෙවත් රවීන්ද්‍ර ජාගොඩ පවසන්නේ “ගමරාළගේ අඬහැරය” සාමාන්‍ය facebook පිටුවක් ලෙස පමණක් නොව ගැමි අදහස් දක්වන ගැමි වහරෙන් සංවාදයේ යෙදිය හැකි අවකාශයක් ලෙස භාවිතා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!