කිකිළි බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට නිෂ්පාදනය ලක්ෂ 30කින් පමණ අඩුවීම, සත්ව ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවක් වී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පවසයි.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ කුකුළු ගොවිපොළවල් 7,000ක පමණ ප්‍රමාණයක් පවතින බවයි. එම ගොවිපොළවලින් දිනකට බිත්තර ලක්ෂ 70ක් පමණ ලබාගත්ත ද මේ වනවිට එය ලක්ෂ 40 දක්වා අඩුවී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
කුකුළු කෑම සඳහා සහල් සහ හුණු සහල් යොදා ගැනීම තහනම් කර තිබීම හේතුවෙන් සත්ව ආහාර සඳහා බහුලව යොදා ගන්නේ බඩ ඉරිඟුය. බඩ ඉරිඟු නිෂ්පාදනය ද මේ වනවිට 50%කින් පමණ අඩුවීම හේතුවෙන් කුකුළු ආහාර නිෂ්පාදනය බරපතල ගැටලුවක් වළුී තිබේ.
කුකුළු ආහාර කිලෝ ග්‍රෑමයක් රුපියල් 65.00ට පැවති අතර ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වනවිට එම ආහාර කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 275.00ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙවැනි කරුණු හේතුවෙන් කිකිළි බිත්තරයක නිෂ්පාදන වියදම පමණක් රුපියල් 48.00ක් වී ඇතැයි ද එක් බිත්තරයක් ප්‍රවාහනය සඳහා ද රුපියල් 5.00ක පමණ මුදලක් තැබීමට සිදුව ඇති නිසා තොග මිල රුපියල් 65.00ට ආසන්න වී ඇති බව ද සරත් අත්තනායක පවසයි.
ඔහු පවසන්නේ මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් කුකුළු ගොවිපොළවල් විශාල සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි. ඉන්දියාවෙන් බිත්තර ආනයය කළ ද එක් බිත්තරයකට රුපියල් 40.00කට වඩා වැඩිවන බව ද ඔහු පැවසීය.
බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ තුළ දෛනික බිත්තර ඉල්ලුම ද සීඝ්‍රයෙන් අඩු වී තිබේ.