spot_img
spot_imgspot_img

හික්කඩුවේ පන්සලක හිමිනමක් පොලිස් උපදෙස් නොතකා අධිකරණයටත් අපහාස කරයි. පොලිසියත් හැරී යයි

පුවත්

විදෙස්

හික්කඩුව වැරැල්ලාන ශ්‍රී නෙළුම්විල විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දමන්න යැයි පොලිසියෙන් නියෝග කර තිබිය දී එම උපදෙස් නොතකා අද (07) සවස එම විහාරස්ථානයේ යළි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර ඇත.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොතකා කරනු ලබන අපරාධමය වරදක් වන බැවින් විහාරාධිපති හිමියන් වන වැලිපොතයායේ ඥානධජ තිස්ස හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් ද සිදුකර ඇත.

අනවසර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හෝ ශබ්ද විකාශන යන්ත්‍රයක් සඳහා ලබා දී ඇති කොන්දේසි උල්ලංඝනය කිරීම ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව අපරාධමය වරදකි. ඒ අනුව පොලිසිය කළ යුත්තේ එවැනි වරදක් සිදුකරන යම් අයකු සිටීනම් එම භාණ්ඩ සහ උපකරණ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පොලිස් නීති කොට්ඨාසය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත දැනුම් දීමයි.

මේ විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන බවට ගම්වාසියකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කළ මීටියාගොඩ පොලිසිය විහාරාධිපති හිමියන්ට මෙම වරද පිළිබඳ කරුණු පැහැදිළි කර දී කිසිසේත්ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා ‍කළ නොහැකි බැවින් එසේ නොකරන්න යැයි අවවාද කර තිබිණි.

එසේ වුව ද විහාරාධිපිති හිමියෝ එම අණ නොතකා අද (07) දායක සභාව කැඳවා එහි සාමාජිකයන් 100 දෙනකුගෙන් පමණ ඔවුන්ට ශබ්ද විකාශන යන්ත්‍ර අවශ්‍යයැයි පෙත්සමකට අත්සන් ද ගෙන ශබ්ද විකාශනය නැවත ආරම්භකර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට පටහැනි ඉල්ලීමක් කිරීමෙන් එම ලේඛනයට අත්සන් කළ සියලු පුද්ගලයන් ද ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරදට හසුවන බව නීතිවේදීහු පෙන්වා දෙති.

අද නීති විරෝධී ශබ්ද විකාශනය යළි එම හිමියන් විසින් ආරම්භ කිරීමත් සමඟ ගම් වැසියන් මීටියාගොඩ පොලිසියට ඒ බව දුරකථනයෙන් දැනුම් දී ඇති අතර 1960 පොලිස් පැමිණිලි කොමිසමට ද දැනුම් දී තිබේ. එම දැනුම්දීම් අනුව උප පොලිස් ‍පරීක්ෂකවරයකු විහාරස්ථානයට පැමිණි අවස්ථාවේව දී විහාරස්ථ හිමියන් ඇතුළු පිරිසක් විසින් ඔහුගේ උපදෙස් ප්‍රතික්ෂේප කරමින් නැවත හරවා යවා ඇත.

ශබ්ද විකාශන බලපත්‍ර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ 2031/2007 චක්‍රලේඛය අනුව පොලිසිය ක්‍රියාත්මක වී මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා අධිකරණයට දැනුම් දීම අත්‍යාවශ්‍ය වුව ද එසේ ක්‍රියා නොකිරීමෙන් පොලිසිය විහාරස්ථානය අවට පදිංචිකරුවන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කරන අතරම පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය නොසළකා හැරීමේන රාජකාරී පැහැරහැරීමක් ද සිදුවෙයි.

කිසියම් ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙයි. පොලිසියේ 307 අංක සහිත පෝරමයක් තිබේ. එම පෝරමයේ ශබ්ද විකාශන යන්ත්‍ර නිකුත් කිරීම සහ භාවිතය සම්බන්ධ උපදෙස් පසු පිටෙහි සඳහන් කර ඇත. එහි (ඉ) ලෙස සඳහන් උපදෙස්වල දැක්වෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍ර නිකුත් කළ හැක්කේ පෞද්ගලික ස්ථානයකට පමණක් බවයි. එසේ නම් පොදු ස්ථානයකට ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීමට පොලිසියට කිසිදු හැකියාවක් නැත. අනවසර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අපරාධමය වරදකි.

‍බෞද්ධ විහාරස්ථානයක් යනු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පොදු ස්ථානයක් ලෙස පිළිගන්නේ යැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ලේඛනයක දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් විහාරාධිපති වැලිපොතයායේ ඥානධජ තිස්ස හිමි‍ පවසන්නේ තමන් කරන්නේ බෞද්ධාගමික කාර්යයක් බැවින් රටේ නීතිය තමන්ට අදාල නැති බවයි. ශබ්දයෙන් ධර්මය නොදැම්මොත් දහම් පාසලට ළමයින් නොපැමිණෙන බව ද හිමියෝ කීහ.

බෞද්ධාගම නීතිගරුක නොවිය යුතු ද යන්නත් අවිහිංසක දහමක මෙවැනි හිංසා ක්‍රියාවන් අනුමත කරන්නේ ද යන්නත් විමසූ විට ඒ හිමියන් පිළිතුරු දෙන්නේ නැත.

මේ සම්බන්ධයෙන් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායකගෙන් විවමසූ විට ඇය මෙසේ කීවාය.

“කිසිම ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න බෑ, ඒකට රටේ පිළිගත් නීතියක් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ පොලිසිය මේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම. පොලිසිය සිවුරට ආගමට යටවෙනවා මේ පන්සලේ සිද්ධියට අපි අනිවාර්යයෙන් ම මැදිහත් වෙනවා. මේ ගැන පොලිසියේ ඉහළම නිලධාරීන්ටත් පැමිණිලි කරලා ජාතික පොලිස් කොමසමට, මානව හිමිකම් කොමිසමට වගේම ශ්‍රේෂ්ඨාධිකරණයටත් දැනුම් දෙනවා. එතකොට හාමුදුරුවෝ අධිකරණයෙන් ම වරදකරුවෙක් වේවි. කතාකරලා උපදෙස් දීලා නීතිය පැහැදිලි කරලා ප්‍රශ්නය විසඳන්න බැරිනම් අපි සංවිධානයක් ලෙස ඒ දේ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!