පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට අද (29) උදෑසන සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සමඟ පොලිසිය ද අවස්ථා දෙකක දී කඩා වැදී කාර්යාලය අනවසරයෙන් පිරික්සූ බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.
නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පිහිටි පක්ෂ කාර්යාලයට මෙම පිරිස පැමිණ ඇත.
දුමින්ද නාගමුව පවසන්නේ කිසිම දැනුම් දීමක් නොකර සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පිරිසක් සමඟ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පැමිණ තම විරෝධතාවය මධ්‍යයේ සමස්ත කාර්යාලය ම පරීක්ෂා කළ බවයි. ඔවුන් නික්ම ගොස් සුළු වේලාවකින් තවත් පොලිස් කණ්ඩායමක් පෙර පරිදිම පැමිණි බවත් ඔවුන් සතුව සර්ච් වොරන්ට් එකක් තිබූ බවත් නාගමුව කීවේය. එය වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නිකුත්කළ එකකි.
දෙවනුව පැමිණිි පොලිස් කණ්ඩායම ඔවුන්ට පෙර තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කාර්යාලය පරීක්ෂා කළ බව නොදන්නේ යැයි ද එහි සිටි පිරිසට කියා ඇත.
කෙසේ වෙතත් පරීක්ෂා කිරීම සඳහා පැමිණියේ කවර පොලිසියකින් ද යන්න පවා ඔවුන් සඳහන් නො කළේ යැයි ද දුමින්ද නාගමුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.