රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයන දේශපාලන පුත්‍රයකු රටින් පැනගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ජූලි (09) වැනි දා රාත්‍රීයේ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනිබත් කෙරිණි. එහි ප්‍රධාන සැකකරුවකු වන මෙම පුද්ගලයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ගේ පුත්‍රයෙකි. එම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට සමගි ජන බලවේගයේ කොළඹට ආසන්න ප්‍රදේශයක ආසන සංවිධායක වරයකු ලෙස කටයුතු කරයි.
සැකකරු පසුගිය 10 වැනි දා ඩුබායි වෙත පිටත්ව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරු රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස අසළට ගොස් ජනාධිපති මන්දිරය වැටලූ ආකාරයට රනිල් වික්‍රමසිංහගේ නිවස වැටලීමට යන බවත්, ඒ සඳහා රට වටින් පැමිණෙන ලෙසත් ඉල්ලා සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ මුදා හැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ නිවස වටලා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන ලිපියට අත්සන් ලබාගන්නා තුරු නිවසින් පිටවී නොයන බවට ද එම වීඩියෝවෙන් ඉල්ලා තිබිණි.
මෙම වීඩියෝව පටිගත කිරීමට උදව්කළ කාන්තාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.