යතුරුපැදිවල පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් නොසිතූ මොහොතක සිදුවූ පුද්ගල මරණ දෙකක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
එලෙස මියගොස් ඇති එක් අයකු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි සහකාර නිලධාරීවරයකු වන අතර අනෙක් තැනැත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මූකිරිගල පදිංචිව සිටි වඩු කාර්මිකයෙකි.
සමෘද්ධි නිලධාරීවරයා ගාල්ලේ , ගිංතොට, පියදිගම ප්‍රදේශයේ පදිංචි කොත්තිගොඩ කංකානම්ගේ චන්ද්‍රසිරි නමැති 58 හැවිරිදි දෙදරු පියෙකි.
පුගිය 04 වැනි දා මහමෝදර ප්‍රදේශයට සිය යතුරුපැදියෙන් ගිය ඔහුට යළි නිවසට පැමිණීම සඳහා අවශ්‍ය පෙට්‍රල් තිබී නැත. මේ හේතුවෙන් සිය හිතවතකුගේ පාපැදියක් ඉල්ලාගෙන නිවසට එමින් සිටිය දී නිවස ආසන්නයේ දී ම එහි තිරිංග කැඩී ගොස් පාපැදිය පාලනය කරගත නොහැකිව අසළ තිබූ ඩොංගා ගසක හිස වැදීමෙන් ඇද වැටී රෝහල්ගත කර ඇත. දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු පසුගිය 07 වැනිදා මියගියේය.
මූකිරිගල පදිංචි ගිරුවාගමාච්චිගේ ආරියසිංහ මියගිය අනෙක් තැනැත්තාය. වඩු කාර්මිකයකු වූ ඔහු 38 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු පසුගිය 05 වැනි දා පදිංචි නිවසට කිලෝ මීටර 02ක් පමණ දුරින් පදිංචිව සිටින සිය මවට ආහාර රැගෙන යතුරුපැදියකින් ගිය ආරියසිංහට යළි නිවසට පැමිණීම සඳහා එහි ඉන්ධන තිබී නැත. මේ හේතුවෙන් පයින්ම නිවසට එද්දී පිටුපසින් ආ පා පැදියක ඔහු ගැටී තිබේ. මහ මඟ ඇඳ වැටුණු ඔහු තුවාල හේතුවෙන් වීරකැටිය රෝහලට ඇතුළත් කර එතැනින් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. ජූලි 07 වැනි දා ඔහු ශල්‍ය කර්මයකට ලක්කළ ද පසු දින (08) අලුයම මියගියේය.
මෙම මරණ දෙක සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් සිදුකරන ලදී.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍යවරුන්ගේ වාර්තා සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් ඔහුගේ නිගමනය වූයේ මෙම පුද්ගලයන් දෙදෙනාම හිස්කබලට සහ මොළයට සිදුවූ හානි හේතුවෙන් මියගොස් ඇති බවයි.