spot_img
spot_imgspot_img

“මම දරුවන්ට කොස්සෙන් ගැහුවේ නෑ. කොස්ස පුරුදු කළා.” ගාල්ලේ ගුරුවරිය කියයි

පුවත්

විදෙස්

ගාල්ල, ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් අපි පසුගිය දා අනාවරණය කළෙමු. එම ලිපිය මෙතැනින්.

එම අනාවරණයෙන් පසු විද්‍යාලයේ විදුහල්පතිවරයා ද අප වෙබ් අඩවියට කතා කළ අතර ඉන් අනතුරුව විදුහල්පතිවරයාගේ පැහැදිළි කිරීම ද අප විසින් ප්‍රකාශයට පත්කරන ලදී. එම ලිපිය මෙතැනින්.

එම සිද්ධියට අදාල ගුරුවරියගේ නම හෝ පන්තිය අප එම කිසිදු ලිපියක පළ නොකළ අතර එම ප්‍රවෘත්තිය rata.lk වෙබ් අඩවියේ පළකරන ලද්දේ දින කිහිපයක් පුරා අදාල තොරතුරු සම්බන්ධයෙන් කරුණු තහවරු කරගැනීමෙන් අනතුරුවය.

ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉතාමත් වැදගත් බවත් ඔවුන් මානසික හෝ ශාරීරික වශයෙන් හිංසනයට පත්කිරීම නොකළ යුතු දෙයක් බවත් අපි තරයේ පිළිගන්නා කරුණකි.

අද (20) එම ගුරුවරිය අපගේ වෙබ් අඩවියට ඊමේල් පණිවිඩයක් එවා තිබුණාය. ඉන් අනතුරුව ඇය සිය ජංගම දුරකථනයෙන් මීට සුළු වේලාවකට පෙර අප අමතා ඉල්ලා සිටියේ ඇයගේ පැහැදිළි කිරීම පළකරන ලෙසයි. එහි විද්‍යාලයේ පරිපාලනය භාර නිලධාරිනියකට ඇය චෝදනා කරන අතර එම චෝදනාව කොතරම් දුරකට සාධාරණ ද යන්න අප දන්නේ නැත.

එම චෝදනාව හැර අන් සියලු දේ වචනයක් හෝ වෙනස් නොකර මෙහි පළකරන බව අපි ප්‍රකාශ කළ විට ඇය ඊට එඟවන්නේ නැත.

අපගේ මුල් අනාවරණවල දී මෙම ගුරුවරියගේ නම හෝ ඇය උගන්වන පන්තිය පිළිබඳව හෝ සටහන් නොකළ ද තම නම අනිවාර්යයෙන් ම සඳහන් කරන්න යැයි ද ඇය අපෙන් ඉල්ලා සිටියාය. නමුත් එමගින් තමන්ට සිදුවිය හැකි අගතිය පිළිබඳ පැහැදිළි කළ ද ඇය එය පිළිගන්නේ නැත.

එමෙන් ම මෙම ලිපිය පළ කළ ද ඇය අප වෙබ් අඩවියට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පවසයි. ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත. එය ඇයට ඇති අවශ්‍යතාවකි.

කෙසේ වෙතත් ඇයගේ දැඩි ඉල්ලීම මත ඇයගේ ලිපිය සම්පූර්ණයෙන් ම පහළින් පළ කරන අතර පරිපාලනයට සම්බන්ධ ගුරුවරියකට ඇය එල්ලකරන චෝදනාවක් පමණක් සංස්කරණනයට ලක්කර ඇත.

ඇය විසින් යොමුකර ඇති ලිපිය පහතින්,

===================

සංස්කාරකතුමනි,

“ගාල්ලේ පාසලක ගුරුවරියකට යකා වැහිලා දරුවන්ට පහර දෙයි……” යන ශීර්ෂයෙන් යුතු ව 2022-06-17 සහ 2022-06-18 යන දිනයන්හි rata.lk නමැති ඔබගේ වෙබ් අඩවියෙහි මා හට විරුද්ධ ව සඳහන් කර තිබූ සියලු කරුණු සම්පූර්ණ අසත්‍යයක් බව වගකීමෙන් යුතු ව තරයේ ප්‍රකාශ කරමි. එමෙන්ම එය ලියූ මාධ්‍යවේදියා එම ලිපිය ලිවීමට පෙර ඔහු සඳහන් කළ කරුණු සත්‍යදැයි කියා මගෙන් කිසිදු විමසා බැලීමක් සිදු කළේ නැත. මේ සම්බන්ධ ව මගේ පාර්ශ්වයෙන් ද කරුණු විමසා බලා දෙපාර්ශ්වයෙහි ම කරුණු ලිපියට අන්තර්ගත කොට එය සැකසීමට ඔහුට වගකීමක් සහ යුතුකමක් තිබුණි. නමුදු එම වගකීම හා යුතුකම සිතාමතා ම පැහැර හැරීම තුළින් ඔහු මාධ්‍යවේදියෙකු ලෙස සිදු කර ඇත්තේ බලවත් සදාචාරාත්මක නොවන වරදකි. 
ඔහු මෙම ලිපියෙහි මා සිදු කළා යැයි දක්වා ඇති සියලු වැරදි සම්පූර්ණ අසත්‍යයක් බව නැවත ද ප්‍රකාශ කරමි. 
ඩබ්ලිව්.ඒ.කේ.චන්දිමා රුවන්කුමාරි වන මම ගාල්ල ඕල්සේන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 4-C ශ්‍රේණිය භාර ව කටයුතු කරමි. මම ගුරු පුහුණුව පිළිබඳ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව (ප්‍රාථමික) හා ශාස්ත්‍රවේදී උපාධියත්, අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ලබා ඇත්තෙමි. ළමා මනෝ උපදේශනය පිළිබඳ පුහුණුවක් ද ලබා ඇත්තෙමි. 
මා මෙම පාසලට පැමිණියේ 2015 වර්ෂයේ සැප්තැම්බර් මස සිට මාස තුනක කාලයක් සඳහා දුන් අනියුක්තයක් නිසා ය. එම මාස තුන අවසානයේ දී එම පන්තියේ දරුවන්ගේ දෙමව්පියන් විසින් ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට ගොස් එම පන්තියේ පන්ති භාර ගුරුවරයා ලෙස මා පත් කර ගත්තේ මාගේ ඉගැන්වීම් කටයුතු හා දරුවන්ට ඇති රැකවරණය පිළිබඳ හොඳින් හඳුනාගත් නිසා බව ඔවුන් පැවසූහ. එතැන් සිට මේ දක්වා ම පාසලේ දරු පිරිසගේ අවංක ආදරය දිනා ගැනීමට මා සමත් ව සිටින බව නිහතමානීව හා ⁣නොබියව ප්‍රකාශ කරමි. එමෙන්ම දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ ද හොඳ හිත සහ නොමඳ සහාය මා පසුපසින් මේ දක්වා ම අයෝමය ශක්තියක් වී පවතී. 
සන්සුන් මනසකින් කටයුතු කරන්නට මා ලැබූ අධ්‍යාපනය, ගුරු පුහුණුව සහ සේවයෙන් ලද අත්දැකීම සහ පළපුරුද්ද මට නිරන්තර ව මඟ පෙන්වයි.⁣පොදුවේ පාසලේ බොහෝ දරුවන් ඔවුන් මුහුණ දෙන ගැටලුවල දී මගෙන් විසඳුමක් ඉල්ලීමට පෙළඹෙන්නේ මෙම මාධ්‍යවේදියා සඳහන් කළ ආකාරයේ යක්ෂාවේශයක් මා හට වැළඳී නොමැති බැවින් බව මගේ අදහසයි.දරුවන්ගෙන් මුදල් එකතු කර රංජනී ලවා පන්ති කාමරය පිරිසිදු කරගන්නවා වෙනුවට මම මගේ පන්තියේ දරුවන්ට කොස්ස ගෙන නිවැරදි ව අතුගාන ආකාරය පුරුදු කළෙමි. ඔවුනට එය මඟහැරුණු ඇතැම් දිනයක දී ඔවුන් නිවස කරා ගිය පසු පසුදා ඉගෙනගැනීමට හැකිවන පරිදි කොස්ස අතට ගෙන ඔවුන්ගේ ගුරුතුමිය වන මම පන්ති කාමරය අතු ගා තැබුවා මිස, ඒ කොස්සෙන් ඔවුනට පහර දී නැති බව කඳුලු පිරි දෙනෙතින් යුතු ව ප්‍රකාශ කරමි.
කිසිදු දිනෙක දරුවන්ට යහපතක් මිස අයහපතක් නොකළ මා හට විරුද්ධ ව අධ්‍යාපන නිලධාරීන්ට ගැනීමට ක්‍රියා මාර්ගයක් නොතිබීම පුදුමයට කරුණක්දැ යි මම විමසමි.
මවක වශයෙන් මගේ දියණියගේ හා පුතණුවන්ගේ අහිංසක ගති පැවතුම් හඳුනන මම කිසි දිනෙක එබඳු ම තවත් දරුවෙකුට කුරිරු ලෙස නොසලකමි. දරුවෙකුගේ හිස ඉදිමෙන ලෙස Permanent marker එකකින් මා පහර දී ඇතැයි හා දරුවෙකුට කොස්සකින් පහර දී එම දරුවා දින කිහිපයක් පාසල් නොගොස් නතර වී ඇතැයි යන මේ බරපතළ අසත්‍ය ප්‍රකාශය පිළිබඳ ව පාසලේ සමස්ත සිසු, ගුරු, දෙගුරු ප්‍රජාවගෙන් ප්‍රසිද්ධියේ විමසා බලන මෙන් මම නිර්භයව ඉල්ලා සිටිමි.
මාධ්‍ය ආචාර ධර්ම විනාශ කරමින් මෙබඳු දැඩි අසත්‍ය තොරතුරු රට පුරා පතුරන මෙවැනි වෙබ් අඩවි දැඩි පිළිකුලෙන් යුතු ව හෙළා දකිමි. 
තව ද ඕල්සේන්ට්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය යැයි කියා ගන්නා තැනැත්තිය (මෙම ස්ථානයේ තිබූ ප්‍රකාශයක් මෙම සිද්ධියට අදාල නොවන සහ වෙනත් අයකුගේ පුද්ගලික කාරණයක් හා සම්බන්ධ බැවින් අප විසින් ඉවත්කරන ලදී) මට නිරතුරුව තර්ජනය කරමින්, හිංසා පීඩා කරමින් රාජකාරියට බාධා කරයි. පාසල් කාර්යාලයට ගුරු විවේකාගාරයට ඇතුළු වීම තහනම් කර ඇත. එක් අවස්ථාවකදී මා හට උදෑසන පැමිණීම අත්සන් කිරීමට ඉඩ ලබා නොදුන් අතර හුණු කූරක් ගැනීමටවත් ඉඩක් ලබා නොදෙයි.
ඇය මට නිතර ම සිසුන් ඉදිරියේ දී ම පරුෂ වවචනයෙන් බැන වදියි.

2022-06-16 වන දින මගේ පන්ති කාමරයේ දරුවෙක් රෝගාතුර වූ අවස්ථාවේ මගේ පෞද්ගලික දුරකථනයෙන් ඒ බව මවට දැන්වීමි. දරුවා රැගෙන යාමට එම මව පැමිණි අවස්ථාවේ සිසුන් බැහැර යවන පොත ගැනීමට පාසල් කාර්යාලයට ගිය මට පරුෂ වචනයෙන් බැන වැද එළවා ගන්නා ලදී. එමෙන් ම “තමුසෙව එළවලා දාන්න කලින් යනවා” යනුවෙන් තර්ජනය කරන ලදී. ගුරු සාකච්ඡා සඳහා ද මාව සහභාගි කර ගන්නේ නැත. මේ හිරිහැර සියල්ල මම විදුහල්පතිතුමාට ද දන්වා ඇත. ඇය මට මෙලෙස හිරිහැර කිරීමට හේතුව වන්නේ ඇගේ වංචනික, නොහොබිනා ක්‍රියාවලට මා එකඟ නොවීමත්, ඕල්සේන්ට්ස් ප්‍රාථමික අංශය තුළ සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳ ව මා දැන සිටීමත් නිසා ය.
අක්මීමන මහා විද්‍යාලයේ සේවය කරමින් සිටිද්දී නියමිත කාලසීමාව අවසන් වීමට ද පෙරාතුව හදිසි අනියුක්තයක් දී මා ඕල්සේන්ට්ස් විද්‍යාලයට එව්වේ ද මෙවැනි ම වංචනිකයින් පිරිසකි.
2010 වසරේ සිට මාගේ කාර්ය සාධන පත්‍රිකා, වැටුප් වර්ධක අයදුම්පත් හා උසස්වීම් අයදුම්පත් අස්ථානගත කළ අක්මීමන මහා විද්‍යාලයේ වසර 13ක් තිස්සේ වැඩ බැලූ ගුරුවරයා විසින් එවකට අක්මීමන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකාව (වර්තමානයේ දී විදුහල්පතිවරියකි) සමඟ එකතු වී රහසේ කරන ලද කුමන්ත්‍රණයකින් මගේ හිමිකම් සියල්ල අහිමි කළ නිසා ඔවුනට විරුද්ධ ව මා මානව හිමිකම් කොමිෂන් සභාවේ ගොණු කළ නඩුව හේතුවෙන් මෙම නිලධාරී කල්ලිය අභූත චෝදනා නඟමින් මා පසුපස පැන්නීම තවමත් නතර කර නොමැති බව දැන් මට වැටහෙයි.

මෙම ලිපිය ලියූ මාධ්‍යවේදියා විසින් මෙම කරුණු සියල්ල විකෘති කොට ඔහුගේ හිතළුවක් ඉදිරිපත් කොට ඇත. මගේ වසර විස්සකට අධික ගුරු සේවා කාලය තුළ කවර අවස්ථාවකදීවත් දරුවෙකුට අයහපතක් හෝ අසාධාරණයක් කළා යැයි චෝදනා ලබා නැත. මෙම මාධ්‍යවේදියා අහේතුක ව මා හට සිදු කර ඇත්තේ බලවත් අපහාසයකි. ඔහු සිදු කර ඇත්තේ බරපතළ චරිත ඝාතනයකි. පළමු පත්වීමෙන් ම දුෂ්කර සේවයේ වසර අටකට ආසන්න කාලයක් සේවය කරමින් ගුරු වෘත්තියෙහි අවංක ව, කැපවීමෙන්, ධනාත්මක චින්තනයකට දරුවන් හුරු කරමින් කටයුතු කළ මා හට ‘යක්ෂණිය’ බඳු වචන හුවා දක්වමින් මෙම මාධ්‍යකරු කළ අපහාසය තරයේ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමින්, හෙළා දකින්නෙමි. බුදු රදුන් දෙසූ දහමට අනුව මෙම අපහාස මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමට උත්සාහ ගන්නා බව ද සඳහන් කරමි.
යම් සිද්ධියකට අදාළ තොරතුරක් පළ කරනවානම් ඒ සඳහා අදාළ දෙපාර්ශ්වයෙන් ම කරුණු විමසිය යුතුයි. එසේ නොකොට ඒකපාර්ශ්වික ලෙස වැරදි තොරතුරු ලබා දීම පිළිබඳ ව මෙම මාධ්‍යවේදියාටත්, අදාළ වෙබ් අඩවියටත් විරුද්ධ ව නීතිමය පියවර ගැනීමට මම කටයුතු කරමින් සිටිමි.
එම නිසා මවිසින් ඉහත දක්වන ලද කරුණුවල එකදු වචනයක් හෝ වෙනස් කිරීමක් හෝ අඩු වැඩි කිරීමක් නොකොට මෙයාකාරයෙන් ම ඔබගේ වෙබ් අඩවියෙහි පළ කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.

මෙයට,ඔබේ ක්‍රියාවෙන් අගතියට පත් වූ,ඩබ්ලිව්.ඒ.කේ.චන්දිමා රුවන්කුමාරි,
ගා/ඕල්සේන්ට්ස් විද්‍යාලය,කොටුව,ගාල්ල.

(ඇයගේ නම අප විසින් සඳහන් කරනු ලබන්නේ ඇගේ බලවත් ඉල්ලීම නිසා බව ද මෙහි දී නැවත සඳහන් කරමි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!