spot_img
spot_imgspot_img

ගිං – නිල්වලා ව්‍යාපෘතිය අරඹන්නටත් පෙර, කෝටි 401ක් පිල්ලි ගැහුවේ කවුද ?

පුවත්

විදෙස්

ගිං ගඟ සහ නිල්වලා ගඟ හරස්කර එහි ජලය හම්බන්තොට දක්වා ගෙන යාමේ ගිං-නිල්වලා ව්‍යාපෘතියේ අත්තිකාරම් මුදලක් ලෙස ලබාග්ත කෝටි 401කට සිදුවූ දෙයක් නැතැයි විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

ගිං-නිල්වලා ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 92,185 කි. එවැනි විශාල මුදලක් වැයකරමින් සිදුකිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා අධ්‍යයන වාර්තාවක් හෝ සිදුකර නොමැති අතර රුපියල් කෝටි 401ක මුදලක් චීන සමාගමකට අත්තිකාරම් ලෙස ලබා දී ඇත.

මෙම අත්තිකාරම් මුදල ලබාගෙන ඇති ආයතනය හෝ ලබාගත් පුපද්ගලයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව විගණන වාර්තාවේ දැක්වේ. අත්තිකාරම් මුදල් ගෙවා ඇතත් අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කිසිදු උත්සාහයක් හෝ දරා නැත.  

2014 වසරේ සැප්තැම්බර් මස 30 දින මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි තිබුණු අතර එහි දී සක්‍යතා අධ්‍යයනයක් සිදුකර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි.

එවකට මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 696ක් වූ අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමක් වෙත පිරිනමනු ලැබ තිබිණි. එසේ වුවද, චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුමේ කටයුතු අවසන් කර නොතිබූ බැවින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නැත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයත්, ඉදිකිරීම් පිරිනැමීමේ දී සහ අත්තිකාරම් මුදල් ලබාගැනීමේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාත් හේතුවෙන්න ව්‍යාපෘතිය සම්බන්ධ විමර්ශනයක් සිදුකිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක විසින් 2016-12-06 වැනි දින අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාවට අනුමැතිය හිමිවිය.

එහි දී ගිං-නිල්වලා හැරවුම් ව්‍යාපෘතියට අදාළව එළඹුණු කොන්ත්‍රාත් ගිවිසුම රජයට කිසිදු අතිරේක පිරිවැයක් දැරීමට සිදු නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව, කිසියම් පාර්ශ්වයකට ගිවිසුම ඒකපාර්ශ්විකව අවසන් කිරීමට අවශ්‍ය වේ නම්, එහි අහිතකර බලපෑම් හා පිරිවැය තක්සේරු කිරීම. මෙම කරුණට සම්බන්ධ නිලධාරින් විසින් මුදල් රෙගුලාසි, රජයේ කාර්යපටිපාටීන් හා චක්‍රලේඛ උපදෙස් කිසිවක් උල්ලංගනය කර තිබේද යන්න පිළිබඳව, කිසිදු අහිතකර ප්‍රතිඵලයකින් තොරව අත්තිකාරම් ගෙවීම් ප්‍රතිපූරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ද සොයා බැලීමට තීරණය විය. ඒ වනවිටත් අත්තිකාරම් මුදල් ගෙවා තිබූ බැවින් එම මුදල් ප්‍රතිපූර්ණය කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබිණි.

ණය ගිවිසුම් පවා අත්සන් කර නොතිබිය දී 2015 ජනවාරි මස 01 වැනි දා සිට 2015 ජනවාරි මස 07 වැනි දා දක්වා කාලයේ දී මහා භාණ්ඩාගාරය විසින් රුපියල් කොටි 354.9ක මුදලක් මේ ව්‍යාපෘතිය සඳහා නිදහස් කර ඇත.

2015 ජනවාරි 08 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වීමට පෙර අවසන් මොහොතේ එම මුදල නිදහස් කිරීම සම්බන්ධයෙන් එවකට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබිණි.

අත්තිකාරම් මුදල් ගෙවීම පිළිබඳ ඇතිවූ සැකය හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත බාරදීමට 2017 ජනවාරි 24 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී නිර්දේශ කර තිබිණි.

නමුත් ඒ කිසිදු පරික්ෂණයක් නිසි පරිදි සිදුවූයේ නැත. යහපාලන රජයේ අමාත්‍යවරු කිහිප දෙනකු ද මෙම ව්‍යාපෘතිය දඩමිමා කරගන්නා බවට එවකට චෝදනා එල්ල විය.

2017 ජූලි මස 29 වැනි දින, හම්බන්තොට මාගම්පුර වරාය China Merchant Port Holdings සමාගමට රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වයක් යටතේ දීර්ඝකාලීනව බදු පදනම යටතේ ලබාදීමට ගිවිසුම් අත්සන් කරන ලදී.

මේ වරාය සඳහා දිනකට විශාල ප්‍රමාණයක් මිරිදිය ජලය අවශ්‍ය බැවින් නැවත වතාවක් ගිං – නිල්වලා ව්‍යාපෘතියේ අවශ්‍යතාව ඉදිරිපත් වූ අතර එය ක්‍රියාත්මක කිරීමට එවකට ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් 2018 ජුනි මස 05 වැනි දින ඉදිරිපත් කරන ලද හම්බන්තෙට සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය ලබා දී තිබිණි. එම සංවර්ධන කාර්යයට ජලය සැපයීම සඳහා ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබිණි.

මෙම ව්‍යාපෘතිය මගින් පානීය ජල සැපයීම, කාර්මික ජල අවශ්‍යතා සැපයීම, හම්බන්තොට සංවර්ධන ප්‍රදේශයට අවශ්‍ය ජලය සැපයීම සහ වාණිජ කෘෂිකාර්මක සංවර්ධන කටයුතු සඳහා ජලය සැයීම සිදුකරන බව පැවසිණි.

මාදුගැටේ ප්‍රදේශයේ ජලාශයක් ඉදිකර එතැනින් ආරම්භකරන උමං මාර්ගයක් ඔස්සේ කොටපොළ දක්වා ජලය ගෙන යාටමත්, කොටපොළ දී නිල්වලා ගඟ හරස්කර එතැනින් උමං මාර්ගයක් ඔස්සේ අම්පානගල ජලාශය වෙත සහ එතැනින් මුරුතවෙල දක්වා ජලය ගෙන යාමටත් යෝජනා කර තිබිණි.

එතැනින් ජලය මුරුතවෙල සහ කිරම ඔයට මුදාහැරීමටත් අතිරික්ත ජලය චන්ද්‍රිකා වැවට යොමුකිරීමටත් සැළැස්මේ අරමුණ විය. අනතුරුව රිදියගම ජලාශය හරහා හම්න්තොට වරායේ ජල අවශ්‍යතා සපුරාලීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබිණි.

එසේවුව ද ගිං – නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. 2019 නොවැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපිතවරයා ලෙස පත්වීමෙන් පසු චමල් රාජපක්ෂ අමාත්‍යවරයා වාරිමාර්ග ඇමතිවරයා ලෙස මේ ව්‍යාපෘතිය යළිි ක්‍රියාත්මක කිරිමේ මූලික කටයුතු ආරම්භ කර තිබිණි. ඒ අතර නෙළුව ලංකාගම මාර්ගය ද කාපට් අතුරා සංවර්ධනය කළ අතර පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ පවා එම යෝජනාව ක්‍රියාත්මක කෙරිණි.

ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය අනුව නෙළුව ලංකාගම මාර්ගය සංවර්ධනය කිරීම එක් අනු ව්‍යාපෘතියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!