spot_img
spot_imgspot_img

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මාධ්‍යයට අනිසි බලපෑම්. මූලාශ්‍ර හෙළිකරන්න යැයි ලේඛකාධිකාරී කියයි

පුවත්

විදෙස්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරීවරයා මාධ්‍යවෙත් අනවශ්‍ය බලපෑම් සිදුකරමින් සිටී.

එය මෙරට මාධ්‍ය නිදහසට සහ පුරවැසියන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සිදුකරනු හානියක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ දෙවැනියා විසින් විශ්වවිද්‍යාලයේ නිල නිවසකට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු තාවකාලිකව සේවයෙන් ඉවත්කර විනය පරීක්ෂණයක් පැවැත‍්වෙන බව ceylonnews24.com වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ සංස්කරණයෙන් පවත්වාගෙන යන එම වෙබ් අඩවිය අදාල ප්‍රවෘත්තිය පළකර ඇත්තේ සියලු ලිඛිත සාක්ෂි ද සන්තකයේ තබා ගනිමිනි. එම පුවත පළවීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයෙන් යැයි පවසමින් සංස්කාරකවරයාට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර එම ප්‍රවෘතිය පළකිරීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බවත් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පවසා එන්තරවාසියක් එවන බව ද පවසා තිබිණි.

ඉන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති සහ ලේඛන අංශය යන ‍ලිපි ශීර්ෂය භාවිතා කරමින් 2022-05-27 වැනි දින රාහුල් සමන්ත හෙට්ටිආරච්චිනමට ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ සඳහන් කරුණු අනුව පැහැදිළි වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශය මෙරට නීතිය නොදන්නා බවයි.

වැඩබලන ලේඛකාධිකාරීගේ අත්සනින් යොමුකර ඇති එම ලිපිපයේ දක්වා ඇත්තේ ceylonnews24.com වෙබ් අඩවියේ පළකරන ලද “පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂ අංශයේ දෙවැනියා දොට්ට” නමැති ප්‍රවෘත්තියට අදාලව සංස්කාරකවරයා වෙත ලැබී ඇති ලේඛන විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර තොරතුරු වන බවයි. එබැවින් එම තොරතුරු වෙබ් අඩවිය වෙත ලැබුණු ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකරන බව ද ලේඛකාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත. මෙම අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවයක් අතට පත්වූයේ කෙසේ ද යන්න සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් ද පත්කර ඇති බව ලේඛකාධිකාරී පවසයි.

එබැවින් මෙම ප්‍රවෘත්තියේ පළකර ඇති තොරතුරු සම්බන්ධයෙන් අදාළ කරුණු ලැබුණේ කවර මාර්ගයකින් ද යන්න දන්වා එන ලෙස ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරී දැනුම් දී ඇත.

නීති අංශය ලේඛකාධිකාරීවරයාට ලබා දී ඇත්තේ වැරදි උපදෙසකි. විශ්වවිද්‍යාලය යනු පොදු ආයතනයකි. එහි ඇති ලේඛන, තොරතුරු සහ වාර්තා සඳහා ප්‍රවේශ වීමේ හැකියාව 2016 අංක 12 දරණන තොරතුරු පනත අනුව මෙරට ඕනෑම පුරවැසියකුට හිමිවෙයි. එලෙස ලබාගත හැකි තොරතුරු එම ආයනයේ වෙනත් කවර හෝ ආකාරයක නිලධාරියකු විසින් තුන්වැනි පාර්ශවයකට හෙළි කීරීමක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳ  කවර නම් වූ ආකාරයක ප්‍රශ්න කිරීමක්, විනය පරීක්ෂණයක් පැවැත්වීම හෝ දඬුවම් දීමක් සිදුකිරීමට පොදු අධිකාරියක ප්‍රධානින්ට කිසිදු හැකියාවක් නැත. එසේ නම් ලේඛකාධිකාරීවරයා විසින් පත්කර ඇතැයි කියන විමර්ශන කමිටුව නීති විරෝධීය.

තව ද කිසිදු මාධ්‍යවේදියකු හෝ මාධ්‍ය ආයතනයක් හෝ තමන්ට යම් තොරතුරක් ලැබුණු මූලාශ්‍රය හෙළි කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා මාධ්‍යවේදීන් බැඳී නැත. අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්නා අවස්ථාවක දී වුව ද අදාල මූලාශ්‍රයන් හෙළි කිරීමෙන් වැළකී සිටීමට මාධ්‍යවේදීන්ට හැකියාව තිබේ. තව ද මාධ්‍යවේදියකු තමන් සේවය සපයන මාධ්‍ය ආයතනයේ ප්‍රධානියාට හෝ තම මූලාශ්‍ර හෙළිකිරීමට කටයුතු නොකරන තත්වයක දී නීති අංශයේ වැරදි උපදෙස් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරීවරයා මාධ්‍යවේදියාගෙන් මුලාශ්‍ර හෙළි කරන්න යැයි ඉල්ලා සිටීම විහිළුවට කරුණකි.

එමෙන් ම මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කරන බව ද පවසමින් ලේඛකාධිකාරී වරයා මාධ්‍යයට අනිසි බලපෑමක් කරයි. ඕනෑම කෙනෙකුට පොලිසියට පැමිණිලි කිරීමට හැකියාව ඇත. නමුත් කිසිදු පුද්ගලයකුට මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර දැනගැනීම සඳහා පොලිසියේ පිහිට පැතීමට හැකියාවක් නැත. අප දන්නා තරමින් පොලිස් දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර ඉල්ලා අනවශ්‍ය බලපෑමක් සිදුකරන්නේ නැත. එබැවින් ලේඛකාධිිකාරීට පොලිසියේ රස්තියාදු වී ආපසු හිස් අතින් පැමිණෙන්නට සිදුවනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානියක් සිදුව ඇත්තේ මාධ්‍ය වාර්තාව පළකිරීමෙන් නොවේ. අදාල නිලධාරීන්ගේ ක්‍රියාවන් සහ අනිසි ක්‍රියාවන් සඟවා තම හිතමිතුරන් ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන අනිකුත් නිලධාරීන්ගේ කටයුතු හේතුවෙනි. එබැවින් අකටයුතුකම් හෙළිකළ මාධ්‍යයට තර්ජනාංගුලිය එසවීමට පෙර වැරදි නිවැරදි කරගන්නා මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතිය නොදන්නා නීති අංශයටත්, අනවශ්‍ය වැඩකට අතගසා අත පුච්චා ගැනීමට හදන වැඩබලන ලේඛකාධිකාරීටත් අපි සිහිපත් කරන්නෙමු

(සජීව විජේවීර)

rata.lk වෙබ් අඩවිය ඕනෑම අයකුගේ පිළිතුරු දීමේ අයිතියට සුරක්ෂිත කරන වෙබ් අඩවියකි. එබැවින් මෙහි පළවන යම් තොරතුරක් සම්බන්ධයෙන් යම් පුද්ගලයකු, ආයතනයක්, සංවිධානයක් හෝ ජන සමූහයක් අගතිට පත්වන්නේ යැයි ඔවුන් සිතන්නේ නම් හෝ වෙනයම් ආකාරයක අදහසක් දරන්නේ නම් හෝ ඇත්නම් ඔවුන්ගේ අදහස් මෙම ලිපි හෝ විශේෂාංගවලට ලැබෙන ඉඩ හා සමාන ප්‍රමුඛතාවක් ලබාදෙමින් පළකිරීමට rata.lk වෙබ් අඩවිය බැඳී සිටියි. එබැවින් එවැනි යම් ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍යනම් නොපමාව ඒ බව [email protected] විද්‍යුත් ලිපිනයට එවන මෙන් ඉල්ලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!