ශ්‍රී ලංකාවට පැමිණ දඹුල්ලේ පදිංචි වී දඹුල්ල නගරය ආසන්නයේ ජෛව විවිධත්වයෙන් අනූන වූ වන උද්‍යානයක් නිර්මාණය කළ සෑම් පොප්හැම් පසුගිය 28 වැනි දා සිය දිවියෙන් සමුගත්තේය.
1923 වර්ෂයේ උපන් ඔහු මියයන විට 99 වැනි වියෙහි පසුවූයේය.
ඔහු විසින් දඹුල්ල නගරයේ නිර්මාණය කළ මේ වනෝද්‍යානය අක්කර 34.5ක විශාලත්වයකින් යුක්තය. එය වෘක්ෂ උද්‍යානය යන අර්ථය ඇති ආබෝරෙටම් ලෙස හඳුන්වයි. මේ උද්‍යානයේ විශේෂත්වය වන්නේ එහි ඇති කිසිදු ශාකයක් ආයාසයෙන් පැළකරන ලද ඒවා නොවීමයි. සියල්ල ඉබේම හටගන්නා ශාකයන්ය. එලෙස වනෝද්‍යාන නිර්මාණ්‍ය කිරීම පරිසර විද්‍යාවේ දී හඳුන්වන්නේ පුනරුත්ථාපන පරිසර විද්‍යාව යනුවෙනි. පොප්හැම්ගේ වෘක්ෂ උද්‍යානය ශ්‍රී ලංකාවේ ස්වභාවික ශාක වර්ධනය කරමින් උද්‍යාන සැකසීමට ඉතාමත් හොඳ උදාහරණයක් ලෙස පරිසර විද්‍යාඥයෝ සළකති.
දෙවැනි ලෝක යුද්ධ කාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණි පොප්හැම් මුලින්ම දඹුල්ලෙන් පර්චස් කිහියක් මිල දී ගෙන මැටි නිවසක් සාදාගෙන එහි පදිංචි වූයේය. ඒ නිවස වටේ අඹ පැල ඉන්දූ පොප්හැම් දුටුවේ අඹපැල වැවෙද්දී ඒ අතර මිල්ල, පලු, කොහොඹ වැනි වෙනත් වියළි කලාපීය ශාකවර්ග වැවී ඇති බවයි. ඒ සියල්ලට ඔහු නිදහසේ වැවෙන්නට ඉඩ දුන්නේය.
ටිකෙන් ටික ඒ ගෙවත්ත වන ගොමුවක් බවට පත්වෙද්දී කුරුල්ලන්, සමනලයන්, ලේනුන් ඒ ගෙවත්ත තම වාසස්ථානය කරගන්නට පුරුදු විය. ගස්වල්වලටත් සතා සීපාවාටත් ආදරය කළ පොප්හැම් තම නිවසට යාබද ඉඩම් ද මිල දී ගත්තේය. මේ ආකාරයෙන් සිය ගෙවත්ත ක්‍රමයෙන් විශාල කරගත් ඔහු උද්භිද විද්‍යාව හෝ සත්ව විද්‍යාව හෝ දැන සිටියේ නැත.
මේ උද්‍යානය පිළිබඳ මහනුවර මූලික අධ්‍යාපන ආයතනයට (IFS) තෑගි කිරීමට ඔහු කටයුතු කළේය. එවකට එම ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ මූලිකත්වයෙන් එයට අක්කර 27ක් එක්කෙරුණු බැවින් දැන් එය අක්කර 34.5ක විශාලත්වයකින් යුක්ත වී තිබේ..
මේ වනවිටත් මහනුවර මූලික අධ්‍යාපන ආයතනය යටතේ පාලනය වන මේ වනෝද්‍යානයේ මුව රංචුවක්, මී මින්නන්, ඌරන්, වඳුරන්, රිලවුන්, දඬු ලේනුන්, වවුල් විශේෂ ගණනාවක්, උභය ජීවී විශේෂ, කුරුල්ලන් සහ සමනලයන් ආදී සත්ව විශේෂ ගණනාවකට වාසස්ථාන වී තිබේ. එමෙන් ම පරිසරය ගැන අධ්‍යයනය කරන පර්යේෂකයන්ටත්, පාසල් දරුවන්ටත් මෙය අධ්‍යයන කේන්ද්‍රස්ථානයකි.