spot_img
spot_imgspot_img

දුන්හිඳට අරක්ගත්, ශ්‍රමණ වේෂධාරියාට ඔබත් රැවටුණා ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථානයක් වූ දුන්හිද දිය ඇල්ලට යන මාර්ගය හරස්කරමින් එහි යන එන දෙස් විදෙස් සංචාරකයන් රවටා මුදල් ගරන භික්ෂු වේෂධාරියකු ප්‍රදේශයටම කරදරයක් වී තිබේ.

දුන්හිඳ ඇල්ල ආසන්නයේ පුද්ගලික ඉඩමක ඇති ගල් ගුහාවක බලහත්කාරයෙන් පදිංචි වී තමන් භාවනානුයෝගී භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් මුදල් ගරන මේ පුද්ගලයාට ශාසනයට ඇතුළු වූ අයකු නොවේ යැයි ද,  ඔහු භික්ෂුවක් නොවන බව ද අනිකුත් භික්ෂූන් වහන්සේලා කියති.

මේ පිළිබඳ ග්‍රාම නිලධාරීට, පොලිිසයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ දිසාපතිටත්, බෞද්ධ කටයුතු අමාත්‍යාංශයටත් පැමිණිලි කර ඇතත් ඔහු එම ස්ථානයෙන් ඉවත්කිරීමට කිසිවෙකුට මෙතෙක් හැකි වී නැත.

සිවුරක් පොරවාගෙන දුන්හිඳ බැලීමට යන එන පුද්ගලයන්ට මෙම දුන්හිඳ අසළ මිනිස් බිලි ගන්නවා යැයි පවසමින් බියට පත්කර පිරිත්නූල් විකුණා මුදල් කරන මේ පුද්ගලයා වීහේනේ මුනින්දසිරි නමින් පෙනී සිටියි. වීහේන යනු ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටියේ පිහිටි ගම්මානයක් යැයි ඔහු කියයි.

දුන්හිට යන දුෂ්කර මාර්ගයේ ස්ථාන කිහිපයක බෞද්ධ කොඩි එල්ල පිරිසරයට නොගැලපෙන ආකාරයෙන් බුදු පිළිම, දේව පිළිම හා යක්ෂ පිළිම ඉදිකර තිබෙන ඔහු පවස්නනේ ඒ සියල්ල තමන් අතින්ම නිර්මාණය කළ බවයි. එම ස්ථානය පසුකර යන අයකු ඔහු විකුණන නූලක් අත ගැට ගැසුවේ නැත්නම් හෝ ඔහුට මුදල් නොදී යන්නේ නම් විවිධ ආකාරයේ අපහාසාත්මක දේ කියන අතර ඇතැම් අවස්ථාවල දී පරුෂ වචනයෙන් ද බැන වදියි.

මේ ලියන ලේඛකයා ද එම අත්දැකීමට මුහුණ දුන් අයෙකි.

ඔහුගේ තිප්පල අසළ මෙම ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ලියාපදිංචි කිරන ලෙස ඉල්ලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ඉල්ලීමක් කළ ලිපියක් ද ප්‍රදර්ශනය කර ඇති අතර ඔහු පවසන්නේ එම ලිපියට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

දුන්හිද අසළ වනයේ තමන් ඉතාමත් දුෂ්කර දිවියක් ගත කරමින් බුදු බව පතන බවට පවසන මේ භික්ෂු වේෂධාරියා එහි සිටිමින් නවීන ජංගම දුරකථන කිහිපයක් ම භාවිතා කරයි. එම දුරකථනවල ඇති වට්ස්ඇප් යෙදුම භාවිතයෙන් මෙම ලේඛකයාට විවිධ අපහාසාත්මක වදන් ද ඔහු විසින් එවා ඇත.

එමෙන් ම ඔහු පවසන්නේ තමන්ට මුදල් නොදෙන අයට තමන් සෑඹ රාත්‍රියකම පහනක් පත්තුකර යක්ෂයන් ගෙන්වා යාතිකා කරන බවයි. ඒ නිසා තමන්ට මුදල් නොදෙන පිරිස් ඉක්මණින් මියයන බව ද මේ ශ්‍රමණ වේෂධාරියා පවසයි.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් අපි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ගෙන් විමසූ විට දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ එම තැනැත්තා භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් දුන්හිඳ මාර්ගයේ අනවසරයෙන් රැඳී සිටින බවයි. ඔහු සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති බවත් නමුත් ඔහු භික්ෂුවක් ලෙස පෙනී සිටින බැවින් ඇතැම් පුද්ගලයන් ඔහුට අවනත බවක් පෙන්වීම නිසා ඉවත්කිරීම අපහසු වී ඇති බව ද ඇය කීවාය. මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ශාසනආරක්ෂක බල මණ්ඩලය දැනුම්වත් කර ඇති බවත් අදාල බලධාරීන්ට දන්වා ඇති බවත්ත දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි.

අපි එහි ගිය දිනයක ඔහු මුදල් එකතු කරන බඳුනට එදින එකතු වී තිබූ මුදල් අතර රුපියල් 1,000.00 නෝට්ටු 30ක් පමණ සහ 5,000.00 නෝට්ටු කිහියක් ද 100.00, 50.00 සහ 20.00 නෝට්ටු විශාල ප්‍රමාණයක් ද එකතු වී තිබෙනු දක්නට ලැබිණි.

(මෙම පුවත සම්බන්ධයෙන් භික්ෂු වේෂධාරී පුද්ගලයාට හෝ වෙනත් පාර්ශවකට යම් පැහැදිළි කිරීමක් කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අප මෙවැනිම ඉඩක් ලබා දීමට සූදානම් බව ද සළකන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!