දියතලාව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මියගිය දින දෙකක් වයසැති බිළිදියගේ මරණයට ඉන්ධන අර්බුදය හේතුවක් වී ඇතැයි එම මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය facebook ගිනුමේ සටහනක් තබා ඇත.
වෛද්‍ය ශානක රොෂාන් පතිරණ පවසන්නේ තමන් දියතලාව රෝහලේ දී සිදුකළ 86 පශ්චාත් මරණ පරික්ෂණය එය බවයි.
මේ බිළිඳය මව්කිරි බීම ප්‍රමාණවත් නොවීම හේතුවේන රුධිරයේ සීනි මට්ටම අඩුවීමෙන් මරණය සිදුව තිබේ. ඇයගේ සිරුරු නිවසේ දී ම කහ පැහැති වී ගැහෙන්නට පටන් ගැනීමත් සමඟ දෙමාපියන් ඇය හල්දුම්මුල්ල රෝහලට ගෙන ඒමට කටයුතු කර තිබේ.
නමුත් රෝහලට දියණිය රැගෙන ඒම සඳහා එම පියාට ත්‍රී රෝද රථයට අවශ්‍ය ඉන්ධන සොයා ගැනීමට පැයකට වඩා වැඩි කාලයක් ගත වූ බව මරණ පරීක්ෂණයේ දී පවසා ඇත.
හල්දුම්මුල්ල රෝහලට දරුවා රැගෙන එන විට ඇගේ රුධිරයේ සීනි මට්ටම 22mg/dl වැනි ඉතාමත් අවම අගයක තිබී ඇත. එතැනින් දියතලාව රෝහලට මාරුකර එවූ දරුවා ඒ වනවිටත් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සිට ඇති බවත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මියගොස් තිබූ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
ඔහු තම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මියගිය බිළිඳියගේ පියා ත්‍රී රෝද රථයට පෙට්‍රල් සොයා ගැනීමට පැයක් ප්‍රමාද නොවුණෙ නම් මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමට හොඳටම හැකියාව තිබූ බවයි.
වෛද්‍යවරයා මෙසේ ද අවසන් වශයෙන් සටහන් කර ඇත.
“ මාස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පැට්‍රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී. මිනිය කපන්නත් දුකයි,සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.
හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට. පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොදයි කියලා”