රටේ ඇති වූ කළහකාරී තත්වය පාලනය කිරීමට නොහැකිවීමට පොලිසිය දේශපාලනීකරණය කළ පොදුජන පෙරමුණු රජය සම්පූර්ණයෙන් ම වගකිව යුතුයැයි පොලිස්පතිවරයා පසුගිය 14 වැනි දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පවසා තිබේ.
පොලිස්පතිවරයා අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්වූ පසු ස්ථානාධිපතිවරු 184 දෙනෙක් පත්කළ ද ඉන් සැබැවින්ම සුදුසුකම් සම්පූර්ණ කර ඇත්තේ දෙදෙනකු පමණක් බවයි. 182ක පිරිසක් එම තනතුරුවලට නුසුදුසු බව ද පොලිස්පතිවරයා පවසයි.
එම පත්වීම් සිදුකර ඇත්තේ 2021 ජනවාරි 01 වැනි දා සිට 2021 නොවැම්බර් 03 දක්වා කාලයේ දී ය.
එලෙස පත්කරන ලද ස්ථානාධිපති තනතුරට සුදුසුකම් සම්පූර්ණ නොකළ 182ක් ම තම නිර්දේශයෙන් තොරව දේශපාලන බලය මත පත්කළ බව ද පොලිස්පතිවරයා පවසා තිබේ.
මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට පොලිස්පතිවරයා ගෙන්වා ඇත්තේ පසුගිය 09 වැනි දා සිදුවූ කළහකාරී තත්වය පාලනය කිරීමට පොලිසිය අසමත්වීම සම්බන්ධයෙන් විමසීමටය. එහි දී පොලිස්පතිවරයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2021 දෙසැම්බර් 06 වැනි දින යවන ලද සවිස්තරාත්මක රහසිගත වර්තාවක් ද පෙන්වා තිබේ.
එම වාර්තාව රහසිගත වාර්තාවක් වුව ද මේ වනවිට අප වෙත ලැබී ඇත.
එහි දැක්වෙන්නේ දේශපාලන අත පෙවීම් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව කඩා වැටෙන බවයි.
පොලිස්පතිවරයා පෙන්වා දේනනේ උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම් සඳහා අනුයුක්ත කර අත්දැකීම් ලබාදෙන බවයි. ඉන් පසු ඔවුන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත්වූ විට C හෝ D ශ්‍රේණියේ විවිධ අංශ බෙදා නැති කුඩා නිලධාරීන් සංඛ්‍යාවක් සිටින බල ප්‍රදේශය අඩු, පැමිණිලි විභාගය ද ස්ථානාධිපතිතුමා විසින් ම කිරීමට සිදුවන පොලිස් ස්ථානයකට අනුයුක්ත කරනු ලැබේ. අනතුරුව එම නිලධාරීන්ට අත්දැකීම් ලැබෙන විට වඩාත් පරිපාලන වගකීම් සහිත B හෝ A3 පොලිස් ස්ථානවල සේවයේ යොදවයි. ඉන් පසු A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කරනු ලබන පොලිස් ස්ථානවලට අනුයුක්ත කරනු ලබන්නේ එම ධූරාවලිය යටතේ ක්‍රමයෙන් වැඩි අත්දැකිම් ලබාගත් ස්ථානාධිපතිවරුන්ය.
පොලිස්පතිවරයාගේ රහසිගත වාර්තාවට අනුව 2021 ජනවාරි 01 දා සිට 2021 නොවැම්බර් 03 දක්වා කාලයේ දී ස්ථානාධිපතිවරු ලෙස පත්වූ 184 දෙනකුගෙන් 126 දෙනකු ම සම්මුඛ පරීක්ෂණ සඳහා හෝ පැමිණ නැත. දේශපාලන නිර්දේශයෙන් ම පමණක් පත්කර තිබේ.
මීට පෙර කිසිම පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු නොකර සෘජුව ම A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූර ලබාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 13කි
එමෙන් ම මීට ඉහත කිසිම පොලිස් ස්ථානයක ස්ථානාධිපතිධූරයක් දරා පළපුරුද්දක් නැති 21 දෙනකු A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති ධූරවලට පත්කර ඇත.
B හෝ C ශ්‍රේණියේ පොලිසියක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී කෙලින්ම A3, A2 හෝ A1 ශ්‍රේණියේ පොලිසියක ස්ථානාධිපති ධූරයට පත්වූ සඛ්‍යාව 19 දෙනෙකි.
මෙම ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධීන් සහ පොලිස් නිලධරයන් විවිධ විෂමාචාරවලට යොමු වීමේ සිද්ධි සළකා බලන විට එවැනි දේ එම පත්වීම්වලින් පසු විශාල ලෙස ඉහළ ගොස් ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධි 283ක් හා විශමාචාර සිද්ධි 359ක් වාර්තා වී තිබේ.
එම කාලය තුළ පොලිස් නිලධාරීන් 21 දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීනන් 156ක් ගැන තෙරතුරු වාර්තා වී ඇත. පොලිස් නිලධාරීන් 130ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බවට ද වාර්තා වී තිබේ.
පොලිස්පතිවරයා එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ යහපත් පොලිස් සේවයක් මහජනයා අපේක්ෂා කළ ද පොලිසියේ අකාර්යක්ෂමතාව, දූෂිත, පීඩාකාරී තත්වයන්ට එරෙහිව මහජන විරෝධයක් පැන නැගුණ ද ඒ හා සමඟ මහජනතාවට ගැටීමට බලයක් නැති බවයි. එබැවින් මහජනතාව පොලිසිය සම්බන්ධව දැඩි කළකිරීමකින්, ඉච්ඡාභංගත්වයකින් පසුවන බවත් මහජනතාවගේ විරෝධය පොලිසිය වෙත යොමුවීම වැළැක්විය නොහැකි බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පොලිස්පතිවරයා ජනාධිපතිවරයා ඉදිරියේ මන්ත්‍රීවරුන්ට පවසා ඇත්තේ මැති ඇමතිවරුන්ගේ නිවාස කුඩු වී ගිනි ගත්තේ නම් එය පාලනය කරගැනීමට නොහැකි වූ පොලිස් ඇම්බැට්ටයන් තමන්ගේ දේශපාලන හයියට එම ප්‍රදේශවලට පත්කරගෙන තිබූ වැඩබැරි පිරිසක් බවයි.
මේ ගැන පොලිස්පතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී ඒ ඒ මැති ඇමතිවරුන්ට පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නම් ඉදිරිපත් කරමින් පවසා ඇත.