spot_img
spot_imgspot_img

යුද ප්‍රචාරක යාන්ත්‍රණයේ ලොක්කා, ලක්ෂ්මන් හුළුගල්ල ඕස්ට්‍රේලියාවේ දී මියයයි

පුවත්

විදෙස්

ඔස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් හුළුගල්ල අභාවප්‍රාප්ත වී තිබේ.

දියණියන් තිදෙනකුගේ පියකු වූ ඔහු මියයන 66 වැනි වියේ පසු වූයේය.

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති කාලයේ දී යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය වූ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වූයේ හුළුගල්ලයි.

හෝටල් ක්ෂේත්‍රයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හුළුගල්ල ගාමිණී දිසානයක සමඟ තිබූ හිතවත් කම හේතුවෙන් ම ගාමිණී ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දී ඔහුගේ සම්බන්ධීකරණණ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

පසුව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධාන කටයුතුවලට එක්වූ ඔහුට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමිවී ගියේය. ගාමිණී දිසානායක ඇතුළු කණ්ඩායම ප්‍රේමදාස ජනාධිපතිවරයට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයේ දී ද තිරය පිටුපස දැවැන්ත කාර්යයක් ඉටු කළේය.

දෝෂාභියෝගය අසාර්ථක වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී එක්ස් ජාතික පක්ෂය පිහිටවූ අවස්ථාවේ එම පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායකවරයා වූයේ ලක්ෂ්මන් හුළුගල්ලයි. පසුව එම පක්ෂයෙන් ඉවත් වූ හෙතම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූයේ 1994 දී චන්ද්‍රික බණ්ඩාරනායක කුමාරතුංග අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගනිමිනි.

1994 පොදු පෙරමුණු ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූ ඔහු පසුව සමෘද්ධි හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකවරයා ලෙස ද පත්වූයේය. චන්ද්‍රිකා රජයේ චැනල් 9 කුප්‍රකට ගනුදෙනුවට ද හුළුගල්ලේගේ නම ගෑවී තිබිණි. මේ හේතුවෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු තම “ලක්ෂ්මන්” නමැති සිය චරිතාපදාන ග්‍රන්ථයේ ලියා ඇත්තේ චන්ද්‍රිකා සහ සනත් ගුණතිලක නිසා තමන්ට අත්අඩංගුවට පත්වීමට සිදුවූ බවයි.

2005 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු කිහිපයක් දැරූ ඔහු පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, කොමර්ෂල් බැංකුවට රජය පත් කළ අධ්‍යක්ෂවරයා‍ෙ මන් ම රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය.

පසුව ඔහු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වීමත් සමඟ ම ඔහුගේ නමත් රූපයත් මෙරට ජනතාවට මතක සිටින තත්වයට පත්විය.

වසර හතකට පසු එම මාධ්‍ය මධ්‍යස්ථානය අහෝසි කෙරිණි. එයට ආසන්නම හේතුවක් ලෙස බොහෝ දෙනකු පෙන්වා දුන්නේ කොළඹ සලාකා ආයතනයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර විසින් හෙළි කරන ලද කතාවක් බවයි.

මෙම ගැටලු සමඟ ඔහු දෙවරක් නිදිපෙති පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කෙරිණි. වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරාගත්හ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසු ලක්ෂ්මන් හුළුගල්ල 2020 වර්ෂයේ දී නැවත ජාතික ආරක්ෂාව පිළිබඳ මාද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරිණි.

එම වර්ෂයේ දී ම ඔහු බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කෙරිණි. ඒ අනුව මියයන විට ඔහු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස සේවය කරමින් සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!