සීමා සහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා කෝප් කමිටුවට කැඳවූ විට එය මඟහැර යමින් කැඳවූ දිනට පෙර දින එම තනතුරින් ඉල්ලා අස්වවී ඇතැයි වාර්තා වේ.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ මහේන්ද්‍ර විජේසේකරය.
කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් විසින් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව කෝප් කමිටුවට කැඳවීමදැයි විමසීමක් ද කර තිබේ.
එහි දී සභාපතිවරයා පවසා ඇත්තේ කෝප් කමිටුවට කැඳවීම තමන්ගේ ඉල්ලා අස්වීමට හේතුවක් නොවන බවයි. ව්‍යාපාරිකයකු බැවින් කාර්ය බහුලත්වය හේතුවෙන් ඉල්ලා අස්වූ බව හෙතෙම පවසා තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති චරිත හේරත්ගේ ප්‍රදානත්වයේන පසුගිය 21 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කාර්ය සාධනය විමසීම සඳහා මේ සාකච්ඡාව කැඳවා තිබිණ.
මීට පෙර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානීන් පසුගිය 19 වැනි දා කැඳවූ අවස්ථාවේ දී සභාපතිවරයා නොපැමිණි බැවින් නිලධාරීන්ගෙන් ඔහු පිළිබඳ විමසූ අවස්ථාවේ දී පවසා ඇත්තේ සභාපතිවරයා පෙර දිනයේ ඉල්ලා අස්වූ බවයි.
ඔහුගේ ඉල්ලා අස්වීම නීත්‍යානුකූළ නොවන බැවින් සහ විමසීම් සිදුකරන කාලයේ ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බැවින් ඔහු නැවත කමිටුව හමුවට කැඳවන බව සභාපති චරිත හේරත් කියා සිටියේය. ඒ අනුව 21 වැනි දා නැවත කැඳවන ලදී.
මහජන මුදල් යටතේ පවතින ආයතනයක ඕනෑම නිලධාරියකු ඕනෑම මොහොතක කෝප් කමිටුව හමුවට කැඳවීමට හැකියාව පවතිනන බව ද කෝප් කමිටු සභාපතිවරයා කීවේය.