ටිකට් නොකඩන, සෞඛ්‍ය නීති කඩන කොන්දොස්තර

0
126

කොරෝනා වසංගතය මේ වනවිට ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. වසංගතය මෙරටින් වාර්තා වූ මුල් දිනවලම සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙසයි.

රටම වසා දමා ඇඳිරිනීතිය යොදා තිබිය දී රට පුරා බොහෝ දෙනකු මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම හැකිතාක් භාවිතා කළ ද රට යළි විවෘතවූ විට එය ක්‍රමයෙන් අමතක වන්නට විය. ප්‍රතිඵලය වූයේ කොරෝනා වසංගතය මිනුවන්ගොඩින් මතුවී රටම වෙලාගන්නා තත්ත්වයකට පත්වීමයි.

රජය මෙවර රට ම අඟුළු දමන තීරණයක් ගෙන නැත. එසේ වුවද සෞඛ්‍ය අංශ දිගින් දිගටම පවසන්නේ සමාජ දුරස්ථ බව, දෑත් සේදීම හා පිරිසිදුව තබාැනීම, මුහුණ ස්පර්ශ නොකිරීම හා මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය කරුණු බවයි.

ජනතාවට කොරෝනා සම්ප්‍රේෂණය විය හැකි ප්‍රධානම ස්ථානයක් වන්නේ බස්රිය හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන්ය.  ඒ නිසාම මගී ප්‍රවාහනයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශ නිතර පවසයි.

බස් රථයක කොන්දොස්තරවරයා මගීන්ගෙන් මුදල් ගෙන ප්‍රවේශපත්‍රයක් ලබාදුන්නත් නැතත් බස් රථය තුළම ඔබ මොබ යන්නෙකි. එවැන්නෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

නමුත් මේ ඡායාරූපයේ දැක්වෙන බස් කොන්දොස්තරවරයා තම මුඛ ආවරණය නිසි පරිදි පැළඳගෙන නැත. සෞඛ්‍ය ආරක්ෂිත රෙගුලාසි පවා නීතිගත කර ඇති මෙවන් කාලයක දී මෙලෙස බසයේ සිටින මගීන් ද අනාරක්ෂිත කරමින් කටයුතු කරන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන්නේ ද ? නැතිනම් මෙවැනි බස්රථ කොන්දොස්තරලා තව තවත් කොරෝනා රටපුරා ව්‍යාප්ත කරනු ඇත.

මේ බස් රථය අද උදෑසන කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වූ මාර්ග අංක 177 දරණ බසයකි. බසයේ අංකය මෙම ඡායාරූපවල පැහැදිලිව සටහන්ව ඇත.

බලධාරීනි. අන් අයගේ ජිවිත පවා අවදානමට ලක්කරමින් රුපියල් ශත සොයන්නට පමණක් වෙහෙසෙන මෙවන් මිනිසුන්ට එරෙහිව සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

ඡායාරූප – අසංක විල්ලව ආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here