බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය.
විරෝධතා පුවරු රැගෙන කෑ කෝ ගසමින් සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණි ඔවුන් සභාව පැවත්වෙද්දී රැස්වීම පැවැත්වෙන ස්ථානයට ඉදිරිපිට මහජන ගැලරියේ රැඳී සිටිමින් උද්ඝෝෂණයක නිරතවූහ. ඔවුන් ඉල්ලා සිටියේ වටරැක නැගෙනහි කළුපහන මාවතේ කැඩී ඇති බෝක්කුවක් කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි.
එම බෝක්කුව කැඩී ගොස් දැනට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර කොතෙක් දැනුම් දුන්න ද ඒ සඳහා සභාවෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ගම්වාසීහු චෝදනා කරති. මෙලෙස සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණි පිරිස 30 දෙනකු පමණ විය.
මේ අවස්ථාවේ දී සභා රැස්වීම අතරමග නතර කළ සභාපති දිල්රුක් අබේකෝන් ඔවුන්ට කියා සිටියේ දැනටමත් එම බෝක්කුව අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 280,000ක මුදලක් වෙන්කර ඇති බවයි. කවුරුන් හෝ ඉදිරිපත් වී සමිතියක් මාර්ගයෙන් හෝ එම මුදල යොදවා බෝක්කුව අලුත්වැඩියා කරන ලෙස ද සභාපතිවරයා දැනුම් දුන්නේය.
නමුත් මේ වනවිට සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එම මුදල ප්‍රමාණවත් නොවිය හැකි බව ද සභාපතිවරයාගේ අදහස විය.
පැය භාගයක් පමණ උද්ඝෝෂණයේ නිරත වූ පිරිස නික්ම ගියහ.


