මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සභාපතිවරයා පිළිබඳ පැමිණිලි රැසක් රටේ ඉහළම දේශපාලනඥයකුට ලැබී තිබුණ ද ඒ සම්බන්ධ පරීක්ෂණ මෙතෙක් ප්‍රමාද වී තිබිණි.
පසුගිය දා කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වූ අවස්ථාවේ දී නැවත ඇමතිවරු පත්කරද්දී ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරයකු පත්කරන්න ඔහු උපදෙස් ලබා දී තිබීමයි.
ඒ අනුව, ආණ්ඩුවට බලපෑම් කිරීම, රාජකාරී ව්‍යුහයෙන් පිටතට ගිහින් විදුලි සංදේශ නියාමන කොමිසමට හා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් රජයේ ඉහළම ස්ථානවලින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට අප්‍රසාදය පළ කර තිබේ.
ට්‍රිලියම් නිවාස සංකීර්ණය අයත් සමාගමේ ජනක රත්නායකට අයත් සමාගමක් වන අතර එහි ප්‍රධාන කාර්යාලය කිරුළපන පිහිටා තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සේවකයන් පවා තම පුද්ගලික සමාගමේ සේවයට යොදා ගැනීම, සිය පුද්ලික සමාගමේ උත්සව සඳහා පවා මහජන උපයෝගීත කොමිසමේ වියදමින් ෂැංග්‍රිලා සහ හිල්ටන් වැනි හෝටල්වලින් ආහාර ගෙන්වා ගන්නා බව ද ඔහුට එල්ල වී ඇති චෝදනා අතර වෙයි.
මෙම පුක්සල් සමාගමේ සභාපතිවරයා නිතර නිතර මාධ්‍ය සාකච්ඡා පවත්වන අතර ඒ සඳහා යොදාගන්නේ පුක්සල් කාර්යාලය නොව තම ව්‍යාපාරික ස්ථානය වීම ද විශේෂත්වයකි. එලෙස තම පුද්ගලික ව්‍යාපාරික ස්ථානය මාධ්‍ය සාකච්ඡා සඳහා යොදාගන්නේ ට්‍රිලියම් සමාගම සඳහා වක්‍ර ආකාරයේ ප්‍රසිද්ධියක් ගැනීමට යැයි ද ඔහුට එල්ල වී ඇති තවත් චෝදනාවකි.
මීට අමතරව පසුගිය දා පුක්ස්ල් සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ගෙන්වා රුපියල් කෝටි ගණනක් වියදම් කර සාදයක් පවත්වා ඇත. මේ වනවිට මහජන උපයෝගීතා කොමිසමේ වියදම ද කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබීම පිළිබඳව ද ඉහළම අවධානය යොමු වී තිබේ.
මෙම කුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියට නියෝගයක් ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් විමසූ විට ඔහු මෙසේ කීවේය.
“පොලිසිය එහෙම පරීක්ෂණයක් කරනවා කියලා මම මේ දක්වාම දැනුම්වත් වෙලා නෑ. මා කිසිම වරදක් කරලා නෑ. ඒ නිසා මම ඔය පරීක්ෂණවලට බයත් නෑ. රටේ ඛනිජ තෙල් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඇමතිවරු පත්කරන්නේ මහාමාර්ගවලට, අධ්‍යාපනයට මට ආණ්ඩුවට උපදෙස් දෙන්න පුළුවන්. ඒ නිසා මම කිව්වා ඛනිජ තෙල් ඇමතිවරයෙක් අවශ්‍යයි කියලා. ඒක බලපෑමක් නෙවෙයි. මම මාධ්‍ය සාකච්ඡා කරන්නේ මට පහසු තැනක. ඒක පුක්සල් කාර්යාලයේ වනේන පුළුවන් මගේ පුද්ගලික තැනක වෙන්න පුළුවන්. ඇතැම් මාධ්‍යවේදීන් තොරතුරු ඉල්ලුවාම මම ඔවුන්ට ගෙදරට එන්න කියලත් විස්තර දෙනවා. මම කන්න බොන්න රජයේ සල්ලි වියදම් කරලා නෑ. පාටි දාලත් නෑ, පසුගිය දවස්වල 1500කට NVQ දෙන උත්සවයක් BMICH එකේ කළා. ඒකට ඉතින් වියදම් කළා. අපි දැන් වැඩ කරන ආයතනයක්. ඒ නිසා වියදම් වැඩිවෙලා.”
සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඕනෑම කෙනෙකුට මේවා ගැන තමන්ගෙන් ප්‍රශ්න කළ හැකි බවයි.