ක්‍රීඩා කිරීම සඳහා ජංගම දුරකථනය ලබා නොදුන්නා යැයි උරණ වූ පාසල් සිසුවකු ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුරය ශාන්ත ජෝශප් විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි වියේ පසු වූ අනුහස් මධුෂාන් සෙනෙවිරත්න නමැති සිසුවෙකි.
ඔහුගේ ඥාතීන් පවසන්නේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා දරුවාට අවස්ථාව ලබාදීම සඳහා මිලදී ගත් ජංගම දුරකථනයෙන් ඔහු දැඩිව ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටි බවයි. මව රැකියාව සඳහා යද්දී ජංගම දුරකථනය ඉල්ලා සිටිය ද, එය ලබා නොදීම හේතුවෙන් ඔහු දැඩි කෝපයෙන් පසුවී ඇත.
මව නිවසට පැමිණ බලන විට ඔහු ගෙල වැළලාගෙන මියගොස් සිටි බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මෙසේ කීවේය.
“පාසල් ළමයින් සහ තරුණ තරුණියන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම විශාල වශයෙන් වාර්තාවනවා. කුඩා දරුවන් සහ තරුණ තරුණියන් ආකර්ශනීය දෙයකට ඇබ්බැහිවීම සාමාන්‍ය දෙයක්. නමුත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නවා පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහිවීම මානසික රෝගයක් කියලා. ඒ සඳහා පාලනයක් නැතිව ක්‍රීඩාවේ යෙදීම, එය නොකරන අවස්ථාවේ දී කලහකාරී සහ කලකිරීමෙන් සිටීම, එදිදො කටයුත අතපසු කරගනිමින් සමාජ ආශ්රයෙන් ඈත්වීම සහ පරිගණක ක්‍රීඩාවේ යෙදීමෙන් සිදුවන හානිය නොසලකා හැරීම කියන කාරණා හතරෙන් තුනක් සම්පූර්ණ නම් එය මානසික රෝගී තත්වයක් ලෙස සළකනවා. මෙතැනදීත් දක්නට ලැබෙන්නේ ඒ ආකාරයේ ඇබ්බැහිවීමක් විය හැකියි. විශේෂයෙන් ම දෙමාපියන් මේ ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි. දරුවන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවනවා නම් ඒ තත්වයෙන් වළක්වා ගැනීමත්, මානසික උපදේශන ලබා දීම හෝ මනෝ වෛද්‍යවරයකුට යොමුකර ඖෂධ ප්‍රතිකාර ලබාදීමත් අවශ්‍ය වෙනවා.”