spot_img
spot_imgspot_img

ලෝක රූ රැජින සංවිධායකයන් සමඟ සාකච්ඡා කළැයි මාධ්‍යවේදී දනු ට සහ Dailymirror ආයතනයට තර්ජන

පුවත්

විදෙස්

ලෝක විවාහක රූ රැජින තරඟයේ සංවිධායකවරියක වූ ටානා ජොන්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ ඩේලිමිරර් මාධ්‍යවේදී දනු ඉන්නසිතම්බි හට කාන්තාවක් විසින් දුරකථනය මගින් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මාධ්‍යවේදී දනු විසින් අද (31) සවස මිරිහාන පොලිසියට මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් දනු එම තරඟාවලියේ සංවිධායිකාවක් සමඟ සාකච්ඡා කළ බවයි. එම සංවාදය ඩේලිමිරර් වෙබ් අඩවිය සහ විජය පුවත්පත් සමාගමේ වෙනත් සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ විකාශයවීමෙන් පසු ඔහුට කාන්තාවක විසින් දුරකථනයෙන් තර්ජනය කර ඇත. එමෙන්ම WhatsApp පණිවිඩ කිහිපයක් ද තර්ජනය කළ දුරකථන අංකයෙන් ම ලැබී තිබුණු බවත් ඒවා පසුව ඇය විසින්ම මකා දැමුව ද මකා දැමූ බවට සලකුණු ඇති බවත් දනු පවසයි.

පුෂ්පිකා ද සිල්වා විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට අපොහොසත් වූ අතර ඇය මෙරට යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබුණේ තමන් එම තරඟාවලියේ හතරවැනි ස්ථානයට පත්වූ බවයි. එම තමන්ට රූ රැජින වීමට තිබූ අවස්ථාව අහිමිකළේ රෝසි සේනානායක බව ද ඇය එම නාලිකාව ඔස්සේ කියා සිටියාය.

ඉන් පසු රෝසි සේනානායක එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර අදාල නාලිකාවට සහ චෝදනා එල්ලකළ පුද්ගලයන්ට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද දැනුම් දුන්නාය. ඇමෙරිකාවේ Mrs World ආයතනය ද ජාත්‍යන්තර අධිකරණයක නඩු පවරන බව ප්‍රකාශ කර තිබිණි.

මෙම කරුණු සම්බන්ධයෙන් සමාජයේ දැඩි ආන්දෝලනයක් හටගෙන ඇති බැවින් ඩේලිමිරර් මධ්‍යවේදී දනු ඉන්නසිතම්බි රූ රැජින තරඟාවලියේ සංවිධායිකාවක වන ටානා ජොන්සන් සමඟ සංවාදයට එක්වෙමින් විවාදාත්මක කරුණු ගැන විමසා තිබිණි.

එහි දී ඒ ප්‍රශ්නවලට පැහැදිලි සහ නිරවුල් පිළිතුරු ලබාදුන් ජොන්සන් කියා සිටියේ පුෂ්පිකා ද සිල්වා ඉතාමත් ආකර්ශනයී සහ හොඳ තරඟකාරියක් බවයි. ඇය ජයග්‍රහනය කරනු ඇතයි බොහෝ දෙනකු විශ්වාස කළ ද ඇයට එම අවස්ථාව අහිමිවූ බවත්‍ වෙනත් අයකුට ලෝක රූ රැජින කිරුළ හිමිවූයේ විනිශ්චය මණ්ඩලයේ තීරණයකින් මිස වෙනත් කිසිදු බලපෑමකින් නොවන බවත් ජොන්සන් පවසයි. එමෙන් ම තරඟාවලියේ කිසිම අවස්ථාවක 4,5,6 වැනි ස්ථාන ලබා නොදෙන බව ද ඇය සාකච්ඡාවේ දී ප්‍රකශ කළාය.

මෙම සාකච්ඡාව විකාශය වීමෙන් පසු දනුට දුරකථන ඇමතුමක් ගත් කාන්තාවක ඔහුට තර්ජනය කරමින් බැන වැදුණු බව ඔහු මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ පැමිණිල්ලේ සඳහන් වන්නේ

“අපි බලාගනිමු. රෝසිගේ කොන්ත්‍රාත් නේද කරන්නේ. මම තමුසෙවත් නැති කරලා. ඔය පත්තර කන්තෝරුවත් නැති කරනවා. හෙට උදේට වෙන්නේ මොකක්ද කියලා බලනවා” යනුවෙන් තර්ජනය කර තමන් කිසිවක් ප්‍රකාශ කිරීමට පෙර ඇය දුරකථනය විසන්ධි කළ බවයි.

මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස මාධ්‍යවේදී දනු ඉන්නසිතම්බි පොලිසියෙන් ඉල්ලා ඇත.

දනු මිරිහාන පොලිසියට ගොස් පැමිණිල්ල ඉදිරිපත් කරන ආකාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!