spot_img
spot_imgspot_img

රට බංකොලොත් වෙන්න, ඇත්ත හේතුව මෙන්න

පුවත්

විදෙස්

මේ වනවිට රට පත්ව ඇති ඛේදජනක තත්වයට ආර්ථිකය මෙහෙයවන පුද්ගලයන් වගකිව යුතුයැයි ද රජය සිදුකර ඇත්තේ රටත් ජනතාවත් විහින් අමාරුවේ දැමීමක් යැයි ද ශ්‍රී ලංකා මහ බැකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ආර්ථික විශ්ලේෂකයකු වන ජයන්ත කෝවිලගොඩගේ සමඟ Business TV නමැති යූ ටියුබ් නාලිකාවේ සාකච්ඡාවකට එක්වෙමිනි.

අදූරදර්ශී ක්‍රියාවන් සහ වැරදි අර්ථකථන දෙමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරිමෙන් රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවත් හෙතෙම එහි දී පෙන්වා දුන්නේය.

ඔහු වැවිදුරටත් මෙසේ ද කීවේය.

“ වර්තමාන රජය කිසිවෙකුගේ ඉල්ලීමකින් තොරව බදු කපා හැරලා රජයට හිමිවිය යුත ආදායම අහිමි කරගත්තා. 2020 රුපියල් බිලියන 500කට වැඩි ප්‍රමාණයක් මේ නිසා නැතිවුණා. 2021ක් ඒ වගේමයි. ඉදිරියේදීත් ර‍ටට විශාල ආදායම් අහිමිවේවි. මෙය ඉතාමත් අදූරදර්ශී වැඩක්.” ඔහු කීවේය.

එමෙන් ම ආචාර්ය විජේවර්ධන පවසන්නේ රජය විසින් විශාල වශයෙන් මුදල් අච්චු ගැසීම හේතුවෙන් මෙරට උද්ධමනය වැඩි වී ඇති බවයි. ඒ පිළිබඳ ආර්ථික වි‍ශේෂඥයන් කොතරම් අනතුරු ඇඟවූව ද වගකිව යුතු අය එය ගණනකට නොගත් බව ද හෙතෙම පෙන්වා දෙයි.

“මේ අය කළේ රටේ මහ බැංකුවෙන් ණයට අරගෙන මුදල් මුද්‍රණය කරලා ආණ්ඩුවේ අයවැය හිඟය පියවාගෙන ආණ්ඩුවේ වියදම් ටික හදාගන්න. අපි මේවා කරන්න එපා කියලා අනතුරු ඇඟෙව්වා. නමුත් මෙයාලා ගියේ නූතන මුදල් න්‍යායන් ගැන කතා කියමින්. තමන්ගේ රටේ ව්‍යවහාර මුදල් වෙනත් රටවල් භාවිතා නොකරන මුදලක් නිසා ඒවා සංචිත ලෙස සළකන්න බෑ කියලා අපි අනතුරු ඇඟෙව්වා. මේ නිසාම රටේ විදේශ විනිමය දැඩි අර්බුදයකට යන බව අපි කීවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ශ්‍රී ලංකාවට සහනයක් ගත යුතුව තිබුණා. නමුත් රජය කිව්වේ ජාත්‍යන්තර අරමුදලට නොගිහින් අපේම දක්ෂතාවයේන මේ රටේ නව ප්‍රතිපත්ති හදලා රට ගොඩගන්නවා කියලා. නමුත් අද රටේ ඇති සමස්ත විදේශ වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 දක්වා අඩුවෙලා. මේ වත්කම් අතර රත්තරන් සංචිතයකුත් තිබෙනවා. එය වහාම විකුණා මුදල් කළ හැකි දෙයක් නෙවෙයි. ඒ වටිනාකමත් අඩු කළාම අපිට ක්ෂණිකව භාවිතා කරන්න පුළුවන් වත්කම් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලින 1.1ක් පමණයි.”

නමුත්, 2022 වර්ෂය ආරම්භයේ දී බැඳුම්කරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් සහ ණය පොළී වාරික ගෙවන්න සිදුව තිබේ.

ඊට අමතරව අත්‍යාවශ්‍ය ම ද්‍රවය වන ඛනිජ තෙල්, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ආනයනය කිරීමට ද මුදල් අවශ්‍ය වෙයි. ඒ සඳහා ඉතිරිවන මුදලක් නැත.

මේ සියල්ල අධ්‍යයනය කර Fitch ratings ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් CC සිට CCC දක්වා පහළ දමා තිබබේ. ඊට පෙර මූඩිස් කියන ආයතනයත් එලෙස ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා ඇත.

නමුත් මහ බැංකුව පවසන්නේ එය වරදක් බවයි. විදේශීය අතකොළුවක් වූ ආයතනයක් විසින් අනවශ්‍ය හදිසියක් පෙන්වමින් ශ්‍රී ලංකාව පහත දමා ඇති බවත් මහ බැංකුව ඇතුළු ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ආර්ථික සැළසුම් කිසිවක් ඔවුන් සැළකිල්ලට නොගැනීම වරදක් බවත් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එහි දී මහ බැංකුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලබා ඇති සාධනීය වර්ධනයන් එම වර්ගීකරණයේ දී සැළකිල්ලට ගෙන නැති බවයි.

මේ පිළිබඳ ආචාර්ය විජේවර්ධන පවසන්නේ මෙවන් කතාවකි.

“මහ බැංකුව Fitch ratings ආයතනයට විරුද්ධව අවි අමෝරාගෙන ඔවුන්ට චෝදනා කරලා වැඩක් නෑ. මේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන එම වර්ගීකරණයන් කරන්නේ ශ්‍රී ලංකාවේ අපිටවත්, රජයටවත් දැනගැනීමට නෙවෙයි. ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කරන්න හිතන පුද්ගලයන්ට මෙහි ඇති අවධානම කියන්නයි මේ වර්ගීකරණය කරන්නේ.  ඒක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය දත්ත සහ තොරතුරු අරගෙන ඒ වගේම ව්‍යාපාරිකයන් සහ අර්ථ ශාස්ත්‍රඥයන් සමඟත් සාකච්ඡා කරලා දත්ත විශ්ලේෂණය කරනවා. ඉන් පස්සේ මුදල් අමාත්‍යාංශයටත් දැනුම් දීලා ඔවුන්ගේ මතයත් විමසනවා. එවිට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මේ තත්වයෙන් ගොඩඑන්න තමන්ගේ සැළසුම් ඉදිරිපත් කරනවා. ඒවත් පිළිගන්නේ නැතිනම් ඒබවත් දැනුම් දීලා තමයි මාස දෙකකට වැඩි කාලයක් අධ්‍යයනය කරලා තමයි මේ Fitch ratings ආයතනය මෙය ප්‍රකාශයට පත්කරන්නේ. මහ බැංකුව මේ වාර්තාව ආවට පස්සේ කියන දේවල් සත්‍යයෙන් තොරයි. මහ බැංකුව වැරදි අර්ථකථනයක් දෙනවා. මේක විගණන කරුවකුගේ කාර්යයට සමානයි. විගණන කරුණු ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තමයි වාර්තාවට දාන්නේ. මේකත් ඒ වගේ දෙයක්. මහ බැංකුව අසමත් වෙලා තියෙනවා මේ ආයතනයට තමන් කියන ව්‍යාපෘති ගැන තියෙන සාර්ථකත්වය ඒත්තු ගන්වන්න. මහ බැංකුවේ අසමත්වීමට වෙනත් ආයතනවලට දොස් කියලා වැඩක් නැහැ. Fitch ratings ආයතනයේ වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙනවා ශ්‍රී ලංකාව හැම තිස්සේම සැළසුම් ඉදිරිපත් කළාලු තමන්ට ඉදිර‍ියේ දී විශාල ප්‍රමාණයකින් විදේශ වත්කම් ලැබෙනවා කියලා. නමුත් Fitch ratings කියනවා ඒ සැළසුම් පිළිගත නොහැකියි කියලා.”

ආචාර්ය විජේවර්ධන පවසන්නේ මහ බැංකුව කළ යුත්තේ Fitch ratings වාර්තාවට අවි අමෝරාගෙන චෝදනා කිරීම නොව නිසි සැළසුම් පිළිගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කර මේ වැටී ඇති අසීරු තත්වයෙන් ගොඩඒම බවයි.

ශ්‍රී ලංකාවට විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මාසයකට ඩොලර් මිලියන 650ක් පමණ මුදල් එවිම සිදුකෙරිණි. නමුත් රජය විසින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කෘතිම ලෙස පාලනය කිරීම හේතුවෙන් ඩොලර් එකක් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 199.00ක පමණ මුදලකි. නමුත් මේ හේතුවෙන් ඩොලර් මිල දී ගන්නා අනවසර වෙළෙඳ පොළක් නිර්මාණය වි ඇති අතර ඔවුන් ඩොලරයකට රුපියල් 240.00ක් ලබාදෙයි.

මේ හේතුව නිසා විදේශගත ශ්‍රී ලාංකිකයෝ පිළිගත් ක්‍රමයට ශ්‍රී ලංකාවට මුදල් එවීම අඩුකර තිබේ. නොවැම්බර් මාසයේ දී එය ඩොලර් මිලියන 350ක් දක්වා අඩුව තිබූ අතර මේ වනවිට එය ඩොලර් මිලියන 210ක් දක්වා අඩුවී ඇත.

රජය ඩොලරයක් වෙනුවෙන් තවත් රුපියල් 10.00ක් වැඩිපුර ගෙවන බව පසුගිය දා නිවේදනය කළ ද එයත් සාර්ථක පිළිතුරක් වී නැත. කළ යුතු වන්නේ රජය රුපියලේ බාල්දුවිම පිළිගෙන මූල්‍ය අනුපාතය නිසි පරිදි පවත්වාගෙන යාමයි. එසේ නොකරන තාක් ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැත.

ආචාර්ය විජේවර්ධන පෙන්වාදෙන්නේ රජය ජනවාරි මාසයේ දි දැනට ඇති සංචිතලින් ණය ගෙවීම කෙසේ හෝ සිදුකර ආනයනය සීමා කරනු ඇති බවයි. ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් නොමැති තත්වයක් ජනවාරියේ උදාවන බව ද ඔහු පෙන්වා දෙයි.

“දැන් ආර්ථිකය ගැන දන්නා අය විතරක් නෙවෙයි. රටේ සාමාන්‍ය ජනතාව පවා මේ වගේ වැරදි ප්‍රතිපත්ති සම්පාදකයන්ට බනින්න පටන් අරගෙන. අද මිනිස්සු පාරට බහින තත්වයක් උදාවෙලා තියෙන්නේ. නමුත් පාලකයන් සිහින ලෝකයක් මවා පෙන්වනවා. ‍රටේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්නේ මේක නොවෙයි. සියල්ල සමබර වෙන්න ඕනෑ. අදටත් අපි ප්‍රමාද නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන අපිට ටිකක් හුස්ම ගන්න පුුළුවන්. නමුත් හිතුවක්කාර විදියට අපි තමයි දක්ෂ, අපිට තමයි හැමදේම කරන්න පුළුවන් කියමින් ඉන්නවානම් ජාත්‍යන්තරය දන්නවා අපි බොරු කාරයෝ කියලා. රටේ මිනිස්සුන්ට බොරු කිව්වට ලෝකෙට බොරු කියන්න බෑ.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා එවැනි කතාවක් කීව ද රටේ ඇතැම් ප්‍රබල ඇමිතවරු කියන්නේ රජය ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගන්නවානම් ඒ සඳහා යාමට සිදුවන්නේ තමන්ගේ මල මිනී උඩින් බවයි. සැබැවින් ම එවැනි ප්‍රකාශ සිදුකරන ඇමතිවරු පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු කුමක්දැයි නොදන්නා බවක් ඉන් පහැදිළි වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටවල ඇති ආර්ථික දුෂ්කරතා සඳහා විසඳුමක් ලෙස ලොව රාජ්‍යයන් විසින් සාදා ගත් එකමුතුවකි. එහි ශ්‍රී ලංකාව ද ගිවිසුම් ගත වී සිටියි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එම අරමුදලින් ණය ගැනීම හැකියාව සහ අයිතිවාසිකමක් ද තිබේ.

මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගත්තේ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ 1970-71 රජයයි. උග්‍ර වාමාංශිකයන් එදා ණය ගැනීම අනුමත කර තිබිණි.

නමුත් අද වත්මන් රජය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගන්නා විට රටට බරපතල කොන්දේසි දමන බවයි. එය බටහිර කුමන්ත්‍රණයක් බව ද දේශපාලකයෝ කියති.

ඒ කතාව සම්පූර්ණයෙන් ම අසත්‍යයක් වන අතර එය තම අසමත්කම සඟවාගෙන රටේ ජනතාව නොමග යවා ජනතාවම අමාරුවේ දමමින් තම බලය තහවුරු කරගැනීමට කරන ප්‍රචාරයක් පමණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙනවිට කොන්දේසි ඉදිරිපත් කරන්නේ නැත. යම් රටක් එම අරමුදලින් ණය ඉල්ලා සිටින්නේ නම් ඒ සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළ යුතුය එහි දී ප්‍රධාන වශයෙන් නාස්තිය දූෂණය පිටු දැකීම, බදු ආදායම් ඵලදායී දේ සඳහා යොමුකිරීම, රටේ මූල්‍ය කළමනාකරණයේ විනිවිද භාවයක් ඇතිකිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර දිරි ගැන්වීම, සහනාධාර අයථා ලෙස පරිහරණය වැළැක්වීම, ඒවා අවශ්‍යම අයට පමණක් ලබාදීම යන කරුණු ඇතුළත් වාර්තාවක් සැකසිය යුතුය. එය ඉදිරිපත් කරන්නේ රටක මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකුව විසිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කිසිදු  කොන්දේසියක් ඉදිරිපත් නොකළ ද රටක් ලෙස එකඟවන එම යෝජනාගත කරුණු සාක්ෂාත් කිරීමට ණය ලබාගන්නා රටවල් බැඳී සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ල මිගින් කිසියම් ණයක් ලබාගන්නේ නම් මෙරට මුදල් ඇමතිවරයා සහ මහ බැංකුව විසින්ම සකසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කරනු ලබන කොන්දේසි ආරක්ෂා කිරීමට බැඳී සිටියි.

“මේ කොන්දේසි කියන්නේ අපේ රටේ ජනතාව ම බලාපොරොත්තු වෙන දේ. ඔවුන්ගේම අපේක්ෂාවවන්, ඉතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා හෝ අපේ රටේ ජනතාවට මේ යහපත් දේ ලැබෙනවාන්ම හොඳයි. නමුත් තිබෙන්නේ රජය ඇයි මේකට මේ තරම් බය. තමන්ම ඉදිරිපත් කරන කොන්දේසි තමන් ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නේ ඇයි. කවදාවත් ජාත්‍යන්තර අරමුදලෙන් සල්ලි ගත්තා කියා රට පාවා දීමක් සිදුවෙන්නේ නෑ. දැන් රජය කියන කතා හොඳයි ආර්ථික විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති අය පිනවීමට නම්. 2015 යහපාලන රජයත් මේක වරද්දා ගත්තා. අපි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අරගෙන රටේ ගැටලු විසඳා ගනිමු කියලා. නමුත් එවකට හිටපු මුදල් ඇමති කිව්වා බෙල්ජියමෙන් රුපියල් බිලියන 03ක ත්‍යාගයක් ලැබෙනවා ඒක නිසා තැන්පතුවක් ලැබෙනවා කියා. අපි ඒ අවස්ථාවේ පෙන්වා දුන්නා මේ කළු සල්ලි සුදු කරන වැඩක් විය හැකි බව. නමුත් ඒවා ඇහුවේ නෑ.  2020 ජනවාරි වල වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ගත්තානම් මේ තරම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබෙන්නේ ඉතාමත් අඩු සහනදායී පොළියකට. නමුත් අපේ අය කරන්නේ වෙනත් බැංකුවලින්, රටවල්වලින් අධික පොළියට ණය ගැනීම. මේ ක්‍රමය වැරදියි. ඒකෙන රටේ ආර්ථික ව්‍යසනය තවත් උග්‍ර වෙනවා.අපිට පේනවා ජාතික ආදායම වර්ධනය වෙන්නේ සෘණ අගයකින් හෝ බිංදුවට සමාන වීමකින්.”

ශ්‍රී ලංකා මහ බැකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පවසන්නේ මහ බැංකුව මුදල් අධික ලෙස මුද්‍රණය කරලා සංසරණය වැඩි කර තිබෙන බවයි. 2019 දෙසැම්බර් සිට 2021 ඔක්තෝබර් දක්වා මාස 22 දී රටේ මුදල් සැපයුම් මහ බැංකුව විසින් ට්‍රිලියන 03 කින් වැඩි කර ඇති බව ඔහු පෙන්වා දෙයි. එය මෙරට මුදල් 39%කින් වැඩි කිරීමක් බවත් ඒ හේතුවෙන් දැනටමත් ආහාර උද්ධමනය 17%ක් බවට පත්ව ඇති බවත් ඔහු පවසයි.

“ රටේ විදේශ විනිමය නැති නිසා මේ කරන්නේ පැලැස්තර ඇලවීමක්. ඒ නිසා රුපියල තවදුරටත් බිඳ වැටීම නවත්වන්න බැහැ. ආර්ථික, දේශපාලනික ගැටලු විශාල වශයෙන් එනවා. ඉදිරියේ දී ඉතාමත් දුෂ්කර කාලයක් රටට උදා වෙනවා. ඒ නිසා 2022 වර්ෂය රටට හොඳක් වේවි කියා හිතන්න බැහැ. ක්ෂණිකව මේ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි. “

ඔහු පවසන්නේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය පැස්බර ප්‍රතිපත්තිය බවයි. පැස්බරා තම සතුරකුගෙන් බේරීම සඳහා හිස වැල්ලේ සඟවාගත් විට තමන් බේරුණා යැයි සිතුව ද හිස හැර සිරුරේ සියලුම කොටස් එළියේ විවෘතව පවතින බව පැස්බරා කවදාවත් තේරුම් නොගන්නා කරුණකි.

ශ්‍රී ලංකාවේ රජයටත්, රටකරවන දේශපාලකයන්ට හා නිලධාරී පැලැන්තියටත් සිදුව ඇත්තේ පැස්බරාට සිදුවූ දෙයයි. රටටත් ජනතාවටත් සාවද්‍ය ප්‍රකාශ කරමින් කොතරම් කටයුතු කළඳ ප්‍රායෝගිකව එය ක්‍රියාවේ නෙයෙදීම හේතුවෙන් දැන් සියල්ල හෙළිදරව් වෙමින් තිබේ. දැනටත් රට ගොඩගැනීමට අවස්ථාවන් තිබේ. ඒ සඳහා තමන්ගේ වැරදි මතවාද සහ දේශපාලන න්‍යාය පත්‍ර පසෙකින් තබා රටත් ජනතාවත් වෙනුවෙන් අවංකව කැපවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!