spot_img
spot_imgspot_img

මුතුරාජවෙල වනසන්න ගැසට් ගැහුවා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පුවත්

විදෙස්

මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ලක්පුර ජයමහ සහ එහි ලේකම් දොන් සේනාරත්න වනසිංහ විසිනි. නීතිඥ නිලංග පෙරේරා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, නීතිපතිවරයා ඇතුළු 24 දෙනකු නම්කර ඇත.

පෙත්සම්කරුවන් පවසන්නේ මුතුරාජවෙල තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝටල්, ගොල්ෆ් ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීමේ යටි අරමුණ ඇතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි. එමගින් මතුරාජවෙල පරිසර පද්ධතියේ විශාල ප්‍රදේශයක පැවැත්මට හානියක් සිදුවන බව ද ඔවුන් පවසයි.

2017 වර්ෂ‍යේ දී මුතුරාජවෙල තෙත් බිමෙහි නීති විරෝධී වැලි ගොඩදැමීම් සිදුවන බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මුතුරාජවෙල තෙත්බිමේ මායිම් නිවැරදිව ලකුණු කරන ලෙස වන සංරක්ෂණ ජනරාල්වරයාට නියෝග කර තිබිණි. එසේ වුව ද එම නඩුව විභාග වන අතරතුර, වැලි ගොඩ දැමීම සිදු නොවන බව පවසමින් නඩුව අවසන් කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. පෙත්සම්කාර සංවිධානය ඊට විරෝධය පළකරමින් කියා සිටියේ තෙත්බිමේ මායිම් ලකුණු කිරීමේ ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැති බවයි. ඉන් පසු නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ තෙත් බිම් සීමා මායිම් හැකි ඉක්මණින් ලකුණු කර අවසන් කරන බවයි.

නමුත් එය මෙතෙක් අවසන්ව නැතැයි පෙත්සම්කාර පාර්ශවය පවසයි.

‍මුතුරාජවෙල තෙත් බිමේ තවදුරටත් නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරම සිදුවෙමින් පවතින බවට විෂය භාර ඇමතිවරයාට සහ පොලිසියට පැමිණිලි කර ඇත. ⁣

පෙත්සම්කාර පාර්ශවය පවසන්නේ මුතුරාජවෙල තෙත්බිමේ තුඩුව ප්‍රදේශයේ හෙලිකොප්ටර් අංගනයක්, සුඛෝපභෝගී හෝටලයක් සහ ගොල්‍‍ෆ් පිටියක් ඉදිකිරීමට සැළසුම්කර ඇති බවයි. ඒ සඳහා පාරිසරික වාර්තා සඳහා ද අනුමැති ලැබී ඇති බවත් ලිපි රැසක් හුවමාරු වී ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා විසින් 2248/44 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ‍මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් බවට පත්කරන ලද්දේ මිනුම් සැළසුම් නොමැතිව බවත් එමගින් දෙස් විදෙස් ආයෝජකයන්ට මුතුරාජවෙල තෙත්බිම තුළ ඉදිකිරීම් සඳහා අවස්ථාව සැළසෙන බවත් පෙත්සම්කාර පාර්ශවය පවසා ඇත. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර ඇති බැවින්, පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ද අදාල ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!