කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 47,660ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,604ක් බවට පත්විය.
අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 220කින් ඉහළ ගිය අතර දනිය අවාසනයේ එය ඒකක 10,632ක් බවට පත්විය.
මෙය මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා කළ වැඩිම අගයයි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ මෙතෙක් සමාගමක් වාර්තා කළ වැඩිම ප්‍රාග්ධනීකරණය වාර්තා කරමින් කොමර්ෂල් ලීසිං සමාගමෙහි සමස්ත වත්කම රුපියල් බිලියන 539ක් ඉක්මවීමට සමත්විය.
මෙය කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ බිලියන 500ක වත්කම් ඉක්මවූ පළමු සමාගම වන අතර මෙහි වත්කම් ඉහළ යාම කෘතිම තත්වයක් වන බව ආයෝජකයෝ කියති. එයට හේතුවක් වන්නේ කොමර්ෂල් ලීසිං සමාගමේ සමස්ත කොටස් ප්‍රමාණයෙන් මහජනතාව සඳහා නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය 0.45% වැනි සුළු අගයක් වීමයි. ඒ අනුව එම කොටස්වල මිල දිනෙන් දින ඉහළ යාම හමුවේ සමස්ත කොටස් මිල දර්ශකය ඉහළ යන අතර සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය ද අධික ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙයි.
කොමර්ෂල් ලීසිං සමාගමේ කොටසක අගය 2021 ජුලි මාසයේ දී රුපියල් 6.00ක් ලෙස සටහන් වූ අතර එම සමාගමේ සමස්ත වත්කම් ප්රමාණ්ය රුපියල් බිලියන 41ක් විය. අද දිනයේ කොමර්ෂල් ලීසිං සමාගමේ කොටසක අගය රුපියල් 85.00ක් ලෙස සටහන් වූ අතර ඒ අනුව කොටස්වල වත්කම රුපියල් බිලියන 500 ඉක්මවීය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත වී ඇති සමාගම් ගණනය කිරීමේ දී කොමර්ෂල් ලීසිං සමාගම මහනජතාවට නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය ඉතා අගයක් ගන්නා සමාගම්වලින් එකකි. අද දිනයේ එක්ස්පෝ ලංකා සමාගම බිලියයන 387ක වත්කම් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද, කොමර්ෂල් ලීසිං සමාගමේ මව් සමාගම වන එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 306ක වත්කම් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට ද පත්විය.
අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව ගනුදෙනු වූ සමාගම් අඅතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,007යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 991යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 989ක් ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 86ක් ලෙස ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 36ක් ද, කොමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 12ක් ද ගනුදෙනු විය.
අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර කන්වේනියන්ස් ෆුඩ්ස් සමාගම 25%කින් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 19%කින් ද කොමර්ෂල් ලීසිං සමාගම 19%කින් ද ප්‍රධාන විය.
සංවෘත කවය තුළ ජෝන් කීල්ස් සමාගම කොටස් 403,000ක් රුපියල් 150.00 බැගින් ද, ඩිස්ටලරීස් සමාගම කොටස් ලක්ෂ 12ක් රුපියල් 17.50 බැගින් ද හුවමාරු විය.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 70ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 152ක කොටස් විකුණා තිබේ. එ අනුව අද දිනයේ පමණක් ශුද්ධ ලෙස විදේශී්‍ය ආයේාජකයන් විසින් රුපියල් මිලියන 82ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
අද දිනය දක්වා සමස්තයක් ලෙස 2021 වර්ෂයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය අයෝජකයන් විසින් රුපියල් බිලියන 46.782ක මුදලක් ඉවත්කරගෙන තිබේ. විදේශීය ආයෝජකයන් විසින් අද දිනයේ කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 1.9යි, ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 108ක් ලෙස ද, කොටස් විකුණූ සමාගම් අතර සිලෝන් බෙවරේජ් සමාගම රුපියල් මිලියන 26යි, ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 24යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 13ක් ලෙස කැපී පෙණිනි.
අද දිනයේ සමාගම් කිහිපයක් සිය ලාභාංශ ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව ආසිරි හොස්පිට්ල් සමාගම රුපියල් 1.30ක ලාභාංශයක් ද, ආසිරි සර්ජිකල් හොස්පිටිල් සමාගම රුපියල් 1.20ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)