spot_img
spot_imgspot_img

මල්වත්තේ චීවරධාරියෙක් නීතියට උඩින් යද්දී, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පොලිසියත් ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කරලා

පුවත්

විදෙස්

මල්වතු පාර්ශවයේ චීවරධාරියෙක් නීති සියතට ගනී. පොලිසිය නීතිය මඟහරයි. ‍

මහනුවර දිස්ත්‍රික්කයේ දවුලගල පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට එරෙහිව දවුලගල පොලිසිය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට ද පටහැනිව කටයුතු කරමින් පොලිසිය නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ද මේ වනවිට පැමිණිල්ලක් ගොනුකර ඇති අතර “ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව” විසින් හෙට (21) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත ද කරුණු දැක්වීමට නියමිතය.

එම සංවිධානයේ නීතිඥවරු පවසන්නේ විහාරාධිපති හිමියන් සහ විහාරාධිකාරී හිමියන් ලෙස පෙනී සිටින පුද්ගලයන් මෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇතැයි දැනුම් දෙන බවයි. එමෙන්ම දවුලගල පොලිසිය ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණයට අපහාසයක් කර ඇති බවට කරුණු වාර්තාකරන බව නීතිඥවරු පවසති.

අද (10) කැලියල්පිටිය ගමේ ප්‍රජා ආරක්ෂණ කමිටුව රැස්වූ අවස්ථාවේ දී ද එම කමිටුවේ සාමාජිකයන් එම පීඩාකාරී ශබ්දය නතර කර‍ දෙන ලෙසත් විහාරාධිපති හිමියන් විසින් ගේට්ටුවක් දමා ඇති මාර්ගය විවෘතකර දෙන ලෙසත් ඉල්ලා ඇතත් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු එම රැස්වීමට සහභාගී වූ පොලිස් නිලධාරීන් 06 දෙනාම විසඳුමක් නොදී ආසු හැරී ගොස් ඇත.

ශබ්ද විකාශනය යන්ත්‍ර භාවිතා කිරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්, කොළඹ දිසා අධිකරණයේ තීන්දුවක්, ගාල්ල දිසා අධිකරණයේ තීන්දු දෙකක් සහ පොලිස්පති චක්‍රලේඛයක් ද තිබිය දී ඒ කිසිවක් ගණනකට නොගෙන පොලිස් නිලධාරීන් තවමත් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද කරමින් සිටියි.

මේ අතර මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව යමින් විහාරස්ථානයේ ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් වැරදි උපදෙස් ලබා දී තිබිණි.

දැනට වසර දෙකක පමණ කාලයක සිට එම විහාරස්ථානය අසළ පදිංචි නාලක මිහිර බණ්ඩාර සහ ඔහුගේ බිරිඳ පොලිසියට අවස්ථා කිහිපයක් ම පැමිණිලි කර ඇති අතර පැමිණිලි කරුවන් පොලිසියට 46 වතාවක් කැඳවා තිබේ. එසේ වුව ද පොලිසිය අදාල ගැටලුව විසඳා නැත.

මෙම විහාරයේ විහාරාධිපතිවරයා ලෙස පෙනී සිටින්නේ මල්වතු මහා විහාරයේ කාරක සභික හිමිනමක් ලෙස පෙනී සිටින ඇටිපොළ බුද්ධරක්ඛිත නමැති චීවර ධාරියෙකි. (පැමිණිලි කළ කාන්තාවන හිංසනයට පත්කරමින්, ගැමියන්ට තර්ජනය කර පොදු මාර්ග වසා දමමින්, නීතියට පටහැනිව ජනතාවට හිංසාකාරී ලෙස ශබ්ද දූෂණය සිදුකරන මෙවැනි පුද්ගලන්ට තවදුරටත් අප බෞද්ධ භික්ෂූන් ලෙස අමන්නේ නැත.)

46 වතාවක් පොලිසිය මඟහරිමින් පැමිණිල්ල විභාග කිරීමට නොපැමිණි මෙම චීවර ධාරියා තමන් මල්වතු මහා විහාරයේ කාරක සභිකයකු යැයි පවසමින් සියලු වැරදිවලින් බේරී සිටීමට උත්සාහ ගනියි.

ඇටිපොළ බුද්ධරක්ඛිත ලෙස පෙනී සිටින චීවරධාරියා සමඟ අප මේ සම්බන්ධයෙන් කතා කළ විට ඔහු කියා සිටියේ රෙද්දේ නීතිය තමන්ට වැඩක් නැති බවයි. තමන් ප්‍රචාරය කරන්නේ පිරිත් බවත්, පිරිත් ඇසීමට අකමැති කවුරුන් හේ සිටීනම් පදිංචිය අතහැර වෙනත් පන්සලකට යා හැකි බවත් ඔහු පවසයි. එමනේම තමන් භාරකාරත්වය දරන විහාරයේ සිටින සාමණේර හිමිවරුන්ගේ පාඩම්වැඩවලට බාධා වන බැවින් පහළ ආවාසගෙට ශබ්දය ඇසීම වැළැක්වීමේ අරමුණෙින් ඉහළ බෝ මළුවේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකළ බව ද මේ චීවරධාරියා අප සමඟ කීවේය.

අද ගමේ ප්‍රජා ආරක්ෂක කමිටුවේ රැස්වීමට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ‍පැමිණිලිකාර නාලක මිහිර බණ්ඩාර ද කැඳවා තිබිණි. එම රැස්වීම අතරතුර පොලිස් ස්ථානාධිපතිවරයා විහාරාධිපති ලෙස පෙනී සිටින ඇටිපොළ ධම්මරක්ඛිත නමැති චීවරධාරියාට දුරකථන ඇමතුමක් ගෙන විනාඩි 10ක් පමණ ඔහු සමඟ සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවේ දී චීවරධාරියා විසින් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධ තීරණයක් ගැනීමට තවත් කල් ඉල්ලූ බව ද පොලිසිය පැමිණිලිකරුට පවසා ඇත.

මේ අවස්ථාවේ දී ද පොලිසිය අධිකරණ නියෝග සහ පොලිස්පති චක්‍රලේඛ නොතකා හැර තිබීම ගැටලු සහගතය.

“මට ස්ථානාධිපතිතුමා කිව්වා ඇටිපොළ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ හමුවෙලා වැඳලා සමාව අරගෙන පාර ඇරලා දෙන්න යැයි ඉල්ලන්න කියලා. මට තියෙන කරදරය ගැන කතා කරන්නේ නෑ. කන් බීරිවෙන්න ස්පීකර් දානවා. ඒ පැමිණිල්ලට කිසිම ප්‍රතිචාරයක් නෑ. මම බෑ කිව්වා. මම යන්නේ නෑ කාගෙන්වත් සමාව ගන්න. මම වැරද්දක් කරලා නෑ. මම ගෙදර ගියාට පස්සේ පොලිස් ස්ථානාධිපිතතුමා නැවත මට කතා කරලා කියනවා මම ෆේස්බුක් ඒකේ මේ සම්බන්ධයෙන් පෝස්ට් සියල්ල මකා දමන්ලු එතකොට මේ ප්‍රශ්නය විසඳා දෙන්නම්ලු.”

අපි ඒ පිළිබඳ දවුලගල පොලිස් ස්ථානාධිපති නිශාන්ත අබේවර්ධනගෙන් විමසූ විට මෙසේ කීවේය.

“මේක ලොකු ප්‍රශ්නයක්. පිරිත්නේ දාන්නේ. එක්කෙනෙක් මේකට විරුද්ධයි. ශබ්දය අඩුකරන්න කීවාට ඒක හරියට වෙන්නෙත් නැහැ. මම පැමිණිලිකරුට සමාව ගන්න කියලනම් කිව්වේ නැහැ. හාමුදුරුවෝ මේම ප්‍රශ්නය විසඳන්න කල් ඉල්ලනවා. හාමුදුරුවෝ කිව්වා පැමිණිලිකරු එක එක විදියේ පෝස්ට් දාලා කියලා ෆේස්බුක් එකේ. මම ඒ ගැන ඔහුට කිව්වා නම් තමයි. නමුත් එයා කිව්වා එකක්වත් ඉවත් කරන්නේ නැහැ කියලා.”

ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් දී ඇති නියෝගය සහ පොලිස්පති චක්‍රලේඛය අනුව මෙම සිද්ධියේ දී පොලිසිය කටයුතු නොකරන්නේ කවර හේතුවක් නිසාදැයි ඇසූ විට ස්ථානාධිපතිවරයා කියා සිටියේ තම පොලිස් බලප්‍රදේශයේ ඇති විහාරස්ථාන සංඛ්‍යාව 50ක් පමණ වනබවයි. ඒ කිසිම විහාරස්ථානයකට බලපත්‍රයක් නැති බව ද හෙතෙම කිවේය. නමුත් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද යන්න ඔහු පවසන්නේ නැන.

කැලියල්පිටිය පුරාණ විහාරස්ථානයේ පීඩාකාරී ශබ්ද විකාශනය සම්බන්ධ පැමිණිලි කළ ද තමන්ට සාධාරණය ඉටු නොකළ දවුලගල පොලිසිය සිය මානව හිමිකම් කඩකර ඇති බව ට නාලක මිහිර බණ්ඩාර මේ වනවිට පැමිණිලි කර තිබේ. හෙට (21) දිනයේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට ද කටයුතු කර ඇත.

(සජීව විජේවීර)

2 COMMENTS

  1. ගමේ මිනිසුන් කැලෑ නීතිය ක්‍රියාත්මක කරන දිනය වැඩි ඈතක නොවේ. එදාට වරෙල්ලකෝ බැටන් පොළු අරන්.

Leave a Reply to Premakeerthi Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!