spot_img
spot_imgspot_img

තේ ආර්ථිකයේ කඩා වැටීමට GMOA පාදෙණියත් වගකිව යුතුයි. වස විස ගැන කියන්නේ බො‍රු

පුවත්

විදෙස්

රසායනික පොහොර තහනම් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් යැයි පවසමින් දැවැන්ත හඬක් නැගූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තවදුරටත් ජනතාව නොමඟ යවමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු සහ මෙරට ප්‍රකට පරයේෂකයකු වන රොහාන් පෙතියගොඩ පවසයි.

ඔහු පවසන්නේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙරට ප්‍රධාන අපනයනයක් වූ තේ කර්මාන්තය මුළුමනින්ම විනාශ කිරීම සඳහා හිතාමතා සැළසුම් සහතව අසත්‍ය ප්‍රකාශ කරමින් කටයුතු කරන බවයි.

තේ කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය ග්ලයිෆොසේට් නමැති වල් නාශකය මේ වනවිට රජය විසින් තහනම් රසායනිකයක් බවට පත්කර තිබේ.

අනුරුද්ධ පාදෙණිය විශේෂඥ වෛද්‍යවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රසායනික පොහොර භාවිතය මිනිස් සිරුරට හානිකර බව පවසමින් සිදුකරන ලද දේශනයක දී සහ රූපවාහිනී වැඩසටහනක දී ඔහු මෙසේ කීවේය.

“මගේ මිත්‍රයකුගේ තාත්තා අඳ ගොවියෙක් හැටියට මුළු ජීවිත කාලයේම කුඹුරු යායටම වස විෂ ගැහුවා. අන්තිමේ දී වක්කඩෙන් වතුර බීපු එතුමා වකුගඩු රෝගයෙන් මියගියා.”

විශේෂඥ ස්නායු වෛද්‍යවරයකු වූ අනුරුද්ධ පාදෙණිය තම මිතුරාගේ මරණය සෘජුවම රසායනික ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ කරයි. රසායනික පොහොර නිසා වකුගඩු රෝගය සෑදෙන බවත් ඒ නිසා ගොවීන් මියයන බවත් ඔහු ප්‍රසිද්ධියේ කියයි.

නමුත් මෙ‍තෙක් ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කිසිම රටක හෝ වකුගඩු රෝගය සහ රසායනික පොහොර හෝ වල් නාශක භාවිත  අතර සම්බන්ධයක් විද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු කර නැත. ඔහු පවසන මිතුරාගේ පියාගේ මරණය දුක හිතෙන කතාවක් වුව ද එම මරණය සහ පළිබෝධ නාශක භාවිතය අතර සම්බන්ධයක් හෝ ඔහු කියන්නේ නැත. මේ ඔහුගේ මනස්ගාතයක් පමණි.

රොහාන් පෙතියගොඩ පවසන්නේ මෙවැනි එක් හුදකලා සිද්ධියක් පදනම් කරගනිමින් සමස්ත නිගමනයකට එළභීම උගත් අයකු‍ විසින් නොකළ යුතු බවයි. ඔහු ඒ සඳහා අපූරු උදාහරණයක් ගනිමින් වෛද්‍ය පාදෙණිය ප්‍රශ්න කරයි.

ඒ මෙසේ ය.

“මගේ තාත්තා 96 හැවිරිදි වියේ දී මියගියා. කිසිම දිනයක ඔහු රෝහලක රැයක් ගත කරලා නැහැ. මියයාමට ආසන්න අවසන් සතිය වනතුරු ඔහු කිසිදු රෝගයකට බෙහෙත් බීලා නැහැ. ඉතාමත් හොඳින් නිරෝගීව ජීවත් වුණා. නමුත් ඔහු තම ජීවිත කාලයේ දී අඩුම ගණනේ සිගරැට් ලක්ෂ 05ක්වත් පානය කරලා තියෙනවා. මම ඔබට කිව්වොත් ජීවිත කාලයේ දී දුම්වැටි ලක්ෂ 05ක් පානය කළොත් ඉතා නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් කියලා ඔබ මා මෝඩයෙක් ලෙස සළකනවා. ඒ නිසා තමයි මා කියන්නේ පාදෙණිය එක් සිද්ධියක් අරගෙන සමස්ත නිගමනයකට එළඹීම වැරදියි කියලා. එක් සිද්ධියකින් සමස්තය තීරණය කරන්න බැරි බව වෛද්‍ය පාදෙණිය තේරුම් ගත යුතුයි.”

ශ්‍රී ලංකාවේ වර්ෂ 2002 සිට 2019 දක්වා කාලයේ දී පළිබෝධ නාශක භාවිතා කිර සියදිවි නසාගැනීමට උත්සාහ ගත් පුද්ගලයන් 34,000ක් වාර්තා වී තිබේ. මේ වනවිට රසායනික තහනම නිසා එවැනි උත්සාහයන් අඩුවී ඇත.

මේ සියලු දත්ත භාවිතා කිරීමේ දී පලිබෝධ නාශක ඉතාමත් සාන්ද්‍ර මට්ටමෙන් හෙවත් ජලයේ දිය නොකර පානය කිරීමෙන් පවා මරණය සිදුවිය හැකි සම්භාවිතාව ඉතා අඩු අගයක් ගන්නා බව පෙනී යයි.

මේ වනවිට මෙරට තේ වගාවට බහුලව භාවිතා කරන ලද ග්ලයිෆොසේට් ද තහනම් කර තිබේ.  ග්ලිය‍ිෆොසේට් සෘජුව ම පානය කර සියදිවි නසාගැනීමට උත්සාහ ගත් 3900ක පිරිසක් අතරින් මියගොස් ඇත්තේ 2.24% වැනි ඉතාමත් සුළු පිරිසක් පමණි.

ශ්‍රී ලංකාව වස විසෙන් තොර රටක් විය යුතු බවත්, පරිසර දූෂණයෙන් තොර රටක් විය යුතු බවත් අප සැවොම පිළිගන්නා කරුණකි. නමුත් රසායනික පොහොර, වල් නාශක වර්ග මේ වනවිට කෘෂිකර්මය හා බද්ධ වී තිබේ. ඒවා භාවිතයෙන් තොරව ලෝකයේ ආහාර අවශ්‍යතාව සපුරාගත හැකි සැළසුම් ඉදිරිපත් විය යුතුය. නමුත් සැළසුමක් නොමැතිව මේවා තහනම් කර අපේක්ෂිත ප්‍රතිඵල ලැබිය හැකි ද යන්න ගැටලුවකි.

ලෝකය පුරාම රසායනික ද්‍රව්‍ය නියාමනයට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ ද එය සිදුකරයි. ග්ලයිෆොසේට් මිනිස් සිරුරට අහිතකර යැයි සෘජුවම තහවුරු කර නැතත් එවැනි රසායනික දිගින් දිගටම භිවාතයෙන් අතුරු ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව අපගේ ද විශ්වාසයයි. නමුත් සෑම ප්‍රකාශයකට ම විද්‍යාත්මක පදනමක් තිබිය යුතුය.

විශේෂයෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි ප්‍රධාන පෙළේ වෘත්තීය සමිතියක සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍යවරයකු විද්‍යාත්මක පදනමකින් තොරව අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම අනුමත කළ හැකි දෙයක් නොවේ.

ලෝකයේ විවිධ රටවල ග්ලිෆොසේට් පිළිබඳ සිදුකර ඇති පර්යේෂණ සම්බන්ධ පත්‍රිකා 7000කට වඩා විශ්ලේෂණය කළ යුරෝපා සංගමය අවසානයේ නිගමනය කර ඇත්තේ ග්ලයිෆොසේට් මිනිසාට අහිතකර රසායනිකයක් බවට තීරණය කිරීමට කිසිදු සාධකයක් නොමැති බවයි.

ග්ලියි‍ෆොසේට් තේ වගාවේ දී භාවිතා කරන්නේ වල් නාශකයක් ලෙසිනි. එය භාවිතා කිරීමේ දී සිදුවන්නේ තණකොළ පත්‍රයේ ඇති පූටිකා මගින් මේ රසායනිකය උරාගෙන එම පැලෑටි මියයාමයි. ග්ලයි‍ෆොසේට් භාවිතයෙන් තේ කොළවලට හානියක් සිදුවන්නේ නැත.

එමනේම ග්ලයිෆොසේට් භාවිතා කිරීමේ දී පස් සහ මඩ සමඟ කළවම් නොකර භාවිතා කරන්න යැයි ද උපදෙස් දී ඇත. එම රසායනිකය පස් අංශු හා එක්වූ විට එය උදාසීන වන බැවින් එවැනි උපදෙසක් දී තිබේ.

එසේනම් වල් නාශකයක් ලෙස යොදාගන්නා ග්ලයිෆොසේට් මිනිස් සිරුරට අහිතකර වන්නේ යැයි කියන්නේ කෙසේ ද ?

තම වෘත්තිය පැත්තකින් තබා දේශපාලන න්‍යායපත්‍රවලට සහ වෙනත් අරමුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට තම වෘත්තීය සමිතියේ නිලතල පවා අවභාවිතා කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිදුකරන පදනම් විරහිත කතා නිසා‍ නොමග ගොස් සිටින්නේ මෙරට දේශපාලන නායකත්වයයි. ප්‍රතිපත්ති සැළසුම් කරුවෝය.

අනුරුද්ධ පාදෙණිය වැනි පුද්ගලයන් දැන් වස විස නැති රටක් යන්න කර තබාගෙන ජනප්‍රිය වීමට රටම ගොනාට අන්දවති. ඔවුන් විනාශ කරන්නේ මෙරට සමස්ත ආර්ථිකයයි.

මෙරට ප්‍රධානතම අපනයන ආදායමක් වන තේ වගාව විනාශ කිරීමට ඔවුන් ද වගකිව යුතුය.

1 COMMENT

  1. සම්පූර්ණයෙන්ම කතාව ඇත්ත . මෙතන තියෙන්නේ ඩීල් එකක්. මේ විනාශයට රතන හාමුදුරුවෝත් ඉන්නවා . කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව මරි මෝඩ දේශපාලන තීන්දු හා ඩීල් නිසා රටට විශාල අපරාධයක් කරලා තියනවා . රටේ කෘෂි ආර්ථිකය මේ වනවිට විනාශ වෙලා තියනවා. තේ වගාව විතරක් නොවේ , අනිත් සියලුම වගාවන් මේ වන විට විනාශ වෙමින් යනවා. අපිට අනාගතයේ සියලුම කැම බීම පිටරටින් එනතුරු කට උඩ බලන් තමයි .
    අපේම දේශපාලුවෝ හා ඔවුන්ගේ ඩීල් කරුවන් කවදා හෝ රට ඉතියෝපියාවේ තත්ත්වයට ගෙනෙවි කියලා මට හිතෙනවා .
    ගොවියා පාරට ඇද දමා මේ කරන අපරාධයට වන්දිගෙවන්නේ කවුරු ද?
    මා දකින විදියට වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව අප ගන්නා බෙහෙත් වර්ග. අද බොහෝ වෛද්‍යවරු සැක පිට අනවශ්‍ය විදියට බෙහෙත් ලබාදෙයි. මොකද ඔවුන් බහුජාතික කම්පැනි සමග ඩීල් නිසාද මෙවැන්නක් සිදු කරයි. මේවා වසා ගන්න මේවගේ අපරාධ කරනවාද යන්න සොයාබැලිය යුතුයි .
    ඒ වගේම ඒ ඒ ප්‍රදේශවල පසේ සංයුතියද මේ සදහා බලපෑ හැකිබව මගේ මතයයි. මේ පිළිබඳව පරික්ෂණයක් සිදු කිරීම ද ඉතා වැදගත් බවයි මගේ අදහස .

Leave a Reply to Rajula Jayasekara Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!