ඔබ ගාල්ලේ ද ? ප්‍රවේශමෙන්.

0
2271

ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්‍රවේශමෙන්

ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙයට හේතුවී ඇත්තේ ගාල්ල හා ඒ අවට ස්ථාන ගණනාවක පුද්ගලයන් නිරෝධායනය කිරීම හා කොරෝනා ‍ආසාදිතයන්ගේ පළමු මට්ටමේ සමීපතමයන් කිහිප දෙනකු ගාල්ල පුරා සැරි සරා තිබීමයි. 35 දෙනකු මෙතෙක් සොයා ගැනීම ද අපහසු වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථානවල සහ හෝටල් ගණනාවක දහසක පමණ පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ. රජයේ සෘජු අධීක්ෂණය යටතේ ඇති එවැනි ස්ථානවලින් කොරෝනා වෛරසය පැතිරීයාමේ අවධානමක් නැතත් ඇතැම් විදේශිකයන් නිරෝධායනය වෙමින් සිටින හෝටල්වල සේවකයන් තම නිවසේවල සිට රැකියාව සඳහා පැමිණීම ගැටලුවක් බව ගාල්ල දිස්ත්‍රික්ක‍යේ සෞඛ්‍ය අංශ ප්‍රධානියකු මෙම ලේඛකයා සමග කියා සිටියේ තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.

ගාල්ල නගරයත් අධිවේගී මාර්ගයත් අතර විදේශිකයන් නිරෝධායනය වී සිටින එක්තරා හෝටලයක පහළ මහළේ ඇති ආහාර ද්‍රව්‍ය අළෙවි සැළක් දිගටම විවෘතව පවතියි. මෙම ස්ථානයේ ද යම් අවධානමක් ඇති බව ලේඛකයා විසින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දුන් විට සෞඛ්‍ය අංශ සඳහන් කළේ එහි නිරෝධායනය වන කිසිවෙකුට පහළ මහළේ ආහාර ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි. ආහාර ඔවුන්ට සැපයීමේ දී සෞඛ්‍ය ආරක්ෂති ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන ලෙස දන්වා ඇති බව පැවසුව ද හෝටලයේ සේවකයන්ට ඒ පිළිබඳ නිසි පුහුණුවක් නොමැති බව ද සෞඛ්‍ය අංශවලින්ම පිළිගන්නා කරුණකි.

මේ අතර ගාල්ල වටරැක ප්‍රදේශයේ පුද්ගලයකු පසුගිය දා ගම්පහ දිස්ත්‍රික්කයේ නීතිඥ මහත්මයකු සමඟ පැය එකහමාරක පමණ කාලයක් සමීපව ගත කර ආපසු පැමිණි බවත් ඔහු ඇසුරු කළ නීතිඥයා කොරෝනා ආසාදිතයකු බවත් අනාවරණය වී තිබිණි. ගාල්ලට ආපසු පැමිණි එම පුද්ගලයා තම නීතිඥ මිතුරා කොරෝනා ආසාදිතයකු බව නොදැන ගාල්ල නගරයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන දෙකකට සහ ආපන ශාලාවකට ගොස් තිබේ. එපමණක් නොව ඔහු රාත්‍රීයේ තම හිත මිතුරන් ද සමග සාදයක් ද පවත්වා තිබිණි. ප්‍රතිඵලය වටරැක නිවාස පහක පුද්ගලයන් නිරෝධායනයට යොමු කර තිබීමයි.

ගාල්ලේ ඇති තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ වටරැක ප්‍ර‍දේශයට පසුගිය 04 වැනි දා උදෑසන පැමිණි ආසාදිත තරුණිය කඩවත සිට ගාල්ලට ආ අධිවේගී මාර්ග බසයේ ගමන්ගත් 35 දෙනකු මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීමයි. මේ පිළිබඳ අප වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ දී ද අනාවරණය කරන ලදී.

කඩවත සිට 04 දා උදේ 6.30 ට ගමන් ආරම්භ කළ NB 7323 දරණ බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරා නිරෝධායනයට යොමු කර ඇතත් මේ ලිපිය ලියන 12 වැනි දා දහවල් වනතුරු ද අනෙක් මගීන් කිසිවෙකුත් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් වී සිටියේ නැත. ඔවුන් කොරෝනා ආසාදිතයාගේ පළමු මට්මේ ආශ්‍රිතයෝය. එනම් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ නිරෝධායනය විය යුතු පිරිසකි. මොවුන් මෙතෙක් සැඟව සිටීම ගාල්ලේ ජනතාව පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද අසීරුතාවට පත්කිරීමකි.

තමන් ආසාදිතයකු බව නොදැන කඩවත සිට ගාල්ලට පැමිණි තරුණිය වටරැක නිවස වෙත යාමට භාවිතා කළ ත්‍රී රෝද රථයේ රියදුරා ස්වයං නිරෝධායයට යොමු කර තිබුණ ද අක්මීමණ පදිංචි ඔහු ඉන් පසුව ද තම ත්‍රී රෝද රථයේ මගී ප්‍රවාහන කටයුතු සිදුකළ බවට ප්‍රදේශවාසීන් විසින් ‍මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර තිබිණි.

මෙවැනි වාතාවරණයක් තුළ ගාල්ල නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරන ඕනෑම කෙනෙකු අවදානමකට ලක්විය හැකි බැවින් අනිවාර්යයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උත්සව, ප්‍රිය සම්භාෂණ, ආගමික වැඩසටහන්, රැස්වීම් ආදිය නොපවත්වන ලෙසත් ඉල්ලා සිටින අතර සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටින ලෙසත් දුරස්ථ භාවය තබාගන්නා ලෙසත් ඉල්ලා සිටියි. එමෙන්ම තම දෑත් නිතර පිරිසිදුව තබාගන්නා ලෙසත්, මුහුණ නාසය, මුඛය හා ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙන අතර මුඛ ආවරණ පැළඳිම ද අනිවාර්ය බවත් ඉල්ලා සිටියි. අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහර නොයාමත් රැකියා ස්ථානවල දී ද දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරන ලෙසත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here