spot_img
spot_imgspot_img

ගාල්ලේ එන්නත් මගඩිය දිගටම. කොළඹින් සුපිරි වාහන ගාල්ලට. ගාල්ලේ අය හරවා යවයි

පුවත්

විදෙස්

සංචරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ සිට පැමිණෙන පුද්ලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගාල්ල උණවටුනේ දී ලබාදීමේ මගඩිය අද (07) දිනයේ දී ද සිදුවෙමින් පවතී.

බස්නාහිර පළාතේ ලියාපදිංචිය සහිත වාහන සිය ගණන් පැමිණ තිබූ අතර විශාල පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා පෝළිමේ සිටියහ. එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.

එන්නත් කිරීම සිදුකරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි විසිනි. පැමිණ සිටි පිරිස අතරින් බොහෝ දෙනකු කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවන විට පළමු එන්නත ලබාගෙන ඇති කාඩ්පත පෙන්වා ඇතුළුවන බවයි.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවැනි එන්නත අහිමි වූ යාපනයේ පදිංචි පුද්ගලයකු වුව ද ගාල්ලට පැමිණියහොත් දෙවැනි මාත්‍රාව ලබාදෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න ඊයේ අප සමඟ කීවේය.

ඒ අනුව අපි ද එවැනි කිහිප දෙනකු අද (07) එම ස්ථානයේ පෝළිමට එක්කළෙමු.

අප විසින් පෝළිමට එක්කළ තිදෙනාටම ඔවුන් එන්නත ලබා දී නැත. එම තිදෙනාට අමතරව ගාල්ලේ උණවටුනේ පදිංචි අයකු තම දෙමාපියන් රැගෙන ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා පෝළිමේ 12 වැනි ස්ථානයේ රැඳී සිටි අතර යාපනයේ අයකුට වුව ද දෙනවා යැයි කියූ එන්නත සවස 2.00 වනතුරුත් ඔවුන් දෙදෙනාට ලැබුණේ නැත.

අප රැඳවූ එක් යකු. ඔහුට ද ඇස්ට්‍රාසෙනිකා එන්නත හිමිවූයේ නැත. ඔහු පෝළිමේ ඉදිරියටම ගිය විට වසංගත වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි පවසා ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොග අවසන්ව ඇති බවයි. නමුත් ඔහු ඉවත්ව ගිය පසු ගම්පහින් පැමිණි ව්‍යාපාරික පවුලකටම එන්නත් ලැබිණි.

අප විසින් යොමුකරන ලද තවත් පුද්ගලයකු ගාල්ල නගරයේ පදිංචි ලිපිනයට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීම සඳහා පෝළිමට එක්ව සිටි අතර ඔහුට ද කියා තිබුණේ එන්නත ලබාදීමට නොහැකි බවයි. වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න යාපනයෙන් එන අයට වුව ද එන්නත් දෙන බවත් තමන් යටතේ සිටින වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චිගේ වැඩවලට තමන් සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලා සිටිය ද මෙතැන සිදුවන මගඩියේ ස්වභාවය එයයි.

කොළඹ ඇතුළු බස්නාහිර පළාත්වලින් පැමිණ සිටි අයගේ කතාවට සවන් දී සිටින විට අනාවරණය වූයේ ඔවුන් දන්නා හඳුනන අමාත්‍යවරුන් විසින් ලබාදුන් වරප්‍රාසදයක් අනුව මෙලසෙ පැමිණ ඇති බවයි.

දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක දී ‍පළාත් අතර මෙලෙස සුපිරි වාහන ගමන් කිරීම පිළිබඳ අපි ඊයේ (06) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම්වත් කළෙමු. එවිට එහි නිලධාරියකු කියා සිටියේ ඒ පිළිබඳ තමන් නොදන්නා බැවින් හබරාදුව පොලිසිය දැනුම්වත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි. අද (07) සවස ඒ පිළිබඳ අපි නැවත විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ එම පුද්ගලයන් පැමිණ ඇත්තේ මීට පෙර එන්නත් කරන ලද පත්‍රිකාව පෙන්වා දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා ගාල්ලට යන බව පවසමින් යැයි හබරාදුව පොලිස් ස්ථානයෙන් දැනුම් දුන් බවයි.

එන්නත් ලබාගත් කොළයක් පෙන්වා දෙවැනි මාත්‍රාව ගැනීමට යන බව පවසා පළාත් අතර සංචරණය කළ හැකිදැයි අපි අපගේ ඇමතුම හා සම්බන්ධ වූ නිලධාරියාගෙන් විමසූ විට ඔහු ඒ ව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගෙන් විමසන්න යැයි කීවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුව ද එය විටෙක කාර්ය බහුල වන අතර තවත් අවස්ථාවක එය ක්‍රියාකරවන්නා විසින් කාර්ය බහුල කරනයි. එබැවින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමට හැකිවූයේ නැත.

2 COMMENTS

  1. ඔන්න ජේවීපී හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතාට කතා කරන්න තමන්ගේ ගමේ ප්‍රශ්නයක්. අපි බලමු දොස්තරලාට විරුද්ධව කතා කරයි ද කියලා. මේ කොරෝනා වලින් දොස්තර වෘත්තිය කොච්චර පහලට වැටුනාද? මේක රටේ වරදක්.

  2. බෙහෙත් එක විදින්න ආවේ සමාන්‍ය ජනතාව නේ…ඒක දකුන ද, උතුරද කියලා අදාලම නැ…ඒක නිසා ඒකේ වැරැද්දක් නැ..මාධ්‍ය මෙච්චර කුහක විදියට හැසිරෙන්නේ ඇයි…ඔය බෙහෙත් එක colombo තිබූන නම් දේශපාලනයට යට වෙනවා…. ලොකු මිනිස්සු තමා ව්දගන්නේ…ඒ විදියට උනොත් මාධ්‍ය ඇස් වහන් ඉදීවී..මාධ්‍යයේ වගකීම ඕක නෙවෙයි …..කොහොම හරි සමාන්‍ය ජනතාව අතරට බෙහෙත් එක ගිය එක පිළිබඳව අපි අවංකව සතුටු විය යුතු වෙනවා ..

Leave a Reply to pandula pandula Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!