spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා මරණ හංගලා

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත්ව තිබේ. ගාල්ලේ විශාල පිරිසක් දෛනිකව කොළඹ රැකියා සඳහා යාමත් කොළඹ පදිංචි බොහෝ පිරිසක් විනෝද සංචාර සඳහා මෙන්ම සිය ඥාතීන් බැලීම සඳහා පුසගිය අවුරුදු කාලයේ දී ගාල්ලට පැමිණීමත් හේතුවෙන් මේ අවදානම ඉහළ යාම පිළිබඳ අමුතුවෙන් සිතිය යුතු නැත.

නමුත් බරපතල ගැටලුවක් තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ මේ අවදානම ර‍ටට හෙළි කරන්නේ නැත. දෙවැනි කොරෝනා රැල්ලේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 40කට ආසන්න ගණනක් මියගිය බවට අප සතුව පැහැදිලි දත්ත තිබිය දී රජයේ නිල නිවේදනවල සඳහන් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ මරණ 04ක් පිළිබඳ විස්තර පමණි. ඒ කොළඹ රෝහල්වල දී මියගිය අය පමණි. අධිකරණ නියෝගයකින් පිළිස්සූ මළ සිරුරක් පිළිිබඳ පවා අදවනතුරු නිල වශයෙන් නිවේදනය කළේ නැත

කොරෝනා දෙවැනි රැල්ල හෙවත් මිනුවන්ගොඩ පෑළියගොඩ පොකුර වශයෙන් හැඳින්වූ කොරෝනා පොකුරේ මරණ සඟවාගෙන සිටීම පිළිබඳ අප මාධ්‍යවේදීන් වශයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඊට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. නෑසුණා සේ සිටියේය.

දැන් තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භ වී තිබේ. ගාල්ලේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකින් ම රෝගීන් විශාල වශයෙන් හමුවෙයි. එමෙන් ම ආසාදිතයෝ මියයති. පසුගිය අප්‍රේල් 25 වැනි දා සිට අද (03) වැනි දා දක්වා ගත වූ දින 09ක දී ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත මරණ 15ක් සිදුව තිබේ.

නමුත් මේ කිසිදු මරණයක් මෙතෙක් රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් නිකුත් කරන ලේඛනයට ඇතුළත් කර නැත.

දෙවැනි රැල්ලේ දී ද ගාල්ලේ මරණ මේ ආකාරයෙන් ම සඟවා තිබිණි.

මෙය සිදුවන ආකාරය දැනගැනීම පිණිස අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කිහිප දෙනකු සමඟ සාකච්ඡා කළෙමු. ඔවුන් කීවේ තම කොට්ඨාසයේ සිදුවූ කොරෝනා මරණ පිළිබඳ ගාල්ල වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි දැනුම්වත් කර ඇති බවයි.

මෙලෙස සිදුවූ මරණ අතරින් අති බහුතරයක් කොරෝනා ආසාදිත මරණයක් බව හඳුනාගෙන ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයයි. එම අංශයෙන් විමසූ විට කියා සිටියේ ‍කොරෝනා බව හඳුනාගත් සියලු මරණ පිළිබඳ විස්තර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙන බවයි. එමෙන්ම ඒ පිළිබඳ තොරතුරු මියගිය පුද්ගලයා පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් වසංගත රෝග වේදඥ වෙද්‍ය වෙනුර සිංගාරච්චිට ද දැනුම් දී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුව ඇති මෙම මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිල දැනුම්දිම්වලට ඇතුළත් නොවීම පිළිබඳ එම කර්යාලයෙන් විමසූ විට පවසන්නේ එම කාර්යාලයට ලැබෙන තොරතුරු පමණක් නිල නිවේදනයට ඇතුළත් කරන බවයි.

ගාල්ල වසංගත රෝග විද්‍යා ඒකකය මේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට යවා නොමැතිනම් එය නිල ලේඛනවලට ඇතුළත් වන්නේ නැත.

මරණ සංඛ්‍යාව ගණනය කිරීම අපට අවශ්‍ය නැත. නමුත් තම නිවෙස් අවට ඇති අවදානම නොදන්නා ගාල්ලේ පදිංචිකරුවෝ මේ කිසිත් නොදැන තවදුරටත් කොරෝනා වසංගතයටම බිළිවීමට ඒ දත්ත සඟවා සිටින පුද්ගලයන් යම් පමණකින් හෝ වගකිව යුතු නොවේ ද ?

කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භ වූ පසු ගාල්ල දිස්ත්‍රික්කයේ අද (03) උදෑසන දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ

  1. ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 75 හැවිරිදි කාන්තවක් 25 වැනි දින මියගියාය
  2. අහංගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු 26 වැනි දින මියගියේය.
  3. ගාල්ල නගර සභා කොට්ඨාසයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින මියගියේය.
  4. බද්දේගම පදිංචි 69 හැවිරිදි කාන්තාවක් 28 වැනි දින මියගියාය
  5. හික්කඩුව පදංචි කාන්තාවක් ද 28 වැනි දින මියගිය අතර ඇය මියයන විට 90 හැවිරිදි වියේ පසුවූවාය
  6. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 90 හැවිරිදි කාන්තාවක් 29 වැනි දින මියගියාය
  7. බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛදය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  8. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු 29 වැනි දින මියගියේය.
  9. අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
  10. ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  11. යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.
  12. රත්ගම දී සිය නිවසට නුදුරින් පිහිටි ළඳක වැටී මැයි 01 දා  මියගිය 53 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.
  13. ගාල්ල බද්දේගම ගෝනපුර ප්‍රදේශයේ නිවසක 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි මියගොස් ඇති අතර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත
  14. වක්වැල්ල දූව වත්තේ සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු කාන්තාවක් මියගොස් ඇත.
  15. හික්කඩුව නාරිගම පදිංචි 70 හැවිරිදි කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මියගොස් ඇත.

2 COMMENTS

  1. ආණ්ඩුව වඟකීම් පැහැරහරිනවානම්, අපි ගාළුවැසියන් එක්ව දැනුවත්වෙමු. දැන් තාක්ෂණය දියුණු නිසාම, මෙය කරන්නට පුළුවන් , නගර සභාව හා පොලිසිය මගින්, ශබ්ද වාහීනී මගින් එම පලාත් මිනිසුන් දැනුවත් කිරීමට පුළුවන් නේද🤔🤔

  2. මේ දැනුවත් කිරීම ඉතා වටිනා වැඩක්. පැහැර හැරිය නොහැකි සමාජ වගකීමක්. ඔබට සුබ පැතුම් !සහෝදරයා .

Leave a Reply to Nawodini Muthunayake Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!