ඇය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ අද ඊයේ නොවේ. වෙන කිසිම කාලයකට වඩා වැඩියෙන් දැන් ඇය ගැන අපි කතා කරන්නෙමු.
ඇය සුන්දරය,
අහිංසකය,
අපගේ සිත ඇඳ බැඳ තබා ගැනීමට ඈ සමත් වූවාය.
ඇය පිළිබඳ අතීත මතක සටහන් බොහෝය. ඇය වටා ගෙතුණු කතාන්තර ද බොහෝය
අතීතයේ රජ දරුවන්ගේ පවා ගරු බුහුමනට ලක්වූ ඇය. තවමත් කන්‍යාවියකි.
මිනිස් පහසින් නොයිදුල්ව, නොකළැල්ව සිටීමට තැත් දරණ ඇයට
ඇගේ කුමරි බඹසර රැක ගැනීමට උදෙසා මහත් සටනක යෙදීමට සිදුව තිබේ.
දශක ගණනක් පුරාවට ඇය රැකගත් අපූරු මිනිසකු සිටියේය.
ඇය අසළින්ම සිටිමින්, ඇය ගැන මනා වැටහීමක් ලබාගත් ඔහු මාර්ටින් විජේසිංහ නම් වූ අතර
ඔහුගේ රැකවල් මැද සිටි ඇය සිංහරාජය නම් වූවාය.
සිරිලක මහවනය වූ සිංහරාජ කොමළිය රැකබලාගත් රැකවල් කරුවා මාර්ටින් විජේසිංහ අදට ද සිංහරාජය අසළ ජීවත් වන්නේ තමන් දශක කිහිපයක් පුරාවට කළ සේවය ගැන අභිමානවත් මතකය ද සමගිනි. දැන් රෝගාතුරව සිටින මාටින් විජේසිංහ 82 වැනි වියේ පසු වුව ද අපි ඔහු අමතන්නේ මාටින් අයියා ලෙසිනි. ඒ එදා මෙදා තුර හැමදාමත් ඔහු සිංහරාජයට යන එන සැමට මාටින් අයියා වූ බැවිනි.
සිංහරාජයට යාබද පෙතිය කන්ද ගම්මානයේ සිටි සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නැමැති යුවලගේ පවුලේ වැඩිමහළු දරුවා ලෙස 1939 දෙසැම්බර් මස 24 දා උපන් මාර්ටින් හට බාල සහෝදරයකු සහ සහෝදරියක ද වූහ.
කුඩා මාර්ටින් යන්තම් පස්වැනි වියට එළඹෙද්දී ඔහුගේ මව මෙළොව හැරගියේ මාර්ටින්ට පිරවිය නොහැකි අඩුවක් ඉතිරිකරමිනි. ඉඳ හිට වඩු කර්මාන්තයේ යෙදෙමින්, කිතුලක් මැද පැණි ටිකක් විකුණාගනිමින් ජීවත් වූ සුවාරිස් තම පුතුට කෙසේ හෝ ඉගැන්වීම අරමුණු කරගෙන ඔහු ගමේ පිහිටි කුඩව පාසලට ඇතුල් කළේය. කුඩව පාසලේදී අටේ කැලෑසිය දක්වා ඉගෙනුම ලැබූ මාර්ටින් සිසුවා කරවිට පිහිටි පඤ්ඤානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වූයේය.
“අපි බොහොම දුප්පත්, තාත්තාට ඉස්ථිර ආදායමක් තිබුණේ නැහැ. මල්ලියි නංගියි ඉන්න නිසා වියදම් ගොඩක් වැඩියි. පාසල් යන්න පොත පත ගන්නවත් සල්ලි නැති නිසා මම පාසල් ගමන නැවැත්තුවා. ”
පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමූ මාර්ටින් තම සම වයසේ මෙන්ම තරමක් වැඩිමහළු තරුණයන් සමග එක්ව තැන තැන ඇවිදින්නට පුරුදු වූයේය. සිංහරාජයත් ඒ අවට ප‍්‍රදේශයේත් සැරිරසමින් විනෝදකාමී ජීවිතයක් ගත කළ ද ඔහු වටා සිටි යහළුවන් කිසිවකුත් දුරාචාරයන්ට යොමු නොවූවන් බව හෙතෙම අදටත් සිහිපත් කරන්නේ සන්තෝෂයෙනි.
“අපිත් එක්ක හිටපු අය අතරේ අරක්කු සිගරැට් බොන කිසිවෙක් හිටියේ නැහැ. එහෙම වුනානම් ඉතින් මගේ ජීවිතයත් සම්පූර්ණයෙන්ම විනාශ වී යන්න තිබුණා. අපි කැලේ ඇවිදලා ටිකක් විනෝද වෙන්න තමයි පුරුදු පුහුණු වෙලා හිටියේ. ඔය අතරේ මම වඩු වැඩ, මේසන් වැඩ එහෙමත් ටික ටික පුරුදු වුනා. ”
වසර පහක පමණ ඇවෑමෙන් බාස්සුන්නැහේ කෙනෙක් බවට පත්වූ මාර්ටින් වඩු වැඩත් මේසන් වැඩත් නොමැති දිනවලදී කුලී වැඩක් සොයාගෙන හෝ ජීවත් වන්නට පුරුදු වූවේය. තරුණ වියට එළඹීමත් සමගම නිවසක් සෑදීමේ අවශ්‍යතාව මතුවූ බැවින් ඔහු සිංහරාජයට වඩාත් ආසන්න කුඩව ප‍්‍රදේශයේ පදිංචි වූයේය.
“හැමතැනම තිබුණේ කැලේ. ඉතින් මමත් පොඩ්ඩක් එළි පෙහෙළි කරගෙන ගෙයක් හදා ගත්තා. ඒ ඇවිත් ටික කාලයක් යනකොට මේ ගමේ තරුණියක් සමග මම විවාහ වුනා. ”
ඔහුගේ සිත්ගත් තරුණිය සොපිනෝනා මහත්මිය මාර්ටින් අයියාගේ දිවියේ අඩක් බර කරට ගනිද්දී මේ යුවල ද දරුවන් සය දෙනකුගේ මව් පියන් වූහ.
අතරමග අධ්‍යාපනය නතරකර දැමූ මාර්ටින් විජේසිංහට සිංහරාජ වනාන්තරය ගැන වූයේ දැඩි කුකුසකි. ගමේ ඇලේ දොළේ දිය නා ගලින් ගලට පැන ගොස් මහා රූස්ස ගස් අතර සැගවී ලැබූ අත්දැකීම් බොහොමයක් තිබුණ ද ඔහු සිංහරාජයේත් ඒ අවටත් තිබූ ශාක බොහොමයක් නමින් දැන සිටියේ නැත. එහෙත් ඒවා දැන ගැනීමේ නිරන්තර ආශාවකින් පසු වූ මාර්ටින් ගමේ වැඩිහිටියන් හමුවූ විට තමන් නොදන්නා ගසක් වැලක් ගැන අසා දැනගැනීමත් එය මතකයේ තබා ගැනීමත් පුරුද්දක් කරගත්තේය. දුර්ලභ බෙහෙත් පැලයක් සොයාගෙන දුර බැහැරින් එන අයකුට ඒවා සොයා ගැනීමට උදව් කරන්නට ද මේ තරුණයා පසුබට නොවූයේ තමන්ට තිබූ දැනුමෙන් සහ හැකියාවෙන් අන් අයට යහපතක් ද කරමිනි.
1972 වර්ෂය සිංහරාජයට අසුබ කලදසාවක් උදාකළ වසරක් විය. කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුඩව ප‍්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළු වී විශාල ප‍්‍රමාණයේ ගස් සළකුණු කොට ඉඩම් මැන ආපසු ගියහ. ටික දිනකින් දැවැන්ත යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන ආ ඔවුහු කැලය කපන්නට වූයේ සිංහරාජ වනාන්තරය කපා දැමීමේ ව්‍යාපෘතියක් දියත් වූ බව පවසමිනි.
“සිංහරාජ වනාන්තරය කපන ව්‍යාපෘතිය පටන්ගන්න ආපු නිලධාරීන් මා සමග බොහොම කුළුප`ග වුනා. කැලේ ඇතැම් ස්ථානවලට ඔවුන් ගියේ මා සමග.” මාර්ටින් විජේසිංහ අතීතය සිහිපත් කලේ ඒ ආකාරයෙනි.
කැලෑ දෙපාර්තමේන්තුවේ නානායක්කාර මහතා, කලවාන රේන්ජ් භාරව කටයතු කළ රංජිත් පීරිස් මහතා, විජේසිංහ මහතා, නිමල් චන්ද්‍රසිරි මහතා සහ පෙතියගොඩ මහතා ඔහු තවමත් සිහිපත් කරන්නේ කෘතවේදීවය.
කැලෑ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උදව් උපකාර කරමින් සිටි මාර්ටින් වික‍්‍රමසිංහට කැලෑ දෙපාර්තමේන්තුවේම රැකියාවක් හිමිවූයේ මේ හිතවත්කම හේතුවෙනි. ඒ සිංහරාජ මහ වනාන්තරයේ කුඩව ප‍්‍රදේශයේ මුරකරුවා යන තනතුරයි.
විජේසිංහ මහතා ඒ ගැන මෙසේ කීවේය
“ 1972 දී මට මුරකරු කියලා තනතුරක් දුන්නා. ඒක කම්කරු රැකියාවක්. භාරදීපු රස්සාව මම කරගෙන ගියේ වැටුපක් ගැනීම අරමුණු කරගෙන නෙවෙයි. මට අවශ්‍ය වුනා සේවයක් කරන්න. ඒ සේවය කරගෙන ගියා.”
ඔහු සිංහරාජ වනාන්තරයට සිටි පළමු සහ එකම මුරකරුවා ද වූවේය.
එකළ සිංහරාජ වනාන්තරය එතරම් ජනප්‍රිය ස්ථානයක් නොවේ. කැලෑ දෙපාර්තමේන්තුවට අයත් මහ කැලයක් තිබෙන බව රටේ ජනතාව දැනසිටියද ඒ ගැන විශේෂ අවධානයක් දැක්වූවේ ද නැත.
“අපි හැමදාමත් ආදරය කරපු කැලේ. ගස් එකිනෙක කපා බිම හෙළනකොට විශාල දුකක් ඇතිවුනා. ගමේ මිනිස්සු කැලය සමග බද්ධ වෙලා ජීවත් වුනා. කිතුල් මදින්න, වේවැල් ටිකක් කපා ගන්න කැලයට ගියපු මිනිස්සු මේ කැලේ කපනවා බලාගෙන හිටියා. ”
කැලේ අක්කර ගණන් එළි පෙහෙළි වෙද්දී වනස්පති වැනි නාට්‍ය නිෂ්පාදනය වන්නට විය. පාසල් සිසුන්, පරිසර සංවිධාන සහ විශ්ව විද්‍යාල සිසුන් අතර සිංහරාජ වනාන්තරය කපා දැමීමට එරෙහිව දැඩි විරෝධතාවක් එල්ලවිය.
සිංහරාජය බේරාගැනීමේ සටනේ පෙරමුණේ සිටි පතාක යෝධයකු වූයේ නෙළුවේ ගුණානනන්ද හාමුදුරුවෝය. උන්වහන්සේ මේ සටන් වලට නායකත්වය දුන් බව මාර්ටින් විජේසිංහට තාමත් හොඳින් මතකයේ තිබේ. මෙම විරෝධතා සමග විශ්වවිද්‍යාල පර්යේෂකයන්ගේ දැඩි අවධානය සිංහරාජයට යොමුවන්නට විය.
“මුලින්ම සිංහරාජ වනාන්තරයේ පරීක්ෂණ කටයුතු සඳහා පැමිණියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක සහ මහාචාර්ය නිමල් ගුණතිලක කියන දෙදෙනා. ඒ වගේම මහාචාර්ය බාලසුබ‍්‍රමනියම් මහත්තයාත් ආවා. මම ගස්වල නම් වැඩිහිටියන්ගෙන් අහලා දැනගෙන හිටපු නිසා මේ පර්යේෂකයන්ට මම උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒත් මම දන්නේ සිංහල නම් විතරයි. ඒ මහත්වරු ඇවිත් මගෙන් සිංහල නම් අහගන්නවා. ඇතැම් ශාඛ ගැන ඉංග්‍රීසි පොත් වල සුදු මහත්වරු කාලෙකට ඉස්සර ලියල තියෙන ඒවත් එක්ක මේ මහාචාර්යවරු සන්සන්ධනය කරනවා. ඉතින් මටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ටික කාලයක් වැඩකරගෙන යනකොට සාමාන්‍යයෙන් කැලේ දුර්ලභයැයි සිතෙන ශාක ගැන මේ විද්වතුන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යයැයි මම තේරුම් ගත්තා. ඒ අනුව මම මට හැකි පමණින් ඒ දේ සිදුකළා.” මාර්ටින් විජේසිංහ තමන් විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහභාගී වූ ආකාරය එසේ සිහිපත් කළේය.
ශාඛ ගැන පර්යේෂණ කටයුතු ඒ ආකාරයෙන් සිදුවෙද්දී මහාචාර්ය පී.බී.කරුණාරත්න මහතා සහ මහාචාර්ය සරත් කොටගම මහතා සිංහරාජයේ සතුන් පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමත් සමගම සිංහරාජ වනාන්තරය කෙරෙහි තව තවත් අවධානය යොමුවන්නට විය.
1977 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමත් සමගම නෙළුවේ ගුණානන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටියේ රජයේ පළමු කර්තව්‍යය ලෙස සිංහරාජය කැපීම නවතා දැමිය යුතු බවයි. උන්වහන්සේගේ ඉල්ලීම ඉටුකැරුණි. සිංහරාජ වනාන්තරය එළිපෙහෙලි කිරීමේ කටයුතු නවතා දැමුණි.
සිංහරාජ මහ වනයේ මුරකරුවා ලෙස සේවය කළද මාර්ටින් විජේසිංහ ගේ සේවය මුරකරුවකුගේ රාජකාරියට පමණක් සීමා නොවුණි. වනාන්තරයේ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන දෙස් විදෙස් ආචාර්ය මහාචාර්ය වරුන්ගේත්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේත් මග පෙන්වන්නා වූයේ මේ මුරකරුය.
සිංහරාජ මහ වනයේ ශාක හා සතුන් පිළිබඳ පර්යේෂණ වාර්තා බිහිවෙද්දී දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ගේ ද නොමද පැසසුමට ලක්වූ මාර්ටින් පිළිබඳව ද ඒ පර්යේෂණ වාර්තාවන්හි සඳහන් කැරුණි.
“ඒ කාලේ පර්යේෂකයෝ පැමිණ ගිහින් තමන්ගේ පර්යේෂණ වාර්තාවල මටත් ස්තූතියක් දානවා. මේ වාර්තා කියවලා එන අනෙක් පර්යේෂකයන් කෙළින්ම මාව සොයාගෙන එනවා. ඉතින් ඔය විදියට මාව ටිකටික විදෙස් රටවල සොබාදහමට ඇළුම් කරන පිරිස් අතර ජනප්‍රිය වුනා.” ඔහු කියා සිටියේ දැඩි සතුටකිනි.
මාර්ටින් විජේසිංහ යනු සිංහරාජ මහවනය රැකබලා ගැනීමටම උපන්නෙකි. හෙතෙම මහ කැලයේ සෑම කොටසකම තම දෙපයින් ඇවිද ගොස් තිබේ. හිනිපිටිගල, මුලාවැල්ල, සිංහගල, ගොන්ගල, දෝතළුගල, පතිනිගල යන සිංහරාජයේ සෑම කඳු ගැටයකම ඇවිදගිය ඔහු වනාන්තරයේ නොදන්නා ඉසව්වක් නැත.
විජේසිංහ මහතා පවසන්නේ මහාචාර්ය බාලසුබ‍්‍රමනියම් මහතාත්, ආචාර්ය මැල්කම් ජයසූරිය මහතාත්, මහාචාර්ය පී.බී.කරුණාරත්න මහතාත් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමග තෙත් කලාපීය ශාක හා සතුන් පිළිබඳ අධ්‍යයනයට අවුරුදු පහකුත් මාස හයක් ඇවිද ගිය බවයි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා වනසංරක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් ඔහු අනුයුක්ත කර තිබිණි. ඒ පර්යේෂණ චාරිකා තම දිවියේ නොමැකෙන මතකයක් වූ බවත් එහිදී අති විශාල දැනුම් සම්භාරයක් ලබාගත් බවත් ඔහු කියා සිටියේය.
සිංහරාජයේ වටිනාම සම්පතක් වූ අලි රංචුව ගැන මාර්ටින් විජේසිංහ සතු අත්දැකීම් බොහොමයකි. අතීතයේ විශාල සංඛ්‍යාවකගෙන් යුතුව සිටි අලි රංචුව අද හීන වී ගොසිනි. දිනෙන් දින මරු තුරුලට ගිය අලින්ගෙන් අද ඉතිරිව ඇත්තේ දෙදෙනකු පමණි. ඔවුන් හදපාන් ඇල්ල, වළං කන්ද ඇතුළ ප‍්‍රදේශවල නිරන්තරවම සැරි සරන බවත් වරින් වර ගම් වදින බවත් මාර්ටින් පවසයි.
වනාන්තරයේ සැරි සැරීම අතිශයින්ම විනෝද ජනක දෙයක් බවත් කවුරුන් කෙසේ කීවද කැලේදී තමන් හෝ තමන් සමග ගිය කිසිවෙකුත් අතරමං වී හෝ වෙනත් අනතුරකට මුහුණ පා නොමැති බවත් හෙතෙම පවසයි. ඔහු පවසන්නේ කැලයට ආදාරය කරන, කැලය රැකගැනීම උදෙසා වෙහෙසෙන කිසිවකුටත් මේ මහා වනාන්තරයෙන් කිසිදු හානියක් නොවන බවයි. කැලේ රකින්නා කැලයෙන්ම රැකගන්නා බව ඔහු තරයේ විශ්වාස කරන්නකි.
ඉංග්‍රීසි අකුරක් හෝ නොදැන රැකියාවට බැඳුණු මාර්ටින් විජේසිංහ දැන් හරි හරියට ඉංග්‍රීසි කතා කරයි. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු පොත පත මෙන්ම පර්යේෂණ පත්‍රිකා ද ඔහු කියවයි.
“ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. මුලදි මුලදි කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ. ඒත් ඔවුන් කියනදේ තේරුම් ගනිමින් ඒ භාෂාව ඉගෙන ගන්න මට හැකියාව ලැබුණා. දැන් දෙයියනේ කියලා ඉංග්‍රීසි ටිකක් පුළුවන්. ”
1972 සිට වසර 25 ක් සිංහරාජ මහ වනයේ මුරකරුවා ලෙස සේවය කළ මාර්ටින් විජේසිංහ 1997 දී විශ‍්‍රාම ගියේය. තමන් කළ සේවය ගැන ඔහු සිටින්නේ දැඩි ආත්ම තෘප්තියකිනි.
“මම කළ සේවය ගැන හරි සංතෝෂයි. මම රැකබලාගත්තේ ලෝක උරුමයක්. ඉතින් මේ වගේ උතුම් රැකියාවක් කිරීමට ලැබීම මගේ පූරුවේ වාසනාවක් කියලා තමයි හිතෙන්නේ. මම මේක රැකියාවක් හැටියට නෙවෙයි සේවයක් ලෙස කළා. ඒ නිසා මා සොයාගෙන කීර්තිය ආවා. මම කිසිවක් බලාපොරොත්තු වුණේ නැහැ. අද රටේ බහුතරයක් මාව දන්නවා. ඒ වගේම විදේශිකයන් පවා මාව දන්නවා. ඉතින් මට හරිම සන්තෝෂයි. පිටිසර ගමක ඉපදී මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ජනප්‍රියත්වය ගැන මම හිතන්නේ නැහැ. ඒත් මාව ප‍්‍රසිද්ධ වුනා.” හෙතෙම හැඟුම්බරව කියා සිටියේය.
මාර්ටින් විජේසිංහ මුරකරු ලෙස පත්වීම් ලැබීමෙන් පසු කුඩව ප‍්‍රවේශ මාර්ගයන් සිංහරාජ වනාන්තරයට බොහෝ නවාංග එක්වූවේය. කුඩව ගම්මානය හරහා පාසල් දරු දැරියන් ඇතුළු සංචාරකයන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වෙද්දී එය නැරඹීම සඳහා මංමාවත් ඉදි කැරුණි. එයට අමතරව පර්යේෂණ මධ්‍යස්ථාන, තොරතුරු මධ්‍යස්ථාන පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලාද ඉදිකැරුණි. ගම්මානයේ කඩපිල් පවා ඉදිකැරුණි.
කුඩව ප්‍රදේශයෙන් ඇතුළු වූ අයෙකු නැරඹීමට ඇළුම් කරන ස්ථානයක් වන්නේ සිංහරාජ මහ වනයේ ඇති විශාලතම ගස ලෙස සැළකෙන නවඳ ගසයි.
නමුත් මාටින් අයියා පවසන්නේ වෙනත් කථාවකි.
“මේ නවඳ ගහ විශාලතම ගස කියා හඳුන්වන්නේ එය ටිකක් කිට්ටුවෙන් තියෙන නිසා. එහි වට අඩි 21 අඟල් 4 ක් තියෙනවා. ඒත් කැලේ මැදට වන්නට වට අඩි 27 ක් පමණ වන ගස් තිබෙනවා. ”
1984 වර්ෂයේ පටන් ඉතාමත්ම විධිමත්ව සිංහරාජය පිළිබඳ තරුණ ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම පිළිබඳ මාර්ටින් විජේසිංහ කථා කරන්නේ ඉතා පැහැදීමකිනි. ඒ හේතුවෙන් වනයට ආදරය කරන විශාල පිරිසක් බිහිවූ බව ඔහු පවසයි. එමෙන්ම තරුණ පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් බිහිවී ඇති බවද ඔවුන් පැරණි වාර්තා පරිශීලනය කරමින් අළුත් අළුත් දෑ සොයාගැනීමට දරණ වෙහෙස පැසසුම් කටයුතු බවද හෙතෙම කීවේය.
වයෝවෘධව සිටින මාර්ටින් විජේසිංහ දැන් කැලයට යන්නේ නැත. ඔහු හමුවී තමන්ගේ පර්යේෂණ කටයුතු සඳහා උදව් ලබා ගැනීමට පැමිණෙන පර්යේෂකයන්ට මේ මෑතක් වනතුරුම තම දැනුම හා අත්දැකීම් ලබාදෙමින් සහය වූ මාටින් අයියාට දැන් ඒ කාර්යයත් අපහසු වී තිබේ.
“විදෙස් රටවලින් එන පර්යේෂකයෝ අපේ රටට පුදුමාකාර ආදරයක් දක්වනවා. ඒ අයගේ රටවලත් ඉස්සර කැලෑ තිබිලා. නමුත් එයාලා ඒ කැලෑ විනාශ කරලා. දැන් පසුතැවෙනවා. නිතරම අපිට කියන්නේ මේ වනාන්තර රැකබලාගන්න කියලා. ”
විදෙස් පර්යේෂකයෝ බොහෝ දෙනකු විශ‍්‍රාමික උගතුන්ය. ඔවුන් දැඩි සේ මේ සොබා දහමට ඇළුම් කරයි. එමෙන්ම වනාන්තරයට එන වැඩි පිරිසක් මෙරට පාසල් සිසු සිසුවියෝය. ඔවුන් පැමිණෙන ආකාරය පිළිබඳව නම් මාර්ටින් විජේසිංහ වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඔහු පවසන්නේ ළමුන් 500 ක් 600 ක් සමග වනාන්තරයට පැමිණීමෙන් කිසිදු පලක් නොලැබෙන බවයි. කුඩා ළමුන් විශාල වශයෙන් පැමිණ කැලයට ඇතුළු වී කූඩැල්ලන්ට භියෙන් ශබ්ද නැගීමත්, ගුරුවරුන් කිහිප දෙනකු පැමිණ මග පෙන්වන්නකුගේ සහය ලබාගත්ත ද ඒ ළමුන්ට සිංහරාජය ගැන අවබෝධයක් ලබාදීම කළ නොහැකියැයි හෙතෙම පවසයි.
“පුංචි ළමුන් සිංහරාජ වනාන්තරය ඇතුළට අරගෙන ඇවිත් වැඩක් නැහැ. යමක් තේරුම්ගන්න පුළුවන් ඉහළ පන්තිවල ළමුන් කුඩා කණ්ඩායම් වශයෙන් එනවානම් වනාන්තරය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.”
කුඩව හන්දියේ සිට වනාන්තරයේ ප‍්‍රවේශ දොරටුව දක්වා කිලෝ මීටර තුනක දුර ප‍්‍රමාණයක් තිබේ. මේ දුර යා යුතු මාර්ගය අතිශය දුෂ්කරය. ඉහළට එසැවී ඇති ගල් හේතුවෙන් ජීප් රථයක හෝ ලොරියක හැර වෙනත් රථයකින් යා නොහැක. ඒ අවට ගම්මානයේ වැසියෝද මේ මාර්ගයේ ගමන් කිරීමේදී දැඩි දුෂ්කරතා විදිති. මාර්ටින් විජේසිංහ ඒ ගැන මෙසේ කීවේය.
තමන් කළ රැකියාව පිළිබඳ දැඩි ආත්මතෘප්තියකින් පසුවුවද මාර්ටින් අයියා සිංහරාජ වනාන්තරය ගැන දැඩිසේ කණගාටුවෙයි.
“ඉස්සර මම මේ ගමේ පදිංචිවුණු කාලේ ගිලිලා නාපු ඇළ හරස් කරලා දැන් අඟල් දෙකේ පයිප්පයකින් තමයි වතුර ගන්න වෙලා තියෙන්නේ. බැහැලා නාන්න නෙවෙයි මූණ හෝදගන්නවත් වතුර ටිකක් නැහැ. දැන් වතුර ඒ තරමටම හිග වෙලා. ඉතින් වනාන්තර විනාශයේ තරම හිතාගන්න පුළුවන්නේ.
එසේ කියන විට ඔහුගේ නෙතට කඳුළු ඉණුවේ නැතත් දැඩි ශෝකාකූල බවක් ඔහුගේ මුහුණේ විය.
වනාන්තරයේ ඈත ඉම දෙස බලා සිටි ඔහු තවදුරටත් තම හඬ අවධි කළේය. එහි හැඟුම්බර ස්වභාවයක් ඇත.
“එදා වගේ නෙවෙයි දැන් වනාන්තරයේ දිය කදුරු හිඳිලා ගිහින්. වෙනදා හැමදාම වගේ නිතර නිතර නිතර ටික ටික වහිනවා. ඒත් දැන් එහෙම නෑ එක දිගට ගොඩක් දවස් පායනවා. ඊට පස්සේ ටික ටික නැතිව එකපාරට මහා වැසි ඇදහැලෙනවා. මේ තද වැසි නිසා ගංවතුර ඇතිවෙනවා. ඉස්සරත් ගංවතුර ගැලූවා. ඒ වතුර රැඳිල තියෙනවා. දැන් එහෙම නෑ ගංවතුරට මුළු පළාතම හෝදා පාළු වෙනවා. අපි පොඩි කාලේ රබර් කිරි කපන්න යනවා. මේ තමයි සොබා දහම විනාශ වෙලා තියෙන ආකාරය.”
සිංහරාජයේ මුරකරුවා ලෙස සිංහරාජයට කළ අනූපමේය සේවය නිසාම දෙස් විදෙස් ප‍්‍රචලිත වූ බෙරලිය වහම්පුරගේ මාර්ටින් විජේසිංහ හෙවත් කොයි කවුරුත් දන්නා හඳුනන සිංහරාජයේ මාර්ටින් අයියා සිංහරාජ මහ වනයට කළ සේවය නිසාම 1993 මැයි මාසයේදී ජනාධිපති ඩිංගිරිබණ්ඩා විජේතුංග මහතා අතින් ශ්‍රී ලංකා තිලක සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ඔහු කරනු ලැබූ සේවය ඇගයීම සඳහා සිංහරාජයටම ආවේණික වූ වැල් වර්ගයක් ඩයස්පෝරියි විජේසිංහ නමින් නම් කර තිබේ.
“මම මුළු රටෙන්ම ඉල්ලා සිටින්නේ සිංහරාජය ඇතුළු සියලූම වනාන්තර වලට ගහ කොළ වලට ආදරය කරන්න. අපේ ජීවය රඳා පවතින්නේ ඒ වනාන්තර සමග. සොබා දහමට ආදාරය කරන කිසිවකුට කිසිදාක වරදින්නේ නැහැ ” සිංහරාජයේ මාර්ටින් විජේසිංහ හෙවත් මාටින් අයියා අප ඔහුගෙන් සමුගනිද්දී එසේ කීවේය.
තම ජීවිතයෙන් වැඩිම කාලයක් සිංහරාජ මහ වනස්පතිය වෙනුවෙන් ම කැපකළ මාටින් අයියා දැන් රෝගාතුරව සිටියි. අපි ඔහුට නිදුක් නිරෝගී සුවය පතමු.