spot_img
spot_imgspot_img

රූමස්සල කැලේ දැනටමත් කපා ඇති බව පරිසර අධිකාරිය කියයි

පුවත්

විදෙස්

රූමස්සල ආන්දෝලනයට තුඩුදුන් මාර්යක් හෙළි පෙහෙළි කරන බවට මාධ්‍යමගින් ගෙන යන ප්‍රචාරය වැරදියැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් ඊයේ (01) නිකුත්කර තිබූ මාධ්‍ය නිවේදනය වැරදිබවත් එම ස්ථාානයේ ගස් කපා හෙළි පෙහෙළි කර ඇති බවත් අද (02) මාධ්‍යවේදීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් කරන ලද නිරීක්ෂණ චාරිකාවක දී අනාවරණය විය.

එම නිරීක්ෂණයට ගිය මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න කියා සිටියේ මාර්ගය ලෙස එතැන හෙළි පෙහෙළි කර ඇති පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මෙම චාරිකාව සංවිධානය කරන ලද්දේ ඊයේ (01) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් අනතුරුවය.

rata.lk වෙබ් අඩවිය මගින් රූමස්සල මාර්ගය පිළිබඳ ගවේෂණාත්මක ලිපියක් පළ කෙරුණු අතර එම ලිපිය මගින් අනාවරණය කළේ උණවටුනේ ඉදිවෙමින් පවතින හෝටලයක අවශ්‍යතාව අනුව ඉදිකිරීමට යෝජිත මෙම මාර්ගය සඳහා දැනටමත් කැලේ කපා හෙළි පෙහෙළි කර ඇති බවයි. එම ලිපිය පළ කිරීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ එම ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය.

නමුත් ඒ පිළිබඳ ඊයේ (01) දිනයේ දී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් අප මේ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු අද (02) සවස මෙම ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කරන ලද්දේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙනි. මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ මහතා කියා සිටියේ එම ක්ෂේත්‍ර චාරිකාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් මීට පෙර එම ස්ථානය පිළිබඳ වාර්තාව සැකසූ නිලධාරීන් සහභාගී කරවන බවයි.

මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනකු හා මාධ්‍යවේදීන් පිරිසක් එම ක්ෂේත්‍ර චාරිකාවට අද (02) සවස සහභාගී වූ අතර රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපසද අඩි කිහිපයක් ගස් තැන තැන කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉතිරි කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි නිලධාරීන්ට පෙන්වාදීමට මාධ්‍යවේදීහු කටයුතු කළහ.

රූමස්සල ජන්ගල් බීච් දෙසට  යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් සිටින ආකාරයත් ඒ අසළ කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් මෙම ක්ෂේත්‍ර චාරිකාවේ දී මාධ්‍යවේදීන් විසින් පෙන්වා දුන්නේ මාස කිහිපයක් පුරා වරින් වර එම ස්ථානයේ ගන්නා ලද ඡායාරූප ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි.

මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක්යැයි චෝදනා කරමින් අසළ ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් ‍පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබේ. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න ගැටලුවකි. එමෙන් ම අද වනවිට තවත් ගස් කපා දමා ඇතැයි ද එම නිලධාරීහු පැවසූහ.

මේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් කණ්ඩායම සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිස වනජීවී අභයභූමියේ මායිමේ ඇති මායිම් ගල් ද නිරීක්ෂණය කළහ. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කියා සිටියේ මෙලෙස ගස් කපා දමා මාර්ගයක් ලෙස හෙළි පෙහෙළි කර ඇත්තේ වනජීවී අභයභූමියේ ප්‍රේරණ කලාපයේ බවයා.  එය කිසිසේත්ම එළි පෙහෙළි කළ නොහැකි ප්‍රදේශයක් බවත් ඔවුහු කීහ.  ඒ අනුව සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. ප්‍රේමරත්න කියා සිටියේ මේ කරුණු තමන් විසින් වාර්තා කරන බවයි. එමෙන් ම එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!