spot_img
spot_imgspot_img

ඇතැම් මරණ පරීක්ෂකලාගේ වැරදි නිසා කොරෝනා මර්ධනය ගැටලුවක් වෙයි

පුවත්

විදෙස්

තලල්ල ග්‍රාමීය රෝහලේ සිට මාතර මහ රෝහලට ගෙන එමින් සිටිය දී අතරමග මියගිය කාන්තාවකගේ සිරුරක් පීසීආර් පරීක්ෂණයක් නොකර ඥාතීන්ට ලබාදීමට මාතර හදිසි මරණ පරීක්ෂකවරයා දැඩි උත්සාහයක නිරතවී ඇති බවත් මෙය බරපතල වරදක් බවත් මාතර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය චෝදනා කරයි.

හදිසි මරණ පරීක්ෂකවරයා සිරුර ඥාතීන්ට භාරදීමට උත්සාහ ගත්ත ද කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ එම කාන්තාව මියයනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

නිවසේ දී හෝ රෝහලට ගෙන එන අතරතුර මියයන පුද්ගලයන් සතුව මීට පෙර ප්‍රතිකාරගත් බවට වෛද්‍යවාර්තා තිබුණ ද ඔවුන්ගේ වයස්ගත වී නිවසේ එක්තැන් වී සිටි පුද්ලයන් වුව ද වසංගත රෝගී තත්ත්වයක් රටපුරා ව්‍යාප්ත වන මෙවන් මොහ‍ොතක හදිසි මරණ පරීක්ෂකවරු තම ආගමික විශ්වාසයන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම ‍වරදක් බව අධිකරණ වෛද්‍යවරු පෙන්වාදෙයි.

මෙම කාන්තාවගේ දේහය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පීසීආර් නොකර නිදහස් කළේනම් ඇයගේ ඥාතීන් සහ හිතමිත්‍රාදීහු බරපතල ගැටලුවකට මුහුණ දෙන අතර කොරෝනා වසංගතය එම ප්‍රදේශයේ පැතිරීමට ද එම මරණයම හේතුවක් වනු ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 102ක කාන්තාවක් නිවසේ දී මියගොස් තිබූ අතර එම කාන්තාවගේ නිවසේ සිටි කිසිවකු කොරෝනා ආසාදනය වී හෝ නිරෝධායනය වී හෝ නොතිබුණ ද හදිසි මරණ පරීක්ෂකවරයා එම කාන්තාවගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණි. අනතුරුව තහවුරු වූයේ වයසි 102ක් වූ නිවසේම සිටි එම කාන්තාව ද කොරෝනා ආසාදිත අයකු බවයි. මේ වනවිට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මියගිය පසු කොරෝනා ආසාදනය වූ බව තහවුරු වූ බහුතරයක් නිවෙස්වල එක්තැන්වී විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටි අය බව ද ඔවුන්ගේ නිවෙස්වල ද නිරෝධායය වන හෝ ආසාදිත වූ අය නොසිටි බව ද වෛද්‍යවරු කියති.

විශේෂඥ අධිකරණ වෛද්‍ය අ‍ඹේපිටිය පෙන්වාදෙන්නේ වසංගත තත්ත්වය පාලනය කිරීමට නම් මරණ පරීක්ෂකවරුන්ගේ සහය අවශ්‍ය බවයි. නිවැසියන්ට කොරෝනා නොසෑදී නිවසක එක්තැන්ව සිටින වයස්ගත පුද්ගලයන් ආසාදිත වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තීකරණය දුර්වල වීම හේතුවෙන් බවත් ඔහු පවසයි. නිවසේ අනෙක් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තීකරණය හොඳින් ඇති බැවින් ඔවුන්ට වයිරසය ආසාදනය නොවීමට හැකියාව ඇත. එබැවින් නිවසේ දී මියයන දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙලෙන එක්තැන්වී සිටි පුද්ගලයන් පවා මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම අත්‍යාවශ්‍ය බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. ඒ සඳහා නිරෝධායනය වූ කිසිවකුත් නිවසේ නොමැති වීම හො අවදානම් කලාපයක නිවස පිහිටා නැතැයි යන නිර්ණායක නොසැළකිය යුතු බව ද මේ වනවිට රටේ සෑම ස්ථානයක් ම අවදානම් බවට පත්ව ඇතැයි ද වෛද්‍යවරයා පවසයි.

හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පීසීආර් නොකර ඥාතීන්ට භාරදීමට උත්සාහ ගත් සිරුර මේ දක්වා ම දිනත තුනක් තිස්සේ මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. තම පවුලේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැති බවද කිසිවකුත් නීරෝධායනයේ නැති බවද මිය ගිය කාන්තාව නිවසේම සිටි තැනැත්තියක් නිසා තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අගේ ඥාතීන් ලිඛිතව රෝහලෙන් ඉල්ලා තිබිණි.

සිරුර භාර ගැනීමට ඥාතීන් ඉදිරිපත් නොවන නිසා අවසන් කටයුතු කර දෙන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාතර පොලීසියට පැමිණිලි කර තිබේ. ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බණ්ඩාර ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කල අතර කොරෝනා මරණ අවසන් කටයුතු සිදු කරන නීති රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කර ඇත. දෙවැනි පී.සී.ආර්.පරීක්ෂණය සිදු කරන ලෙස ඥාතීන් නීතිඥවරුන් මගින් සිදු කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මාතර හදීසි මරණ පරීක්ෂක එම්. රහීම්ගෙන් විමසූ විට කියා සිටියේ අදාල කාන්තාව දියවැඩියාව කොලෙස්ටරෝල් හා හෘද රෝගී බවට වෛද්‍ය වාර්තා මගින් සනාථ වන බවයි. ඇය හෝ පවුලේ කිසිවකුටත් කොරෝනා හෝ නිරෝධායනය නොවන බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුන් වාර්තාව සැලකිල්ලට ගෙන පී.සී.ආර්.නොකර සිරුර නිදහස් කිරීමට කටයුතු කල බව ද ඔහු කීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ මරණයක් සිදු වු විට පසුබිම් වාර්තාවක් කැදවන බවයි. එම වාර්තාවෛන් ලබා දෙන්නේ නිවසේ නිරෝධායනය වූ අයකු සිටින්නේ ද යන්න පමණක් බවත් එම වාර්තාව හේතුවක් කරගෙන සිරුරක් පීසීආර් නොකර ඥාතීන්ට භාරදීමට මරණ පරීක්ෂකවරයා කටයුතු කිරීම වරදක් බවයි. තමන් ලබාදනෙ එම වාර්තාව අයථා ලෙස යොදා ගෙන සිරුර ඥාතීන්ට භාරදීමට උත්සාහ ගැනීම සමස්ත ප්‍රදේශයම අනතුරට පත්කිරීමක් බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ හදිසි මරණ පරීක්ෂකවරු මේ ආකාරයනේ කටයුතු කරන්නේ නම් මෙරට කොරෝනා මර්ධන කාර්යය අසාර්ථක වනු ඇති බවයි. වසංගතය හමුවේ සියලුම මරණ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කිරීම අවශ්‍ය බව ද ඔහු පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඇතැම් මරණ පරීක්ෂකවරු පීසීආර් නොකර මළ සිරුරු ඥාතීන්ට නිදහස්කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා අධිකරණ අමාත්‍යාංශයටත්, මහේස්ත්‍රාත් අධිකරණවලටත් පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටින බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!