spot_img
spot_imgspot_img

ජනතාවට කොරෝනා – දියවන්නාවට එන්නත් ප්‍රමුඛතාව නොතකා මන්ත්‍රීවරු රකී

පුවත්

විදෙස්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (16) සිට කොරෝනා මර්ධන එන්නත ලබාදීමට සූදානම් බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

එන්නත ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ යුද හමුදා රෝහල වෙත උදෑසන 8.30ත් 12.00ත් අතර පැමිණිය යුතු බව ද දැනුම් දී ඇත. ඒ අනුව හෙට සිට 19 වැනි දා දක්වා මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් රජය මීට පෙර කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ නිරත වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට, කොරෝනා ආසාදිතයන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීමට සිදුවන ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ අනෙකුත් සේවාවන්හි සේවක සේවිකාවන්ට එන්නත ලබාදීමෙන් අනතුරුව කොරෝනා වයිරසය වැළඳීමේ වැඩි අවදානමක් සහිත පිරිස් සහ වයිරසය ශරීගත වූ විට අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට පළමුව එන්නත ලබාදෙන බවයි.

මේ වනවිට සෞඛ්‍ය සේවයේ සියලුම සේවක සේවිකාවන්ට එන්නත ලබා දී අවසන් කර නැත. ඇතැම් ගිලන්රථ රියදුරන්ට පවා එන්නත ලබා දී නැත. මරණයක් සිදුවූ විට මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිත හෝ ආසාදිත නොවේද යන්න හෝ නොදැන එම මරණ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුවන හදිසි මරණපරීක්ෂකරුන්ට කොරෝනා එන්නත ලබා දී නැත. පවුලක් නිරෝධායනය කළ විට ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම්, අවශ්‍ය පහසුකම් සැයීම් ආදී රාජකාරී භාරව සිටින ග්‍රාම නිලධාරීවරුන්ට එන්නත ලබා දී නැත. එසේ තිබිය දී රජය හදිසියේ ම අද (15) උදෑසන කියා සිටියෙ කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජනතාවට එන්නත් කිරීම් ආරම්භ කළ බවයි. ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් ලබාදෙන බව ද නිවේදනය කළේය. නමුත් එන්නත ලැබිය යුතු අවදානම් කාණ්ඩයට අයත්වන විශාල පිරිසකට මෙතෙක් එන්නත ලබා දී නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු කිහිප දෙනකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පීසීආර් පරීක්ෂණයකට ලක්වන ලෙස දැනුම් දී තිබුණ ද කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පීසීආර් පරීක්ෂණ මඟහරින බවයි. නමුත් එලෙස පීසීආර් පරීක්ෂණ මඟහැර සිටි මන්ත්‍රීවරු බොහෝ දෙනකු තම මහජන දින පවත්වා තිබූ අතර ඔවුන් විවිධ උත්සවවලට ද සහභාගීවනු දක්නට ලැබිණි. කොරෝනා මර්ධනය කිරීමට හා පැතිරීම වැලැක්වීම සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ පෙන්වා දෙද්දී ඒවා මඟහැර ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත් ලබා දී එවුන් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කරගැනීමට රජය කඩිනමින් පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතය සඳහා එන්නත් ලබාදෙන බොහෝ රටවල ප්‍රමුඛතාව දී ඇත්තේ සෞඛ්‍ය සේවකයන්ට හා සෘජුව කොරෝනා ආසාදිතයන් සමඟ කටයුතු කරන වෙනත් සේවාවන්වල නිරතවූවන්ටය. ඉන් පසු කොරෝනා ආසාදනය වුවහොත් ජීවිත අවදානමක් ඇති පුද්ගලයන්ට, පාසල් ගුරුවරුන්ට වශයෙන් එන්නත ලබාදෙන අතර දේශපාලනඥයන්ට ලොව වෙනත් කිසිදු රටක මෙවැනි ප්‍රමුඛතාවක් ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!