වැලන්ටයින් , පෙබරවාරි මාසය උදා වීමත් සමඟින් බොහෝ ආදරවන්තයින් වැලන්ටයින් නැතිනම් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට සුදානම් වෙයි. ඒ සුදානම කෙසේ වුවද සෑබෑ ආදරවන්තයින්ගේ දිනයේ වටිනාකම දැනගෙන සෑබෑ ආදරයට වටිනාකමක් දෙමින් ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ කීයෙන් කීදෙනෙකුද? එවන් සමාජයේ සෑබෑ ආදරවන්තයින්ගේ දිනයට සෑබෑ ආදරයට නව අරුතක් ලබා දුන් විවාහ මංගල උත්සවයක් ගාල්ල ඉමදුව දී පැවැත්විණි.
වසර 19 කට ආසන්න කාලයක් අබාධිත තත්වයෙන් එක්තැන්ව සිටි තරුණයකුට සෑබෑ ආදරය දැක් වු තරුණියක් හා විවාහ වීම මෙහි දී සිදුවිය. විවාහ උත්සවය ඉමදුව අගුළුගහ, විලේවත්ත, හටන්ගල ප්‍රජා ශාලාවේ දි ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂමි කාන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සෑබෑ ආදරයට නව අරුතක් ලබා දෙමින් ආදරවන්තයින්ගේ මාසයේ දී මෙම අපුරු ආදර කතාව සැබවින්ම ආදර්ශයකි.
මෙම කතාවේ ප්‍රධාන චරිතය වන අබාධිත තරුණයා හේවා ගමගේ සුනිල් ශාන්ත (40) නැමත්තෙකි. ඔහුගේ මනාලිය වුයේ ශිරෝමි පතිරණ (41) නැමත්තියකි. මනාලයා හා මනාලිය දෙදෙනාම විලේවත්ත, හටන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
විවාහය ලියාපදිංචි කිරිම ඉමදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ විවාහ රෙජිස්ටාර් ශිරෝමි එස් කොඩිකාර විසින් සිදුකරණු ලැබුවාය. ඉමදුව ප්‍රාදේශිය ලේකම් ලක්ෂ්මි කාන්ති සාක්ෂිකාරියක් ලෙස විවහයට අත්සන් තබනු ලැබුවාය. විවාහය ලියාපදිංචිකිරිමේ උත්සවය හටන්ගල ග්‍රාම නිලධාරිනී ඉනෝකා ද සිල්වා, ආර්ථික සංවර්ධන නිලධාරි හා සමෘද්ධි නිලධාරී, ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ තරුණයින් එක්ව සංවිධානය කොට තිබුණි.
නිරෝධායන නිතිරිතිවලට අනුව විවාහය ලියාපදිංචි කිරිමේ උත්සවය පැවති අතර විවාහය ලියාපදිංචිය ද මුදු මාරුකිරීම ද සිදුකෙරිණි.
අබාධිත තත්වයේ පසුවන මනාලයා 2002 පෙබරවාරි 12 වැනි දින අඹ ගසකින් ඇද වැටිම නිසා අබාධිත තත්වයට පත්ව සිටියේය.
“මම අබාධිත තත්වයට පත්වු පසු ඉතා අසරණ තත්වයට පත්වෙලා හිටියේ. මා වරාය අධිකාරියේ වැඩකළේ. 2002 වර්ෂයේ දී මම මගේ අක්කලාගේ ගෙදර ගියා මිහින්තලයේ එහේ දී අඹ කඩන්න ගිහින් අඹ ගසකින් වැටිලා තමයි ඉණෙන් පහල කොටස පණ නැතිවුනේ. මගේ අම්මා තමයි මාව රැක බලාගත්තේ. අම්මටත් දැන් වයස අවුරුදු 85ක් වෙනවා. මට ඇති දෙයක් නෑ. නිකන් ගේ කෑල්ලක් විතරයි තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් තමයි මට ගොඩක් උදව් කරන්නේ. මම ගොඩක් කටුක ජීවිතයක් ගත කරේ. ඔය අතර මගේ මස්සිනා කෙනෙකු මාර්ගයෙන් තමයි ශිරෝමි හදුනා ගැනිමට හැකිවුනේ. පසුව ඇයත් සමග දුරකථනයෙන් කථා කළා. මාස 06ක් විතර ආදරය කළා. ඇය කැමතිවුනා මා සමග විවාහවෙන්න. ආබාධිත අයෙකු සමග කවුරුවත් විවාහ වෙන්නේ නැහැ. නමුත් ඇය ලොකු පරිත්‍යාගයක් හා කැපවිමක් කරලා මා සමග විවාහවුනා.මට ගොඩක් සතුටුයි. එයා පසුගිය කාලයේම මගේ නිවසට ඇවිල්ලා ගෙදර හැම දෙයක්ම කරලා දුන්නා. මාව නාවන ඇඟ හෝදන දේ පවා පසුගිය කාලය පුරා කළේ එයා. ඇත්තටම මට ත් හිතාගන්න බෑ මේ ආදරය. මම අද ගොඩක් සතුටින් ඉන්නේ මේ ආදරය නිසා. වසර 19 කට ආසන්න කාලයක්ම මගේ සිරුරින් භාගයක් පණ නැතිව තමයි මම හිටියේ. නමුත් දැන් ශිරෝමි ගේ ආදරයත් එක්ක මගේ ඇඟට නව පණක් ලැබිලා වගේ. දැන් මම පුදුම ආදරයක් ලබන ආදරවන්තයෙක් වෙලා. මට මේක වචනයෙන් විස්තර කරන්න බෑ. ඇත්තටම හරිම සතුටුයි.”
ආබාධිතවීම හේතුවෙන් වරාය අධිකාරියේ රැකියාව අහිමිවන ඔහු පාපිසි සැකසීමට පුරුදුවූයේය. ආදරයෙන් පොහොසත් වුව ද දුප්පත් පවුලක උපන් ශිරෝමි ගෘහ කර්මාන්තයක් ලෙස හඳුන්කූරු නිෂ්පාදනය ප්‍රගුණ කර සිටින්නීය. ඔවුන්‍ෙ දෙදෙනාගේ අපේක්ෂාව පාපිසි හා හඳුන්කූරු නිෂ්පාදනයෙන් තම ආර්ථිකය හැකි පමණින් ශක්තිමත් කරගෙන කිසිවෙකුට බරක් නොවී ජීවත්වීමයි. උදව් කිරීමට කැමති අයගේ උපකාර ඔවුහු මේ සඳහා බලාපොරොත්තුව සිටිති.
“ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපි දෙදෙනාට කරපු උදව්වලට අනේකවාරයක් ස්තූතියි. අද මේ වගේ උත්සවයක් කරලා අපිට විවාහ වෙන්න හැකියාව ලැබුණේ ඒ නිලධාරීන්ගේ උදව්වෙන්. ඒ වගේ ම ගමේ අයත් අපිට ගොඩක් උපකාර කළා. ඒ හැමෝටම අපි දෙන්නාම ස්තූති කරනවා.” යැයි සුනිල් ශාන්ත පවසයි.
සුනිල් ගේ මනාලිය වන ශිරෝමි පතිරණ සිය නව ජීවිතය සම්බන්ධයෙන් සහ මෙම අපුරු ආදරකතාව සම්බන්ධයෙන් මෙසේ පැවසීය,
“සුනිල්ට මුලින්ම මා කථාකළේ දුරකථනයෙන්. මගේ දෙමාපියන් නෑ. මාත් ඉන්නේ තනිවම ඉතින් මම ඔහුගෙන් ඇසුවා බලන්න එන්නද කියලා. ඔහු එන්න කියලා කිවා. සුනිල්ගේ ගෙදරට ආවාට පසු මට ගොඩක් දුක හිතුනා. ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇතිවුනා. ඒක ආදරයකට පෙරලුනා. මුළු ඇඟම පණ තියන කෙනෙකුට වඩා මට සුනිල්ගෙන් ආදරය ලැබෙනවා කියලා මට හිතෙන්නේ. ඒ ආදරය අපිව එකතු කලා. අපි දෙදෙනා මාස කිහිපයක් ආදරය කළා. ඇත්තටම ආබාධිත තරුණයකු සමග විවාහවීම ගැන මම සතුටුවෙනවා. ආදරය මොකක්ද කියලා සුනිල් ගෙන් මම දැක්කා. සුනිල්ට හා එයාගේ මවට ඇප උපස්ථාන කරමින් යහපත් බිරිදක් විදියට කටයුතු කරන්න මා කැපවෙනවා” යැයි ඇය කිවාය.
මෙම විවාව මංගල උත්සවය වෙනුවෙන් පැමිණි ප්‍රදේශවාසීන්ගෙන් ,රජයේ නිළධාරීන්ගෙන් සුනිල් ට සහ ශිරෝමි ට තාග්‍ය ලැබුනේ සෑබෑ මංගල උත්සවයක දී මෙන්ය. මංගල කාර් රථයක් නොතිබුණ ද ත්‍රී රෝද රථයක් සරසා මනාලිය හා මනාලයා රැගෙන ඒමටත් රැගෙන යාමටත් ගමේ තරුණ පිරිස කටයුතු කළහ.
සඳ වතිය ඔබයි …………. මුදු සුවය ඔබයි……. මගේ ජීවිතේ……. මගේ ජීවිතේ………
අපි අපේ වෙමු සාදා……..
හිරු කුමරු ඔබයි……. මට දිරිය ඔබයි…… මගේ ජීවිතේ…….
අපි අපේ වෙමු සාදා………………..
රොෂාන් ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ හඩ හටංගල ප්‍රජා ශාලාවේ කොනකින් ඇසෙද්දී ශිරෝමි , සුනිල්ව රෝද පුටුවට වත්තම් කරගනිමින් සිය නව ජීවිතය ගත කිරීමට පිටත්වීම පැමිණි සැමගේ හිතට සතුටු කඳුළක් එක් කරන්නට විය.
(සටහන සහ ඡායාරූප – ලංකින්ද නානානයක්කාර)





