spot_img
spot_imgspot_img

චිත්‍රකතා ලියූ අගමැති බණ්ඩාරනායක

පුවත්

විදෙස්

අගමැති ඇස්.ඩබ්ලිව්.ඩී.බණ්ඩාරනායකගේ දේශපාලන ජීවිතය හැර ඔහුගේ ලේඛන දිවිය ගැන බොහෝ දෙනකු දන්නේ නැත. අපට මේ ඡායාරූපය හදිසියේ ම හමුවන්නේ ශ්‍රී ලoකාවේ පැරණි පුවත්පත් හා සගරා OLD NEWS PAPERS &MAGAZINE IN SRI L නමැති Facebook සමූහයෙනි. මේ එහි සැබැඳියයි https://web.facebook.com/groups/550428005889699/?ref=group_header&_rdc=1&_rdr

අගමැති බණ්ඩාරනායක එවකට තම කඳවුරේ හිතවත් පුවත්පත් සමාගමක් වූ ටයිම්ස් සමාගමේ මුද්‍රණයක් වූ ඉරිදා ලංකාදීප පුවත්පතට 1953 නොවැම්බර් 22 වැනි දා සිට “මහ හේනේ රීරි යකා” නමින් චිත්‍ර කතාවක් ලියා ඇත. එහි කතාව ඇස්.ඩබ්ලිව්.ඩී.බණ්ඩාරනායකගේ ය. චිත්‍රවල ශෛලිය අනුව පෙනෙන්නේ එවකට ලංකාදීප පුවත්පතට චිත්‍ර කතා නිර්මාණය කළ සුසිල් ප්‍රේමරත්න විසින් අඳින ලද චිත්‍ර විය හැකි බවයි. (මෙය අනුමානයකි)

ලේඛන කාර්යයේ යෙදුණු බණ්ඩාරනායක තමන් විසින් චර්කය ගැන වරින්වර ඩේලි නිවුස් හා සිළුමිණ පුවත්පත්වලට ලියූ ලිපි කිහිපයක් එක්කර 1933 මැයි 11 වැනි දා මුද්‍රණයෙන් නිකුත් කරන ලද “චර්කය හා ගොයම් කෙත” නමැති ග්‍රන්ථය බොහෝ ජනප්‍රිය වූවකි. එමෙන්ම ඔහු විසින් ලියූ “අතුරුදන් වූ අපේක්ෂකයා” නමැති කෙටිකතාව ද පාඨකයන්ගේ නොමද ගෞරවයට පාත්‍රවූවකි. ඔහු විසින් ලියා සුසිල් ප්‍රේමරත්නගේ සිතුවමින් අලංකෘත වූ ඉරිදා ලංකාදීප පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ “මහ හේනේ රීරි යකා” නමැති චිත්‍ර කතාවට පදනම් වී ඇත්තේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක නම් දේශපාලනඥයා කුඩා කළ පටන් ඇසුරු කළ ධනපති රදළ සමාජයේ සැබෑ පැතිකඩයි. ඔහු එය යස රඟට නිරූපනය කළේය.

1956 මහා මැතිවරණ‍යට කලින් බණ්ඩාරනායකට සහයෝගය දැක්වූ අලුත් පත්‍ර කිහිපයක් බිහිවිය. එතෙක් මේ රටේ පැවති ප්‍රබල පුවත්පත් කඳවුරු දෙක වූයේ ලේක්හවුස් හා ටයිම්ස් පුවත්ප්ත ආයතන දෙකයි. ලේක්හවුස් ආයතනය දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස්, ඔබ්සර්වර් ආදී පුවත්පත් මුද්‍රණය කළ අතර එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය. එම පුවත්පත් බණ්ඩාරනායකගේ ප්‍රතිපත්ති දිගටම විවේචනය කරන අතර ලංකාදීප, ඉරිදා ලංකාදීප, ටයිම්ස් ඔ‍ෆ් සිලෝන් පුවත්පත් ප්‍රකාශයට පත්කළ ටයිම්ස් මන්දිරය බණ්ඩාරනායකට සහය දුන්නේය.

බණ්ඩාරනායකට පුවත්පත් පිළිබඳ අපූරු දැක්මක් තිබිණි. ඔහු නිරන්තරවම පුවත්පත් නිදහස සහ ඉන් සමාජයට සිදුවිය යුතු කාර්යභාරයත් එහි වැදගත්කමත් පෙන්වාදුන්නේය.

1957 දෙසැම්බර් 02 දා දිල්ලියේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේ දී ඔහු කළ කතාවට ද පුවත්පත් නිදහස ගැන ද සඳහන්කර තිබිණි. මේ ඔහු එදා කළ කතාවේ කොටසක උපුටා ගැනීමකි.

“ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දී ඇති අර්ථය විවිධය. විශේෂයෙන් ම මෑත දී මේ වචනයට නානා අන්දමේ තේරුම් යොදා ඇත්තේය. එහෙත් මට නම් ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙන් සැබැවින්ම අදහස් වන්නේ‍ පෞද්ගලිකවූ ද සාමූහික වූ ද නිදහසේ සම්පිණ්ඩනයකි. පෞද්ගලික වශයෙන් කථා කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, පුවත්පතේ නිදහස, අන්තනෝමතික අත් අඩංගුවෙන් නිදහස, ඡන්ද බලයේ නිදහස, කෙටියෙන් කියතොත් මානුෂික බුද්ධිය පිළිබඳ නිදහස වන්නේය.”

අප වර්තමානයේ දේශපාලනඥයකු ලෙස මතකයේ තබා සිටින මෙරට සිව්වැනි අගමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක පුවත්පත් සඳහා ලිපි සැපයූ නිදහස් ලේඛකයකු ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයේ දී අදහස් දැක්වීමට ලැබුණු අවස්ථාවේ දී පුවත්පත් නිදහසේ වැදගත් ගම අවධාරණය කළේ ඒ අයුරිණි.

මෙය මෙරට අගමැතිවරයකු චිත්‍රකතාවක් රචනා කළ පළමු අවස්ථාව හා එකම අවස්ථාව වනවාට සැකයක් නැත. නමුත් ඒ අගමැතිවරයා පිටුපස සිටින්නේ අප දකින දේශපාලනඥයා පමණක් නොවන බව සිහි තබාගත යුතුය.

අගමැති බණ්ඩාරනායක එවකට ලංකාදීප කර්තෘ ඩී.බී.ධනපාල සමඟ අරලියගහ මන්දිරයේ දී ගත් ඡායාරූපයක්
අගමැති බණ්ඩාරනායක පුවත්පත් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන අවස්ථාවක්. අගමැතිවරයා සමඟ සිටින්නේ ලංකාදීප පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ අධිනීතිඥ රත්න දේශප්‍රිය, ප්‍රවෘත්ති කර්තෘ ඩී.එච්.අබේසිංහ යන දෙදෙනාය.
1956 මැතිවරණ ජයග්‍රහණය පිළිබඳ ලංකාදීප පුවත්පතේ පළ වූ පුවත කියවයි

“මහ හේනේ රීරි යකා” චිත්‍ර කතාවේ පළමු කොටසේ කතාව ඔබේ පහසුව සඳහා පහත සටහන් කර ඇත.

එදා හැන්දෑවේ මහන්සිවන තුරුම ටැනිස් සෙල්ලම් කළ මම ගෙදර විත් නාගෙන ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක දිගාවී සිසිල් බීමක් බොමින් පත්‍රය බලන්නට වීමි. ඉතාම වින‍ෝදමත් කාලය හැන්දෑයාමයයි මම කවදත් අදහස් කළෙමි

“කොච්චර ලස්සනද ? මේකෙ අද මුකුත් ම නෑනේ. ආ එළියෙ සීනුව ?”

ළමයා බලපන් ඔය එළියෙ කවුද කියලා

“මහත්මයා මේ ලියුම්”

“හා හොඳයි ළමයා”

“ෂං මහ හේනෙං. ඔව් ලීලාගෙන් ලියුමක්”

ලීලා රූමත්ය. ඈ ඉහළ පෙළේ තරුණයකි. ටැනිස් ක්‍රීඩාවෙහි ශූරකම් දැක්වූවාය. ඇය අගෝස්තු තුරඟ තරඟ වාරයේදී පිටියට ගියේ ලස්සනට සාරිය ඇඳගෙනය. චිත්‍රපටි නැරඹීම නම් ඇය අමතක නොකළ කාරියෙකි.

“අනේ ලීලා මම එදා ඔබට ආලය කළා. ඔව්, වරෙක මම ඇයට දැඩි ලෙස ආලය කළා. එහෙත් අර පුදුම මිනිහා ආනන්ද ලිවේරා ඇය කසාද බැඳගෙන මහ හේනට කැන්දාගෙන ගියා.

“රිචඩ්, මොකද මේ. ගෑනුන් වගේ ලියුමක් තියාගෙන කල්පනා කරන්නෙ ?”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!