ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් මගඩියක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
එම භූමිය සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 60කට ආසන්න ඇස්තමේන්තුවක් අනුමත කර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාල මුදල් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති අතර මේ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා සීමිත ටෙන්ඩර් කැඳවා තිබිය දී ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන්වීමටත් පෙර කොන්ත්‍රාත් සමාගමකට අදාල කාර්යය භාර දී තිබේ.
මේ පිළිබඳ සොයා බැලීමේ දී අනාවරණය වූයේ ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේ ගියවට හමුවන අටකොහොට හන්දියෙන් හැරී ගොලුවාමුල්ල මාර්ගයේ කිලෝ මීටර දෙකක් පමණ ගිය විට හමුවන අක්කර 70ක පමණ වපවසරියකින් යුතු මේ ඉඩම කෘෂිකාර්මික අධි කලාපයක් ලෙස සංවරධනය කිරීමේ දී භූමියේ කැලය කපා ශුද්ධ කර මාර්ගයක් සැකසීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා තිබිණි. ඒ් සම්බන්ධයෙන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් සැළස්මක් ද සකසා ඇත.
මේ කාර්යය සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 59-60ත් අතර ප්‍රමාණයකට ඇස්තමේන්තු ගත කර ඊට අනුමැතිය ලබාගෙන අදාල මුදල් කෘෂිකර්ම දේපාර්තමේන්තුව මගින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාගෙන තිබිණි.
මෙම කාර්යය සඳහා සීමිත කොන්ත්‍රාත්කරුවන් තිදෙනකු නම් කර ඔවුන්ගෙන් මිල ගණන් කැඳවීමට තීරණය කර තිබේ. එසේ වුව ද එම කොන්ත්‍රාත්කරුවන් අතරින් එක් කොන්ත්‍රාත්කරුවෙක් ටෙන්ඩර් සළකා බලන අවසන් දිනය වන ජනාවාරි 29 හෝ 31 දිනට පෙර එම භූමියට ගොස් බැකෝ යන්ත්‍ර 03ක් ද යොදා 2021 ජනවාරි 24 වැනි දින සුබ නැකතකට වැඩ ආරම්භ කර තිබේ.
අනෙක් කොන්ත්‍රාත්කරුවන් කෙසේ වෙතෙත් එලෙස වැඩ ආරම්භ කළ කොන්ත්‍රාත් සමාගමේ ම නියෝජිතයකු මාර්ග සංවර්ධන අධිකාරියේ ඇල්පිටිය කාර්යාලයට පැමිණ පසුගිය 27 වැනි දා ටෙන්ඩර් ලියැවිලි තුනක් එකකට රුපියල් 500.00 බැගින් ගෙවා මිලදී ගෙන ඇත්තේ අනෙක් කොන්ත්‍රාත් සමාගම් දෙකේ ද නම සඳහන් කරමිනි. ඒ අනුව පැහැදිලි වන්නේ අනෙක් සමාගම් වෙත මෙම ටෙන්ඩර් පත් යොමු නොවන බව සහ එම සමාගම් දෙකේ නමින් ද වැඩ ආරම්භ කළ සමාගම විසින්ම ව්‍යාජ ලෙස මිළ ගණන් ඉදිරිපත් කරන බවයි.
ඊයේ (28) සවස දක්වාම අදාල ඉඩමේ සංවර්ධන කටයුතු සඳහා යෙදවූ යන්ත්‍ර එහි නවතා තිබූ අතර අප විසින් මේ පිළිබඳ සොයා බලන බව වාර්තාවීමත් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියකු විසින් එම සමාගමට දැනුම් දී ඇත්තේ වහාම යන්ත්‍ර සියල්ල ඉවත්කරගන්නා ලෙසයි. අද අළුයම එම යන්ත්‍ර ඉවත්කරගෙන තිබිණි.
මෙය බරපතල දූෂණ ක්‍රියාවක් බව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිදහස් සේවක සංගමය චෝදනා කරයි. ඔවුන් මේ පිළිබඳ රජයේ විගණක දෙපාර්තමේන්තුවට ද අද (29) පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ 2021 ජනවාරි 29 දින එනම් අද දින 10.00ට පෙර දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ඇති ටෙන්ඩර් පෙත පිටු අංක කර නැතිනම් පිටු අංක කිරීමෙන් පසුව විධිමත් පරදි වසා දැමීය යුතු බවයි. එමෙන්ම එතෙක් එම ටෙන්ඩරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතැයි අදාල බලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
මේ පිළිබඳ අප විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ ටෙන්ඩර් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් අදාල ටෙන්ඩර් පොත වසා දැමීමට කටයුතු කරන බව ද විගණක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ටෙන්ඩර් වංචාව සම්බන්ධයෙන් එසේ චෝදනා එල්ලවෙමින් තිබිය දී දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී පී.පී.වික්‍රමසිංහගෙන් ඒ පිළිබඳ විමසූ විට ඇය කියා සිටියා මෙම කෘෂිකාර්මික ඉඩම සංවර්ධනය කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු ශ්‍රමය යොදා සිදුකිරීමට තීරණය කර ඇති බවයි. එබැවින් ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවන බවත් එල්ලවන චෝදනාවල සත්‍යතාවක් නොමැති බවත් ඇය කියා සිටියාය.
සාමාන්‍යාධිකාරීවරිය එසේ කීව ද මෙම ටෙන්ඩරය ප්‍රධානය කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඇල්පිටිය කාර්යාලය මගින් ලබන සඳුදා (01) සිදුකරන බව ට රාවයක් පවතී. ඇල්පිටිය ප්‍රාදේශීය කාර්යාලයේ වැඩබලන ඉංජිනේරුවරයා ලෙස කටයුතු කරන්නේ කාර්මික නිලධාරීවරයෙකි. මේ වනවිට මේ ටෙන්ඩරය ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ගෙන් ඔහුට උපදෙස් පවා ලැබී ඇත. එසේ වුව ද ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයකට ටෙන්ඩරයක් ලබාදිය හැක්කේ උපරිම රුපියල් 500,000.00 ක මුදලකට යටත්ව බැවින් ලක්ෂ 60ක් වූ මෙම ටෙන්ඩරය එම කාර්යාලය මගින් පිරිනැමීම නීත්‍යානුකූළ නොවේ.
කෙසේ වෙතත් එම ටෙන්ඩරය පිළිබඳ සළකා බැලීමේ රැස්වීමක් සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තවලම ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ද ලබන සඳුදා (01) ඇල්පිටිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට කැඳවා ඇති බව ද වාර්තා වෙයි.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයි පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සෘජු ශ්‍රමය යොදාගනිමින් නම් ටෙන්ඩර් අයදුම්පත්‍ර සකසා ඒවා ආයතන කොන්ත්‍රාත් සමාගම් වෙත රුපියල් 500.00ක මුදලක් ලබාගනිමින් බෙදා හැරියේත් ටෙන්ඩර් මණ්ඩල සැකසුවේත් කවර හේතුවක් නිසා ද යන්න විමසිය යුතුය.