-2.1 C
New York
Home Blog Page 1324

බෝම්බ සොයද්දී පුරාවිද්‍යා නටඹුන් ඩෝසර් කරලා

0

ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන මතකයක් රැන්දූ ස්ථානයක් වන මාවිල්ආරු සොරොව්ව ආසන්න ප්‍රදේශය අදින් වසර 15කට පමණ පෙරාතුව කොටින්ගේ රජ දහනක් විය.

වර්තමාන සෝමාවතිය රක්ෂිතයට අයත්වන මේ සොරොව්ව ප්‍රදේශයේ පිහිටි ”පන්සල් කන්ද” නමින් හැඳින්වෙන තරමක් උසැති ප්‍රදේශයේ පැරණි බෞද්ධ විහාරස්ථානයක නටඹුන් පිහිටි බව ගැමියෝ දැන සිටියහ. ඒ අවට කොටි ත්‍රස්තවාදීන්ගේ කඳවුරු පිහිටි බැවින් ගැමියන් එහි ගියේ නැත. කොටි මේ ප්‍රදේශයේ සිට මාවිල්ආරු සොරොව්ව අල්ලාගෙන එය වසා දැමීමන් පසු යුද්ධය අවසන් වීමේ සටන් ඇරඹිනි. මාවිල්ආරු අල්ලාගෙන සිටි කොටි තොප්පිගලට පැන යද්දී ඔවුන්ගෙ කඳවුරු ද විනාශ කෙරිණි.

ගැමියන් ද යුද්ධය අවසන් වූ පසු තම සුපුරුදු ගොවිතැන් ආරම්භ කර සාමාන්‍ය දිවියට පුරුදු වූව ද වනයේ පිහිටි පන්සල් කන්ද රක්ෂිත ප්‍රදේශයට ගියේ නැත. එහි ඉඳ හිට ගියේ මී කඩන්නට කැලෑ වදින අයකු පමණි. නමුත් මේ පන්සල් කන්දේ ගල් කණු, කොරවක්ගල්, මුරගල් සහ සඳකඩපහන ආදී නටඹුන් රැසක් විසිරී පවතින බව ගැමියෝ දැන සිටියහ.

මේ අතර පසුගිය දා සෝමාවතිය රක්ෂිතයේ ඇති බිම් බෝම්බ ඉවත්කිරීමට අවශ්‍ය බව පවසමින් විදෙස් සංවිධානයක නියෝජිතයන් පිරිසක් වනයට ඇතුළු වූයේ බැකෝ යන්ත්‍ර ද රැගෙනය. ඔවුහු වනයේ තැන තැන රතු පැහැයෙන් සලකුණු කළ කෝටු සිටුවා අනතුරු දායක පෙදෙස් සලකුණු කර වනයේ බැකෝ යන්ත්‍ර යොදා ගස් පෙරළා පාරවල් කපා ඇත්තේ අක්කර ගණන් විශාල ඉඩමක් සංවර්ධනය කර කැබලි කර විකුණන ආකාරය සිහිගන්වමිනි.

ඔවුන් එතැනින් නතර කර නැත. මහ වනය මැද තිබූ පන්සල් කන්දේ නටඹුන් සහිත ස්ථාන ද ඩෝසර් කර ඇත්ත් කොරවක්ගල්, ගල් කණු මෙන්ම තැන තැන විසිරී තිබුණු ගඩොල් හා ගල් කැබලි ද දෙපසට කරමිනි. දැන් එම පුරාවිද්‍යා භූමිය යකුන් නැටූ සොහොන් පිටියක් වැනිය.

මෙහි පුරාවස්තු විනාශ කර ඇතැයි දැනගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යලයේ නිලධාරීන් පිරිසක් එම හානිය ගැන සේරුනුවර පොලිසියට ද පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමලය මඩකලපුව පාරේ අලිඔලුව හන්දියෙන් හැරී කන්තලේ දෙසට දිවෙන මාර්ගයේ සිට මාවිල්ආරු සොරොව්ව දෙසට යන පාරේ ගොස් සෝමාවතී රක්ෂිතයට ඇතුළු වූ විට සෝමාවතිය රක්ෂිතයේ අතහැර දැමූ පැරණි කුඹුරු යායක් හමුවෙයි. මේ කුඹුරු යාය පසුකර ගිය විට පුරාවස්තු සහිත මෙම පන්සල් කන්ද නමැති භූමිය හමුවෙයි. ඒ දෙසට යනවිට කුඹුරු යායේ යම් කිසි පිරිසක් විසින් පස් බැම්මක් ඉදිකර ඇති ආකාරයත්, ඉන් අනතුරුව මාර්ග පද්ධතියක් මෙන් ගස් පෙරළා ඩෝසර් කර ඇති ආකාරයත් පැහැදිලිව දක්නට ලැබෙයි. ගැමියන් පවසන්නේ ඇතැම් විට බිම් බෝම්බ සොයන බව පවසමින් පැමිණි වෙනත් පිරිසක් විසින් මේ විනාශය කරන්නට ඇති බවයි.

පුරාවිද්‍යා නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ මෙම පුරාවිද්‍යා ස්ථානයට හානි සිදුවන ආකාරයෙන් බිම් බෝම්බ ඉවත්කිරීමට එම කාර්යය කරගෙන යන රාජ්‍ය නොවන ජාත්‍යන්තර ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. කෙසේ වෙතත් පුරාවස්තු සියල්ල පෙරලා දමා ඒවා තැන තැන විසුරුවා ඇති අතර එම ස්ථානයේ පිහිටි කොරවක්ගල්, සඳකඩපහන, ගල්කණු, පෙති උළු හා පැතලි ගඩොල් ඒ මේ අතට තල්ලුකර දමා තිබේ.

එතැන ඇති විශාල ගසක් යට පෙති උළු කැබලි දෙකක් තබා පහනක් දල්වා ඇති ආකාරය ද අප එහි ගිය බදාදා සවස ද දක්නට ලැබිණි. ගිනි පෙට්ටියක් පවා එහි තිබිණි. මෙය කිසියම් පිරිසක් මෙතැන පූජාවක් පැවැත්වූ බවට සළකුණක් වීමට ද පුළුවන.

කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෝම්බ ඉවත්කරන කණ්ඩායම විදේශීය නිරීක්ෂකයන් හා දේශීය පුහුණු ශ්‍රමිකයන් යොදාගෙන එම කාර්යය සිදුකළ ද දේශීය සේවකයන් බොහොමයක් බෞද්ධාගමිකයන් නොවන බැවින් ඔවුන්ට මෙවැනි නටඹුන් ස්ථානවල වැදගත් කම ගැන හැඟීමක් නොමැති බවයි. එබැවින් මෙලෙස බැකෝ යන්ත්‍ර එම නටඹුන් මතින් ක්‍රියාකවරන්නට ඇති බව ද ඔවුහු කියති.

සැබැවින් ම මේ කාර්යය සිදුකළේ බිම් බෝම්බ ඉවත්කරන කණ්ඩායම් තම රාජකාරිමය අවශ්‍යතාවක් සඳහා නම් ඩෝසර් භාවිතා කළේ එවැනි දෙයක් සඳහා නම් ඒ බව ඊට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් වැනි නිලධාරීන් දැනුම්වත් කිරීම අත්‍යාවශ්‍ය බව ද පුරාවිද්‍යා නිලධාරීන් පවසයි. නමුත් එවැනි දැනුම් දීමක් සිදුකර නැත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඩොසර් කර පුරාවිද්‍යා ස්ථානයක් විනාශ වී ඇතැයි දැනගත් වහාම තමන් එම ස්ථානයට ගිය ද එතැන සිටි බෝම්බ ඉවත්කරන සේවකයන් පැය හතරක් පුරා කිසිදු නිලධාරියකුට එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් බවයි.

මෙහි දක්නට ඇති පුරාවස්තුවල ඇති කැටයම් සහ ඒවා නිර්මාණ කර ඇති ආකාරය අනුව මෙතැන මධ්‍ය අනුරාධපුර යුගයේ ඉදිවූ යම් ගොඩනැගිල්ලක් තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

අප විසින් කරන ලද සොයා බැලීමේ දී හෙළි වූයේ මැග් නමැති ආයතනයේ සේවකයන් විසින් සෝමාවතී ජාතික වනෝද්‍යාන ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත්කරමින් සිටින බවයි.

මෙම ස්ථානයට සිදුකර ඇති විනාශය පිළිබඳ රයිගම් පස්යොදුන් දෙකෝරළයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා සෝමපුර ශ්‍රී බෝධිරාජරාමයේ විහාරාධිපති ආයුර්වේද වෛද්‍ය ගනේගොඩ ධම්මකිත්ත හිමියෝ මෙසේ පැවසූහ.

”මේ ස්ථානය බලන්න මම ගියා. ලොකු විනාශයක් කරලා. මාවිල්ආරු සොරොව්ව කොටින්ගෙන් මුදවා ගත්තු දවසේ ඉදලා අපේ ගමේ මිනිස්සු ඔය පන්සල් කන්ද කියන ප්‍රදේශයට මී කඩන්න යනවා. හරකා බාන දිගේලි කරන්න යනවා. නමුත් කිසිම දවසක බෝම්බයක් තිබිලා පුපුරලා නම් නැහැ. දැනන් යුද්ධයත් ඉවරවෙලා අවුරුදු 10කටත් වැඩි කාලයකට පස්සේ තමයි මේ අයට බිම්බෝම්බ මතක් වෙලා තියෙන්නේ. අපේ අහිංසක මනුස්සයෙක් කැලේට ගිහින් දර ටිකක් කඩාගෙන ආවම නඩු දාන වනජීවී දෙපාර්තමේන්තුව අද නිහඬ වෙලා. බෝම්බ ඉවත් කරන්න කියලා සෝමාවතී රක්ෂිතයේ අක්කර සිය ගණනක් කැලේ කපලා එළි කරලා. ඒ අතරේ තමයි මේ සිද්ධස්ථානයත් වනසලා තියෙන්නේ. ඔක්කෝම විනාශ කරලා. වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයක්. මේ තැන විනාශ කරලා තියෙන්නේ බෝම්බ හොයනවා කියන බොරුවකට මුලා වෙලා. මේ පන්සල් කන්ද අපි ආරක්ෂා කරගන්න ඕනෑ මේ විනාශ කරපු අයට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ.

සෝමදාස ගමගේ මහතා (75) මෙසේ පැවසීය

පන්සල් කන්දේ පුරාවස්තු සෑහෙන්න තියෙනවා. මේ කරලා තියෙන්නේ නම් බෝම්බ හොයන දෙයක් නෙවෙයි. වෙන දෙයක්. නැතිව මෙච්චර කාලයක් ඔය කැලේ නොතිබුණු බෝම්බ හොයන්න දැන් හදිසියේ ම වුවමනා වුණේ කොහොමද ? මේ ගැන වහාම පරීක්ෂා කරන්න ඕනෑ. අපේ බෞද්ධ උරුමය අනුරාධපුර යුගයේ හිටපු රජවරු හදපු මේ දේවල් අපි අනාගතය වෙනුවෙන් රැකගත යුතුයි. පරීක්ෂණ පවත්වනවා කියලා දැන් කියලා ටික කාලයක් යනවිට මේ පරීක්ෂණ යට යන්න බැහැ.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආනන්ද විතානගේ මහතාගෙන් විමසූ විට ඒ මහතා කීවේ මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලිසියට පැමිණිලි කළ බවයි.

” මගේ නිලධාරීන් මේ ගැන දැනගෙන තිබුණේ පසුගිය 17 වැනි සඳුදා. ඔවුන් 18 වැනිදා ම එම ස්ථානයට ගියා. ඒ මොහොතේ පුරාවිද්‍යා නිලධාරීන්ට පැය හතරක් යනතුරු ඇතුළුවෙන්නවත් දුන්නේ නැහැ. ස්ථානයට ගිය විට එතැන විනාශකරලා. වටේම ඩෝසර් කරලා තිබුණා. අපි මේ ගැන පොලිසියට පැමිණිලි කළා. ඩෝසර් කරපු පුද්ගලයන් හා ඩෝසර් පවා මේ කැලයේ සතියකට වැඩි කාලයක් තිබුණා. නමුත් පොලිසිය අත්අඩංගුවට ගත්තෙ නැහැ. බෝම්බ හොයන කණ්ඩායම් නිතර නිතර මේ ප්‍රදේශවල පුරාවස්තුවලට හානි කරනවා. අඩුම ගණනේ ඔවුන් මේ වගේ තැනක බේමේබ සඳහා සොයාබැලීම් කරනවානම් අපිට දැනුම් දිය යුතුයි. මේ ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කියා අපි පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”

සේරුනුවර පොලිස් ස්ථානයෙන් මේ ගැන විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ රක්ෂිතයේ ඇතුළත තිබූ සඳකඩපහනක් ඇතුළු පුරාවස්තු කිහිපකට අලාභ කර ඇතැයි පැමිණිල්ලක් තිබෙන බවයි. බෝම්බ ඉවත්කිරීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් බවත් එම සිදුවීම වන අවස්ථාවේ හමුදාවේ අධීක්ෂණය පවා තිබී ඇති බවත් පොලිස් නිලධාරීන් පවසයි. කෙසේ වෙතත් මේ ස්ථානයේ පුරාවස්තු තිබෙන බවට කිසිදු පුවරුවක් හෝ සවිකර නොතිබූ බව ද ඒ නිසා බෝම්බ ඉවත්කරන කණ්ඩායමට එතැන පුරාවිද්‍යා භූමියක් යැයි කියා හඳුනාගත නොහැකිවන්නට ඇතැයි ද පොලිසිය පවසයි. මේ වනාන්තර භූමියේ තිබී බෝම්බ හතක් සොයාගෙන ඇති බව ද පොලිසිය පැවසීය.

කෙසේ වෙතත් මේ ස්ථානය හා ඒ අවට තවදුරටත් ඩෝසර් කිරීම නවත්වන්න යැයි උපදෙස් දුන් බවත් මේ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සේරුනුවර පොලිසිය පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වනාන්තර ඇතුළත ඇති පුරාවිද්‍යා ස්මාරකවල පුවරු සවිකිරීමක් නොකරන බවයි. නමුත් මේ ස්ථානයේ විහාර සංකීර්ණයක නටඹුන් පැහැදිලිව පෙනෙන්නට ඇති බැවින් මේ ගැන නොදැන ඩෝසර් කළා යැයි කිව නොහැකි බව ද ඔවුන්ගේ අදහස වී ඇත.

ප්‍රදේශයේ බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සිදුකර ඇත්තේ මැක් නමැති ආයතනයකි. ඔවුන් ලෝකයේ බෝම්බ ඉවත්කිරීමේ කටයුතු සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර කොන්ත්‍රාත් ලබාගන්නා අතර එය ලෝකය පුරා ප්‍රචලිත ව්‍යාපාරයකි. මේ සම්බන්ධයෙන් විමසීමට අදාල ආයතනය දුරකථනයෙන් සම්බන්ධකර ගත්ත ද ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ගම්වැසියන් පවසන්නේ මොවුන් විසින් ඉවත්කරනු ලබන්නේ කුඩා පීඩන බෝම්බ වන බට්ටයන් නමින් හඳුන්වන බෝම්බ විශේෂය බවයි. ඒවා සොයා ගැනීමට සංවේදී උපකරණ තිබිය දී රක්ෂිත වනාන්තරතුළ විශාල ගස් පවා පෙරළා දමා ඩෝසර් කරන්නේ කවර හේතුවක් නිසාද යන්න සැකයක් පවතින බව ද ගැමියෝ කියති.

-Advertisement-

රජගලතැන්න ලෝක උරුමයක් වෙයි ද ?

0

“ගම අසළ පිහිටි තේක්ක වතත්ක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ. එහි නටඹුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19ක් උසැති මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි.” යනුවෙන් 1959 පුරාවිද්‍යා වාර්තාවක දැක්වේ.

එදා වනයෙන් වැසී තිබුණු රජගල පුදබිම ඉදිරියේ දී ලෝක උරුමයක් වීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල මේ වනවිට සම්පූර්ණ කර එය යුනෙස්කෝ සංවිධානයට යොමු කර ඇත.

ශ්‍රී ලංකාවේ පුදබිම් අතරින් රජගල තැන්න යනු යුද්ධය හේතුවෙන් රටෙන් වසන් වී පැවැති භූමියකි. යුද්ධයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍ය්‍යන අංශයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව කරන ලද ව්‍යාපෘතියකින් රජගල තැන්නේ අතීතය යළි මතුකරගෙන එහි කොටස් රැසක් සංරක්ෂණය කර තිබේ.

රජගල යනු මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිල ආදී වනගත භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී රටපුරා ප්‍රසිද්ධියට පත්ව තිබූ වනවාසී භික්ෂු මධ්‍යස්ථානයකි. වර්තමානයේ රජගල, රජගල තැන්න, රාස්සහෙළ යන නම් භාවිතයේ පැවැතිය ද අතීතයේ මේ ස්ථානයට ගිරිකුම්භීල යන නම භාවිතා කර ඇති බව සෙල්ලිපි සාධක අනුව තහවුරු වේ. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස කුමාරයා ගිරිකුම්භීල විහාරය කරවූ බවට වංශකතා සාධකවලින් මෙන් ම ශිලා ලිපිවලින් ද පැහැදිලි වේ. මෙවැනි ශිලා ලිපි හතක් රජගලින් ලැබී ඇත.

එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ පාලි භාෂාවෙන් කුම්භීල යනු කිඹුලාට කියන නමක් බවයි. ගොනාගොල්ල ප්‍රදේශයේ සිට බලනවිට වැතිරී සිටින කිඹුලකු ලෙසින් අදට ද රජගල කඳුවැටි දර්ශනය වේ. එබැවින් අතීතයේ කිඹුල් කන්ද යන අර්ථය ඇතිව කුම්භීලගිරි යන නම මෙයට භාවිතා කරන්නට ඇති බව මේධානන්ද හිමියයෝ කියති.

සද්ධාතිස්ස රජු දුටුගැමුණු පාලන කාලයේ දී යුව රජු ලෙස දීඝවාපියේ සිටිබව වංශකතාවල දැක්වේ. මේ කාලයේ දී ඔහුගේ පුත් ලජ්ජිතිස්ස රජු මේ විහාරය කරවන්නට ඇති බව පිළිගත හැකි කරුණකි.

රජගල පුද බිමෙහි සීත ලෙන් 25ක් කරවූ බව අතීත වාර්තාවල දක්නට ලැබෙයි. කඳුවැටි හරහා හමා එන සීත සුළඟ ගල්පර අතරින් ගල්ලෙන තුළට හමා ඒමට සළස්වා ලෙන් ඇතුළත උෂ්ණත්වය අඩුකර ඇති ආකාරය අදට ද දැකිය හැකි බව පුරාවිද්‍යාඥයෝ කියති.

මෙහි තිබූ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත්තේ 1935 වර්ෂයේ දී ය. 1950 වර්ෂයේ සිට රජගල භූමියේ තෝරාගත් ස්ථාන කිහිපයක කැණීම් කරමින් පිරික්සුම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොමුවී සිටි බව එහි පැරණි වාර්තාවල දැක්වේ.

රජගල ව්‍යාපෘතියේ උපදේශක මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී ගිරිකුම්භීල විහාරය ඉදිවීමෙන් පසු තවත් සියවස් දහයකට වැඩි කාලයක් එය භික්ෂු වාසස්ථානයක් ලෙස අඛණ්ඩව පැමිණ ඇත බවයි. මේ කාල පරාසය තුළ වරින් වර මුල් ඉදිකිරීම්වලට අමතරව වරින් වර ඇතිවන අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා නොයෙකුත් ඉදිකිරීම් හා නවාංග එයට එකතු කර තිබේ.

පුරාවිද්‍යාඥයන් විසින් මෙම භූමියේ කරන ලද සොයා බැලීම්වලින් පුරාවිද්‍යා ස්මාරක 700කට වැඩි ප්‍රමාණයක් හමුවීමෙන් ම ඒ බව තහවුරු වෙයි. රජගලින් මෙතෙක් හමුවී ඇති ශිලා ලේඛන අතර වැදගත්ම ලේඛනයක් වන්නේ මිහිදු මහ රහතන් වහන්සේගේ සහ ඉට්ඨිය තෙරුන් වහන්සේගේ නම් සඳහන් කර ඇති ලිපියයි. තැනිතලා ප්‍රදේශයේ සිට කඳු මුදුනට නැගෙන විට පැරණි මාර්ග දෙක එකිනෙකට හමුවන තැන පිහිටි ගල් තලාවේ මේ ශිලා ලිපිය දක්නට ලැබෙයි. ඒ ගල්තලාව මත දාගැබ් දෙකක් ද ඇත.

සෙල්ලිපියේ දැක්වෙන්නේ

”යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙර ම) හිදතෙරහ තුබෙ”

“මේ දිවයිනට පළමුවෙන් සමෘද්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි”

එම ලිපිය හේතුවෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ සහ ඉට්ඨිය හිමියන්ගේ ධාතු නිදන් කර මේ ස්තූප දෙක කරවන්නට ඇති බවට විශ්වාසයක් පවතී. 

යුද්ධයෙන් පසු 2012 වර්ෂයෙ සිට වසර පහකට වැඩි කාලයක් රජගල පුරාවිද්‍යා භූමියේ සිදුකළ කැණීම් හා ගවේෂණ කටයුතු තුළින් පොළොන්නරු යුගයට හෝ ඊට පසු රාජ්‍ය සමයකට අයත් කිසිදු ඉදිකිරීමක් හෝ ප්‍රතිසංස්කරණයක් ගැන සාධක ලැබී නැත. අනුරාධපුර යුගය අවසානයේ දී මෙම භූමිය අතහැර දැමීමෙන් පසු මෑතක් වනතුරුම එය වනයෙන් වැසී තිබෙන්නට ඇති බව ඒ අනුව පැහැදිලිය.

එතරම් කාලයක් මහා වනාන්තරයෙන් වැසී මිනිස් වාසයෙන් තොරව පැවතිය ද අනුරාධපුර යුගයේ දී තැනූ බිත්ති හා වහළය තවදුරටත ආරක්ෂා වී තිබූ ගොඩනැගිල්ලක් සොයා ගැනීමට ද පුරාවිද්‍යාඥයෝ සමත්වූහ. වර්ග අඩි 36ක පමණ වූ ගල්වලින් ම තනා ගල් පතුරු දෙකක් සෙවිළි කර තිබූ මේ ගොඩනැගිල්ල භාවනා කුටියක් විය හැකියැයි මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙරට වෛද්‍යවරයකු වූ ආර්.එල්.ස්පිට්ල් සිය වනගත චාරිකාවල විස්තර කර ඇත්තේ මේ ස්ථානය ඔහු සංචාරය කරන කාලයේ වැද්දන් වාසය කරන තැනක් බවට පත්ව තිබූ බවයි. ”දිවුලාන සිටි එකම වැද්දා වන නාගකච්චා ළමා කාලයේ ම රාස්සගලට පැමිණ ගල් ගුහාවක විසූ අතර ඔහුගේ පිරිස ගල් ගුහා හතරක හෝ පහක පමණ විසිරී විසූහ.” ඔහු තබා ඇති මේ සටහන සත්‍යයක් බව සනාථ වන්නේ ගල් ලෙන්වල පසුකාලයක ඇඳ ඇති වැදි චිත්‍ර හමුවීමෙනි. එමෙන්ම ආදි වාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි සිතිය හැකි කෙටේරියක් ද මේ භූමිය ගවේෂණයේ දී හමුවී තිබේ.

වනගතව පැවැති කාලයේ දී මේ භූමිය නිධන් හොරුන්ගේ ද, දඩයම්කරුවන්ගේ ද තෝතැන්නක් බවට පත්ව තිබිණි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි ඇති ස්මාරකවලට බරපතල හානි සිදුවූයේ විසිවන සියවස තරම් මෑථ කාලයේ දී යැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. අතීත රජ දරුවන් තැනූ මේ නිර්මාණයන් වන ප්‍රවාහය විසින් සියවස් දහයකට අධික කාලයක් රැකගෙන සිටිය ද නූතන මිනිසුන් විසින්ම ඒ භූමිය විනාශ කර තිබීම ඛේදජනකය.

මහාචාර්ය හෙට්ටිආරච්චි මහතා මෙසේ පවසයි.

”අපි මේ භූමියේ ගවේෂණ කටයුතු ආරම්භකරන අවස්ථාවේ එහි පැවැති දාගැබ් දෙකම පිහිටි පොළොව මට්ටමෙන් අඩි පහළොවක් විතර යටට හාරා තිබුණා. මේවායේ යම් පූජා වස්තු තිබුණානම් නිදන් සෙවූ පුද්ගලයන් විසින් ඒවා රැගෙන යන්න ඇති. එක් දාගැබක තිබුණා යැයි සිතිය හැකි පළිඟු කරඬුවක කොටසක් දැගැබ් මලුවේ තිබී හමුවුණා. ඒ විතරක් නෙවෙයි මේ භූමියේ සඳකඩපහන්, මුරගල්, ඡත්‍ර, බුදු පිළිම, මල් ආසන සියල්ල කඩා බිඳ දමා පෙරළා තිබුණා. යකුන් නැටූ සොහොන් පිටියක් වගේ. මෙහි හාරා විනාශ කර නොදැමූ එකම ස්මාරකයක් හෝ සොයාගත නොහැකි වුණා.”

2020 අවසන් කිරීමට නියමිතව තිබූ රජගල තැන්න ව්‍යාපෘතිය තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීමට ද නියමිතය. තවදුරටත් එහි කෑණීම් කටයුතු, සංරක්ෂණය කටයුතු, භූමි සැකසුම් මෙන්ම නඩත්තු කටයුතු ද සිදුවෙමින් පවතී.

මේ වනවිට කිලෝ මීටර එකහමාරක් දිගට අතීතයේ ඉදිකර තිබූ පියගැටපෙළ මාර්ගය මුළුමණින්ම සංරක්ෂණය කර අවසන්ය. මේ භූමියේ වර්ග කිහිපයක ලෙන් දක්නට ඇති අතර මේ අතරින් ලජ්ජිතිස්ස රජුගේ ‘ශානිකා’ නමැති බිසව විසින් සාදවන ලද ලෙන සංරක්ෂණය කර අවසන්ව ඇත. එම ලෙන ඇතුළත නිදන් සොයන්නන් විසින් විශාල වළක් හාරා තිබූ බැවින් මුලින්ම මේ ලෙන සංරක්ෂණය කළ බව පුරාවිද්‍යාඥයෝ කියති. පැරණි බැමි සැළකිය යුතු ප්‍රමාණයක් ඉතිරිව තිබූ ලෙනක් හමුවූ අතර එහි බිත්ති ඇලවී විනාශ වී යාමට ආසන්නව තිබූ බැවින් එම ලෙන ද සංරක්ෂනය කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම කඳු මුදුනේ තිබූ ගල් උළුඅස්ස ද තවදුරටත් එසේම තිබුණහොත් පෙරැළී යා හැකි බැවින් එය ද සංරක්ෂණය කිරීමට කටයුතු කර ඇත.  

”රජගල තැන්නෙන් හමුවූ කුඩා දාගැබ් දෙකත් අපි සංරක්ෂණය කළා. මේ දාගැබ්වල පැරණි හැඩය බුබ්බුලාකාරයි. එහි විශේෂත්වය වන්නේ පැරණි යූප ගලයි ඡත්‍රයයි තිබෙන ආකාරයෙන් දැන් සංරක්ෂණය කර තිබෙනවා. ඒ දාගැබ් දෙක අතරින් එක දාගැබක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබූ ධාතූන් තැන්පත් කළා. දැන් එතැනට බෞද්ධයන් පුද පූජා සිදුකරනවා. දාගැබ වටේ ඇති ප්‍රාකාරයත් සංරක්ෂණය කර අවසන්. ඒ වගේම බෝධිඝරයත් අතීත භික්ෂූන් වහන්සේලා පිරිකර ඇතුළු ප්‍රත්‍යය බෙදා ගන්නා ලහබත්ගෙය නමැති ගොඩනැගිල්ලත් අපි සංරක්ෂණය කළා. “

මෙම පුදබිමේ හමුවී ඇති ගොඩනැගිලි අතර සුවිශේෂීතම ගොඩනැගිල්ලක්වන්නේ ගල්කණු 132කින් සමන්විත ඕවලාකාර හැඩය ගන්නා සුවිසල් දාන ශාලාවයි. දැනට මෙරට හමුවන ඕවලාකාර හැඩැති එකම දානශාලව වන මෙය දැන් සංරක්ෂණය කර තිබේ. එය තනි මහල් ගොඩනැගිල්ලක් බව ද හෙට්ටිආරච්චි මහතා පැවසීය.

දාන ශාලාව ආසන්නයේ පිහිටි ස්වාමීන්වහන්සේලා ස්නානය කළ ජන්ථාගාරය ද පොහොය ගෙය ද සම්පූර්ණයෙන් ම සංරක්ෂණය කර තිබේ. එමෙන්ම ජන්ථාගාරය අසළ ම ඇති කුඩා ගොඩනැගිල්ලක් සොයාගත් පුරාවිද්‍යාඥයෝ එය සංරක්ෂණය කළ ද මෙතෙක් එය හඳුනාගැනීමට හැකි වී නැත. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ ගොඩනැගිල්ල අතීතයේ ගබඩාවක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි.

මෙම භූමියේ දක්නට ඇති දොරටු පැන් මඩුව ද විශේෂිත ඉදිකිරීමකි. විශාල ගල් පාත්තර දෙකක සහිත සම්පූර්ණ ගොඩනැගිල්ල දැන් සංරක්ෂණය කර ඇවසන්ය. කන්ද මුදුණේ සිට ස්වභාවිකව පැමිණෙන ජල මාර්ගයකින් මේ ගල් පාත්තර දෙක පිරෙන්නට සළස්වා තිබී ඇති ආකාරය අපූරුය. පුරාවිද්‍යාඥයන් පවන්නේ වසර මුළුල්ලේ ම ජලයෙන් අඩුවක් නොමැති මෙහි ජලය දැඩි වියළි කාලයේ දී පවා සිසිල් බවයි.

මෙම ගොඩනැගිලිවලට අමතරව මීටර 100ක් දිගැති බැම්ම සහිත වැව සංරක්ෂණය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට පසුව පත්වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලය බිහිකළ සෝරත හිමිගේ නමට උපහාරයක් ලෙස දැන් එම වැව සෝරත ජලාශය ලෙස හඳුන්වන අතර මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල වූ රුපියල් ලක්ෂ 30ක මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙනි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ පුද බිමේ ඉහළ කොටසේ නිදන් සොයන්නන් විසින් සම්පූර්ණයෙන් ම විනාශ කර තිබූ පිළිමගෙයක් හමුවූ බවයි. එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ බව ද ඔවුහු කියති. මේ අතර අටපට්ටම් හැඩැති ගොඩනැගිල්ලක් ද මෙහි හමුවී තිබේ. ඉතා දුර්ලභ හැඩයක් ගන්නා මේ ගොඩනැගිල්ල ධාතු මන්දිරයක් විය යුතුයැයි ද ධාතු මන්දිරය සහ පිළිමගෙය යන දෙකම දෙමහල් ගොඩනැගිලි ලෙස ඉදිකර තිබූ ඒවා බව ද තහවුරු වී ඇත.

සංරක්ෂණය කළ පියගැට පෙළෙහි එක් ස්ථානයක ඇළට ඉහළින් ඇති ගල් පාලම ද සුවිශේෂී නිර්මාණයකි. එය මුල් ස්වරූපයෙන් ම පැවති බව හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙයට අමතරව පුද බිමේ ඇති මහ ලෙන නමින් හඳුන්වන ලෙනක් ඉන්දියාවේ පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් හා එක්ව කැණීම් කර තිබේ. එහි අරමුණ වූයේ මේ භූමියේ ප්‍රාග් ඓතිහාසික මානව සාධක තිබේ ද යන්න සොයා බැලීමයි.

” අපිට මේ කැණීම් වලින් පැරණි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ගල් ආයුධ රාශියක් හමුවුණා. ඒ වගේම ඔවුන් ආහාරයට ගත් සතුන්ගේ අස්ථි කොටස් දක්නට ලැබුණා. මේ අවශේෂ විද්‍යාත්මක කාල නිර්ණය සඳහා යොමු කර තිබෙනවා. අදින් වසර 3000-7000ත් අතර කාලයේ මේ භූමියේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තිබෙන්නට ඇති විශ්වාස කළ හැකියි. ” හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ පිළිමගෙය, ධාතු ගරය සහ ගඩොලින් ඉදිකර ඇති මීටර පහක පමණ විශ්කම්භයෙන් යුතු කුඩා දාගැබක් කැණීම් කර සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙයට අමතරව රජගල ඓතිහාසික භූමිය නැරඹීමට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය යටතේ ම යටිතල පහසුකම් රැසක් සපයා ඇත. පියගැට පෙළ සංරක්ෂණය කර ඇත්තේ ඔවුන්ගේ පහසුව වෙනුවෙනි. ඊට අමතරව රථ ගාල් දෙකක් ද ඉදිකර ඇති අතර වැසිකිළි පහසුකම් පහළ භූමියේ හා ඉහළ භූමියේ සකසා තිබේ. එමෙන්ම රජගල පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානක් ද පිහිටුවා ඇති අතර එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට විනාඩි 10ක දැනුම්ත් කිරීමේ වීඩියෝවක් නැරඹීමට ද අවස්ථාව උදාවේ.

රුපියල් ලක්ෂ 90ක වියදමින් පුදබිම සඳහා විදුලි සැපයුම් ලබා දී ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් වෙනුවෙන් නවාතැන් පහසුකම් ද ඉදිකර තිබේ.

මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට අමතරව ජයවර්ධනපුර විශවවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි,  මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා, මහාචාර්ය පද්මසිරි කන්නන්ගර මහතා, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සුවිශේෂී මෙහෙවරක නිරතවෙති. 

අනුරාධපුරය, පොළොන්නරුව වැනි පැරණි රාජධානිවල පැවැති දැවැන්ත ආරාම සහිත පුදබිම්වලට අමතරව අනුරාධපුර මුල් යුගයේ පටන් මෙරට වෙනත් ප්‍රදේශවල ද සුවිසල් සංඝාවාස ඉදිවූ බවට මනා සාක්ෂියක් වූ රජගල ඓතිහාසික භූමිය ඉදිරියේ දී ලෝක උරුමයක් ලෙස පිළිගන්නේ නම් එය මෙරට පිහිටි නම වැනි ලෝක උරුමය වනු ඇත.

-Advertisement-

සෝමාවතිය වරද්දාගෙන. නියම සෝමාවතිය වෙල්ගම් වෙහෙර

0

කාවන්තිස්ස රජුගේ සහෝදරිය වූ සෝමා දේවිය විවාහ වී සිටි ගිරිඅබා නම් ප්‍රාදේශීය රජු විසින් සේරුවිල කෙලවරෙහි පැරණි සෝම නුවර බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරවා ස්තූපයක් කරවූ බව වංශකතා සාධකයන් හි සඳහන් වේ.

කෙසේ වෙතත් මේ ස්තූපය නිවැරදිව හඳුනාගැනීමට අපහසු වූ අතර වර්තමානය වනවිට බොහෝ දෙනකු විශ්වාස කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සෝමාවතී පුදබිම ගිරිඅබා රජු සහ සෝමාදේවිය විසින් බුදුන්ගේ දකුණු දළදාව තැන්පත් කරවා ඉදිකරන ලද චෛත්‍යය සහිත භූමිය විය හැකි බවයි.

නමුත් එම දාගැබ සොයාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ කාලයේ පටන් එය බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ දාගැබ විය නොහැකියැයි පුරාවිදයාඥයන් අතර මතයක් තිබිණි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1954 දී පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙසේ දක්වා තිබේ.

”තමන්කඩු දිසාවේ සෝමවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය. මේ දාගැබෙහි දළදා නමක් තුන්වෙනි සියවසින් පෙර කාලයක දී නිදන් කරන ලද බැව් බොහෝ අය විශ්වාස කරති. එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේය.” (1954 වර්ෂය පිළිබඳ පුරාවිදු අධිකාරි තැන ගේ පාලන වාර්තාව IV කොටස – අගෝස්තු 1955 ආණ්ඩුවේ නියමයෙන් මුද්‍රණය කරන ලදි. A.S.C.A.R 1954

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ ද පොළොන්නරුවේ වර්තමාන සෝමාවතී විහාරය දකුණු දළදා නිදන් කළ විහාරය විය නොහැකියැයි පවසති.

”දැනට පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෝමාවතී චෛත්‍යය ලෙස හඳුන්වන ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සාමාජිකයන් ගැන සඳහන් වෙයි. එක් ලිපියක ස්ථාන නාමය දක්වා ඇත්තේ ‘පජින නකල අරබ (ප්‍රාචීන නාගාරාමය)’ යන නමිනි. තවත් ලිපියක ‘මණි අගිය රජමහ විහර (මණිඅග්ගික රාජ මහා විහාරය)’ වශයෙන් දක්වා ඇත. මෙයින් පැරණිම ලිපිය ක්‍රිස්තු වර්ෂ 9-21ත් අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ කාලයට අයත්වන අතර එම ලිපිය අනුව ආරාමය කරවා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ නමුත් වංශකතාවල නොදැක්වෙන නකල නම් කුමාරයෙක් විසිනි. සෝමා දේවිය නමින් කර වූ සෝමාවතී විහාරය මෙය නම් එය කරවා සියවස් දෙකක් ගත වෙන්නටත් පෙර එය අමතක කර දැමීම‍ හෝ නම වෙනස් වීමට හෝ හේතුවක් තිබිය යුතුය. එබඳු හේතුවක් ද නොපෙනන බැවින් හා ග‍ඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගත්ත ද නියම සෝමාවතිය මෙය නොවන බව පැහැදිලි වේ.”  (සැඟවුනු ඓතිහාසික පුදබිම්-2014, පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණසූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි – පිටු අංක 34)

සී.ඩබ්ලිව්. නිකොලස් විසින් පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය ග්‍රන්ථයේ ද දක්වා ඇත්තේ වර්තමානයේ සෝමාවතී පුදබිම ලෙස හැඳින්වෙන ස්ථානය සැබෑ සෝමාවතිය නොවන බවයි. ඒ මතය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ලංකා ශිලා ලේඛන සංග්‍රයේ විස්තරයකින් අනුමත කර ඇත.

දකුණු දළදාව නිදන් කර ගිරිඅබා රජු සහ සෝමා දේවිය විසින් ඉදිකරන ලද දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ ඉදිකරනු ලැබූවකි. වත්මන් සෝමාවතී දාගැබ නකල කුමරු විසින් ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ඉදිකරන ලද්දක් යැයි සෙල්ලිපිවලින් තහවුරු වී ඇත. එබැවින් වත්මන් සෝමාවතිය දකුණු දළදාව තැන්පත් කළ දාගැබ යැයි මෙතෙක් තහවුරු වී නැත. 

පුරාවිද්‍යා මතය එසේ වුව ද බෞද්ධ ජනතාව වර්තාමනයේ සෝමාවතී දාගැබ ලෙස හැඳින්වෙන චෛත්‍යයේ බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර ඇතැයි විශ්වාස කළහ.

උතුරු නැගෙනහිර පළාත් හි පැවැති යුද්ධය අවසන්වීමෙන් පසු නැගෙනහිර පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල යටතේ පසුගිය 2015 වර්ෂයේ දී පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලද විල්ගම් වෙහෙර එදා ගිරිඅබා රජු විසින් බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර ඉදිකරන ලද චෛත්‍ය විය හැකියැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

මේ අනුව නැවතත් සෝමාවතී දැගැබෙහි දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇතැයි තිබූ මතය අභියෝගයට ලක්වේ.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී මහින්ද නම් තෙරනමක් තවත් තෙරුන්වහන්සේලා සැට නමක් සමඟ වාසය කළ භූමියේ දකුණු දළදාව තැන්පත් කර සෝම විහාරය තැනවූ බව පාළි ධාතුවංශය, සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලි නම් ග්‍රන්ථවල දැක්වේ. ධාතු වංශයේ සඳහන් වන්නේ සේරුවිල කෙ‍ළවර පැරණි සෝම නුවර, ගිරිඅබා රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර ස්තූපයක් කරවූ බවයි. ඒ අනුව සේරුවිල කෙළවර සෝම නුවර පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතය වී ඇත. සේරුවිලේ ජලය දකුණු දිශාවෙන් ඇතුළු වී උතුරු දිශාවෙන් පිටවන බැවින් සේරුවිල කෙළවර යනු උතරු දිශාව විය හැකියැයි විද්වත්හු කියති.  

ධාතුවංශයේ දැක්වෙන්නේ සේරුවිල මංගල මහා සෑය ඉදිකළ කාවන්තිස්ස රජු එය සඟ සතු කිරීම සඳහා සෝම නුවර සිට පෙරහැරකින් සේරුවිල ස්තූපය දක්වා සන්ධ්‍යා භාගයේ ඇතුන් පිරිවරා පැමිණි බවයි. රජු ඇඳිරිවැටීමට පෙර පැමිණි බව ද එහි දැක්වේ. මේ අනුව සෝම නුවර සේරුවිලට සමීපව පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ ඓතිහාසික සාධක අනුව දකුණු දළදාව නිදන් කළ දාගැබ පිහිටා තිබිය යුත්තේ සේරුවිලට උතුරින් ඒ ආසන්න ප්‍රදේශයකය.

නෙළුම්ගම පිහිටි විල්ගම් වෙහෙර යනු සේරුවිල උතුරු දිශාවෙන් හමුවන එකම බෞද්ධ පුදබිමයි. එහි සිට සේරුවිල මංගල මහා සෑයට ඇත්තේ සැතපුම් දෙකක පමණ දුරකි. මේ අනුව අනුමාන කළ හැක්කේ පැරණි සෝම නුවර ලෙස හැඳින් වූ ස්ථානයේ පිහිටියා යැයි ඓතිහාසික කතාවන්හි සඳහන් දාගැබ විල්ගම් වෙහෙර විය හැකි බවයි.

විල්ගම් වෙහෙර පිහිටා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් බහුලව සිටින තෝප්පූර් නමැති නගරය ආසන්නයෙනි.  පැරණි වංශකතාවල ඇති භූගෝලීය සාධක මේ දාගැබ හා මනාව සමපාත වන අතර වාග් විද්‍යාඥයන්ගේ මතය වන්නේ අතීත සෝමපුරය පසුව සෝම්පුර් ලෙස හැඳින්වීමට පටන්ගෙන එය මුස්ලිම් ජාතිකයන්ගේ ආගමනයත් සමග තෝම්පූර් වී වර්තමානයේ තෝප්පූර් ලෙස විකසනය වී ඇති බවයි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා මෙසේ පැවසීය.

”නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්‍ය උරුම ස්ථාන ගවේෂණය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ දී විල්ගම් වෙහෙර පුද බිමේ කැණීම් කටයුතු ආරම්භ කළා. අක්කර හතලිස් නමයකින් යුක්ත පෞරාණික නටඹුන් සහිත ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සහිත නටඹුන් රැසක් පිහිටා තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව කරගෙන යන මේ කැණීම්වලින් ඉතාමත් වැදගත් තොරතුරු රැසක් මතුවී තිබෙනවා. මෙය ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකළ දාගැබක් බවත් පසුව අවස්ථා ගණනාවක දී ම මේ දාගැබ වරින් වර සංරක්ෂණය කර තිබෙන බවත් පැහැදිලි වනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුවිය යුතුයි.”

පුරාවිද්‍යාඥයන් පවසන්නේ විල්ගම් වෙහෙර පුදබිමේ කරන ලද කැණීම්වලින් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හමුවූ බවයි. එමෙන් ම‍ මෙරට චෛත්‍ය ඉදිකළ මුල් කාලයේ චෛත්‍යවල දක්නට ලැබුණු ඡත්‍ර සහ යූප ගලක් ද දැගැබේ කැණීම්වලින් සොයාගෙන ඇත. එමෙන් ම දාගැබ යුග කිහිපයක දී ම ප්‍රතිසංස්කරණය කළ බව ට සාධක හමුවී තිබේ. කෙසේ වෙතත් දාගැබ මේ වනවිට යලි ප්‍රතිසංස්කරණය කර කොත් පළඳවා පූජාවන්ට සුදුසු ආකාරයට සකසා තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා විල්ගම් වෙහෙර පිළිබඳ මෙසේ පැවසීය.

”සේරුවිල හා සෝම නුවර කියන ප්‍රදේශය රෝහණ රාජධානියේ ඉතා වැදගත් ප්‍රදේශයක් වුණා. කාවන්තිස්ස රජුගේ කාලයේ පටන් මේ ප්‍රදේශය ඉතා දියුණුව පැවති බවට සාධක තිබෙනවා. අපි දැනට දාගැබේ කැණීම් කටයුතු අවසන් කර තිබෙනවා. මළුව හා ඒ වටා තිබෙන ප්‍රාකාර කොටස් සංරක්ෂණය කිරීමට අවශ්‍යයි. මේ පුද බිම අවස්ථා කිහිපයක දී ම ප්‍රතිසංස්කරණය කර තිබෙන නිසා ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පොළොන්නරු යුගය දක්වාම ඉදිකිරීම් කළ අවදීන් හමුවෙනවා. අපි මේ අතරින් කවර අවධියක් තහවුරු කරනවා ද කියා තීරණය කළ යුතුයි. අපේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ අවසාන අවධිය සංරක්ෂණය කිරීමයි.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් පවසන්නේ යුද්ධය පැවැති කාලයේ දී උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ ගවේෂණය කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි. නමුත් ඉන් පසු එම ප්‍රදේශවල ගවේෂණ කටයුතු ආරම්භ වීම හේතුවෙන් මෙතෙක් හෙළි නොවූ ඉතිහාසයක් අනාවරණය කර ගැනීමට හැකියාව ඇති බවත් ඇතැම් විට වැරදි ලෙස හඳුනාගත් ස්ථාන නිවැරදි කිරීමට අවස්ථාව ලැබෙන බවත් පුරාවිද්‍යාඥයෝ කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙසේ කීවේය.

” 2013 වර්ෂයේ දී අපි සැළසුමක් සකස් කළා යුද්ධය පැවැති ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු සහ සංරක්ෂණ කාර්යයන් සිදුකරන ආකාරය පිළිබඳ. ඒ අනුව නැගෙනහි පළාතේ තිබූ විල්ගම් වෙහෙර කියන මේ ස්ථානය ගැනත් අවධානය යොමුවුණා. එදා සකස් කළ සැළැස්මට අනුව පුරාවිද්‍යා ගවේෂණ කටයුතු 2015 වර්ෂයේ දීආරම්භ කළා. මේ දාගැබ වටා ඉතාමත් සුවිශේෂී ඇත් පවුරක නෂ්ඨාවශේෂ අපිට හමුවුණා. මේ ඇත්පවුර අනුව අපිට පැහැදිලියි මේ දාගැබ ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය වූවක් බව. නමුත් පසු යුගවල දී කරන ලද වෙනස්කම් නිසා ඇත්පවුරට හානි සිදුවෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකළ චෛත්‍යවල කොත්කැරැල්ල වෙනුවට තිබූ යූප ගල සහ ඡත්‍ර අපට මේ දැගැබේ මළුවෙන් හමුවී තිබෙනවා. ඡත්‍ර හතරක කෙටස් ලැබුණා. මේවා පසුකාලීනව කඩා වැටීමේ දී මළුවට පතිත වී තිබෙනවා. ඒ වගේම පුන්කලසක හා ඡත්‍රයක සළකුණක් සහිත පැරණි සිරිපතුල් ගලක් ඇතුළු සිරිපතුල් ගල් කිහිපයක් ද හමුවී තිබෙනවා. දාගැබ් මළුවෙන් ගඩොල් ස්ථර 16ක් හමුවෙනවා. ඉතා දියුණු වාස්තු විද්‍යා ඉදිකිරීමක් බව අපට පැහැදිලියි. මේ ලක්ෂණ අනුව ස්ථිරවම කිව හැකියි මේ ස්තූපය ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකිරීමක් බව. අනුරාධපුර යුගයේ මැද භාගයේ සහ පොළොන්නරු යුගයේ සහස්සමල්ල රජුගේ කාලයේ කාසි හමුවීමෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු එම යුගවල සිදුවී තිබෙන බවත් තහවුරු වෙනවා. “

කෙසේ වෙතත් මේ දක්වාම මෙම විහාරස්ථානය ඉදිකරන ලද්දේ ගිරිඅබා රජු විසින්යැයි තහවුරු වූ සෙල්ලිපි සාධක ලැබී නැත. ඉදිරියටත් මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් මෙම සාධක තවදුරටත් සනාථ කරගත හැකි වේයැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

විල්ගම් වෙහෙර යනු මෙරට වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන වත්මන් සමාජයෙන් වසන් වී විනාශ වී යා හැකි බවට ඇති හොඳම උදාහරණයකි. අද වනවිට මේ ස්ථානයේ කරන ලද ගවේෂණ කටයුතු හේතුවෙන් ඉතිහාසයේ වැරදී ගිය ස්ථානයක් නිවැරදි කරගත හැකි මට්ටමට පර්යේෂකයන් උනන්දුවෙමින් තිබුණ ද මෙතැන සදාකාලයට ම කාලයේ වැලි තලාවෙන් වැසී විනාශ වී යාමට ඉඩ තිබිණි.

මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අවශේෂ ඇති බව මුල්වරට සොයා ගන්නා ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාඅර්ජිත මහාචාර්ය විමල් වි‍ජේරත්න මහතා විසිනි. මෙරට ධාතු වංශය පදනම් කරගනිමින් සිය ආචාර්ය උපාධිය කරන ලද විජේරත්න මහතා 1970 දශකයේ දී ධාතු වංශයෙන් පෙන්වාදෙන ස්ථාන පිළිබඳ ගවේෂණයේ දී මේ ස්ථානය සොයාගෙන තිබිණි.

මහාචාර්ය විජේරත්න මහතා ඒ පිළිබඳ මෙසේ පැවසුවේය.

”සේරුවාවිලේ කෙළවර සෝම නගරය ඉදිකළ බවත් එ් ආසන්නයේ බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර සෝම විහාරය කරවූ බවටත් ඇති වංශකතා සාධකය අනුව මා පර්යේෂණය කරද්දී ගුවන් ඡායාරූප හා 1923 සැකසූ පැරණි සිතියම් උපයෝගී කරගෙන කල සොයා බැලීම්වල දී මා දුටුවා සේරුවාවිල උතුරු කෙළවරේ උසැති කන්දක් වැනි ස්ථානයක් තිබෙනවා. මෙතැන බ්‍රිතාන්‍යයන් විසින් මෙතැන ඓතිහාසික ස්ථානයක් බව ලකුණු කර තිබුණා. මෙතැන පරීක්ෂා කළ මා මගේ නිබන්ධනයේ සඳහන් කළා බුදුන්ගේ දකුණු දළදාව නිදන් කළ ස්ථානය මෙය බවත් එය පුරාවිද්‍යාත්මක කැණීම්වලින් තහවුරු කරගත යුතු බවත්. එදා එතැනට නමක් තිබුණේ නැහැ කඳු ගැටයක් වගේ තිබුණේ ගරා වැටුණු දාගැබක්. සියඹලා ගහක් ඒ මත තිබුණා. එහි යූප ස්ථම්භය මා දුටුවා. අනුරාධපුර මුල් යුගයේ ගඩොල් තිබුණා. අක්කර පනහක පමණ භූමියේ පංචාරාමයක නටඹුන් තිබුණා. පියගැට පෙළ කොටස්, ගල්කණු, සඳකඩ පහන්, කොරවක්ගල්, මුරගල් ආදී නටඹුන් තිබුණා. එක් තැනක පොළවේ අඩක් වැළලී ගිය බුදු පිළිමයක කොටස් තිබුණා. මේ ස්ථානයේ සිටියේ මැටි ගෙදරක පදිංචිව සිටි එක පවුලක් විතරයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේවා සියල්ල විනාශ වෙලා.”

ඔහු පවසන්නේ ධාතු වංශය ඇතුළු වංශකතා සාධකයන්හි සඳහන් තොරතුරු හා භූ විද්‍යාත්මක ලක්ෂණත් වාග් විද්‍යාත්මක සාධකත් අනුව මේ ස්ථානය සෝම විහාරය පිහිටි ස්ථානය බවයි. අතීතයේ සෝම නුවර දැන් තෝම්පූර් වී ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

උතුරු නැගෙනහිර පළාත්හි පැවැති වර්ගවාදී යුද්ධය හේතුවෙන් කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පදිංචිව සිටියහ. අවට ප්‍ර‍දේශයේ ඔවුන්ගේ නිවාස ඉදිවූ අතර 2010-2011 වර්ෂ‍යේ දී ප්‍රාදේශීය සභාවේ සිටි මන්ත්‍රීවරයකුගේ ද මැදහත්වීමෙක් එක්තරා පුද්ගලයකු‍ මෙහි ඇති පස් කන්දක් කපා ඉවත්කිරීමට අවසර ඉල්ලන ලදී. එවකට සේරුවිල ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ පියදාස මහතා මේ ගැන සොයා බැලීමට පරිපාලන ග්‍රාම නිලධාරීවරයා වූ ඒ.ඩබ්ලිව්.ජයවර්ධන මහතාට පැවරුවේය. එය මහා විනාශයක් වැළකී යාමට හේතුවක් විය. ස්ථානය පිළිබඳ සොයා බැලූ ජයවර්ධන මහතාගේ නිගමනය වූයේ මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් බවයි. ඔහු වහාම ප්‍රාදේශීය ලේකම්වරයාට මේ බව වාර්තා කර සිදුවන්නට ගිය මහා විනාශය වළක්වාලූයේය. ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා සිටින ලදී.

මේ අතර මහාචාර්ය විමල් විජේරත්න මහතාගේ පර්යේෂණ නිබන්ධනය ද ග්‍රන්ථයක් ලෙස එළිදැක්විණි. සැඟවී තිබූ උරුමය පිළිබඳ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද අවධානය යොමුවිය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ එතැනට පැමිණි භික්ෂූන් වහන්සේලා සේරුවාවිල කෙ‍ළවරෙහි තෝප්පූර් ආසන්න මේ ස්ථානය බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළ බව මහාචාර්ය වරයා පවසයි. විලක් ආසන්නයේ පිහිටි ස්ථානයක් බැවින් එයට විල්ගම් වෙහෙර යන නම අලුතෙන් භාවිතයට ගෙන ඇත. එය පුරාණයේ සිට පැවත ආ නාමයක් නොවේ.

එවකට පරිපාලන ග්‍රාම නිලධාරීවරයා වූ ඒ.ඩබ්ලිව්.ජයවර්ධන මහතා මෙසේ කීවේය.

”එදා මේ ස්ථානය පස් කන්දක් කියා කපා ඉවත් කළානම් වෙන්නේ ඓතිහාසික උරුමයක් අපිට අහිමිවීම. අද මෙතැන පුදබිමක් බවට පත්ව තිබීම ලොකු සතුටක්. සැගවී තිබූ ඉතිහාසයක් මතුවෙලා තියෙනවා. මේ ස්ථානයේ පදිංචිව සිටි අය ඉවත්කිරීමේ දී ජාතිවාදී ගැටලු ඇති නොවන ලෙස බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න සිදුවුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිංහල සහ මුස්ලිම් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගිහින් පදිංචිව සිටින පිරිස් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරු අරගෙන ඔවුන් ඉවත්කිරීමට කටයුතු කළා. මේ සඳහා වර්තමාන ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.ජයරත්න මහතාත් ඉති විශාල කැපකිරීමක් කළා. මෙය ඇත්තටම සාමූහික ජයග්‍රහණයක්. දැන් පුරාවිද්‍යා උරුමය මතුකරමන් තිබෙනවා. ඒ ගැන විශාල සතුටක් තිබෙනවා.”

මේ වනවිට විල්ගම් වෙහෙර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිවූ පුද බිමක් බව තහවුරු වී තිබේ. කාවන්තිස්ස රජුගේ සොහොයුරිය සෝමා දේවිය හා ඇගේ සැමියා ගිරිඅබා රජු විසින් බුදුන්ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඉදිකරන ලද සෝම විහාරය දැයි යන්න තහවුරු කිරීමට තවදුරටත් එම ස්ථානයේ පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතී.

-Advertisement-

මුහුදු මහා විහාරයේ වත්මන් තත්ත්වය

0

”රහතන් වහන්සේ මැරවීම නිසා උදහසට පත් වූ දෙවියෝ ඒ රජුගේ රට මුහුදෙන් යට කළහ. මුහුද ගොඩ කෑම වළක්වන්නට මිනිස් බිල්ලක් දිය යුතු විය. රජතුමාගේ දූ කුමරිය වූ දේවි තමාගේ රට වෙනුවෙන් මුහුදට බිලි වන්නට කැමැත්ත ප්‍රකාශ කළාය. රජතුමා කුමරිය රන් සැලෙක හිඳුවා එහි රජ දුව යැ යි ලියා රන් සැල මුහුද දැමූ විට මුහුද ගො කෑම නැවතුණේ ය. මුහුදේ පාවෙමින් ගිය ඒ රන් සැල රුහුණු රට ලංකා විහාරය අසලට ළඟා විය. රන් සැල පිළිබඳ පුවත ඇසූ කාවන්තිස්ස රජතුමා ඒ පිපළිබඳ ව විමසා බලා එහි සිටි කුමරිය මෙහෙසි බැව්හි අභිෂේක කළේය. විහාර අසලින් ගොඩ බට හෙයින් දේවී යන නමට ”විහාර” යන්න ද එක් වී විහාරදේවී යැ යි ප්‍රසිද්ධ වූවා ය. ශ්‍රේෂ්ඨත්වයට පත් වීමෙන් පසු මහා යන්න ද එක්වී විහාර මහා දේවී නම් වූවා ය. “

මහාවංශයේ මේ ආකාරයෙන් සටහන්ව ඇත්තේ කැලණිතිස්ස රජුගේ දූ කුමාරිය මාගම රාජධානියේ කාවන්තිස්ස රජුගේ අග මෙහෙසිය වූ කතාන්තරයයි. ඇය මුහුදේ පාවී පැමිණ ගොඩබට තැන වර්තමානයේ හඳුන්වන්නේ මුහුදු මහා විහාරය නමිනි.

ඇතැමුන් පවසන්නේ මේ ස්ථානය පිහිටා ඇත්තේ වර්තමාන හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දේ බවයි. නමුත් ඒ මතය ඉදුරාම ප්‍රතික්ෂේප කරන පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල  හිමියන් පවසන්නේ දැනට පොතුවිල් නගරය ආසන්න මුහුදට මායිම්ව පවතින ”මුහුදු මහා විහාරය” නමැති ස්ථානය විහාර මහා දේවිය ගොඩබැස්සා යැයි කියන ස්ථානය බවයි. නමුත් මේ බව සනාථ කිරීමට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් හමුවී නැතත් ඒ වටා ගෙතුණු ජනප්‍රවාද හා ඒ ජනප්‍රවාදයන් සනාථ කළ හැකි පද නිරුක්ති සහිත ග්‍රාම නාමයන් මෙන්ම ස්ථාන නාමයන් රැසක් ද හමුවෙයි.

”විහාර මහා දේවිය ගොඩබැස්සේ මාගම රාජධානියේ තෝලක කියලා පෙදෙසක පිහිටා තිබූ ලංකා විහාරයට බව මහාවංශ ටීකාවක සඳහන් වෙනවා. තෝල්ක කියන වචනයට තොට්ටලතීරය යැයි කියා තිබෙනවා තොට්ටල පසුව තොටලු වෙලා ඉන් පසු එය තොටුවිල් වෙලා පොතුවිල් වූ වා යැයි අපට භාෂාව පරිනාමය වන ආකාරය අනුව සැළකිය හැකියි. දැන් අපි මුහුදු මහා විහාරය කියන්නේ මෙතැනට.” මේධානන්ද හිමියෝ කියති.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය ඇතුළු මේ සියලු විහාර එකිනෙකට සම්බන්ධ විහාර සංකීර්ණයක නෂ්ඨාවශේෂ බවයි. මේවා ක්‍රිස්තු පූර්ව යුගයේ එනම් ක්‍රිස්තුපූර්ව දෙවැනි ශතවර්ෂයේ දී පමණ ඉඳිකර පසුව නවාංග එක්වූ ස්ථාන විය හැකි බවයි

මුහුදු මහා විහාරය සොයා පොතුවිල් ප්‍රදේශයට ගිය පළමු පිරිස අතර පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. ඒ හිමියෝ තමන් එදා ලැබූ අත්දැකීම විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

” 1959 වර්ෂයේ දී මා එහි යනවිට මේ විහාරය පිහිටි තැන තිබුණේ  පොල්වත්තක්. එය ඇත්තටම වැලි කන්දක් වගේ තමයි පෙනුණේ. එතැන කටු කම්බිවලින් වටකර තිබුණා. ඉඩමට යන්න පාරක් තිබුණෙත් නැහැ. මුහුදු වෙරළේ කිලෝ මීටර එකහමාරක් පමණ දුරට තැන් තැන්වල නටඹුන් විසිරී තියෙන ආකාරය මම එදා දැක්කා. කම්බිවලින් වටකරලා තිබුණු තැන ගල් කණු කිහිපයක් දක්නට ලැබුණා ඒ වත්තේ හිමිකරුවා මේ ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම පිළිගත්තේ නැහැ. මට එදා පුරාණ චෛත්‍යයක නෂ්ඨාවශේෂ, ගල් පඩි, ගල් කණු විශාල ප්‍රමාණයක් මුහුදු වෙරළ දක්වාම විසිරී තිබෙන ආකාරය නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. “

මේ තොරතුරු සමග කොළඹට පැමිණි මේධානන්ද හිමියෝ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හමුවී ඒ ගැන පැවසූහ.

මේධානන්ද හිමියන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හමුවන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු මහා විහාරය හා ඒ අවට භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එම ගැසට් නිවේදනය 1951 ජනවාරි මස 26 වැනි දින 10205 ලස නිකුත් කරන ලද්දකි. ඒ අනුව පොතුවිල් මුහුදු මහා විහාරය හා ඒ අවට අක්කර 72යි රූඩ් 03යි පර්චස් 13ක් පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වේ.

නමුත් ස්ථානය ගැන වැඩි සොයාබැලීමක් කර තිබුණේ නැත. හිමියන් ලබාදුන් මග විස්තර අනුව ගොස් එම ස්ථානයේ කැණීම් ආරම්භ කළේය.

මහාචාර්ය පරණවිතාන මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ කැණීම්වලින් වර්තමානයේ මුහුදු මහා විහාරයේ දක්නට ලැබෙන බොහෝ දෑ මතුකර ගැනීමට හැකියාව ලැබිණි. වැලි කන්ද හාරා එම ස්ථානයේ කැණීම් නිසි පරිදි විද්‍යානුකූළ ක්‍රමවේදයකට සිදුකිරීම අදට ද පහසු කටයුත්තක් නොවේ. නමුත් මේ වනවිට මතුකරගෙන ඇති නෂ්ඨාවශේෂ අතර පිළිමගෙය පැහැදිලිව හඳුනාගෙන ඇති ඉදිකිරීමකි.

චතුරශ්‍රාකාර ලෙස ඉදිකර ඇති මෙහි පිටත බිත්තිය ගඩොලින් තනා ඇති අතර ගල්කණු රැසක් එහි දක්නට ලැබේ. නැගෙහිර දෙසට මුහුණ ලා ඉදිකර ඇති පිළිමගෙට පිවිසෙන ද්වාරයේ මුරගල් යුගලක් ද අදට ද දක්නට ලැබෙයි. ඇතුළත බුදු පිළිමයක් හා ඒ දෙපස බෝසත් පිළිම දෙකක් ද දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් පවසන්නේ දැනට මතුකරගෙන ඇති නටඹුන් අනුව මේ විහාරස්ථානය ක්‍රිස්තු වර්ෂයට පෙර ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී පමණ ඉදිවන්නට ඇතැයි සාධක ඇතත් බෝසත් පිළිම ඉදිවන්නට ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වල මෙරටට ඇතිවූ මහායාන බුදු දහමේ බලපෑම හේතුවෙන් බවයි.

පිළිමගෙයට මීටර කිහිපයක් දකුණු දෙසට වන්නට ගල්කණු 16ක් සහිත කුඩා ගොඩනැගිල්ලක් සේ දිස්වෙයි. එහි බොහෝ කොටසක් තවමත් ඇත්තේ වැලි පව්වෙන් වැසී ගොසිනි. එය පොහොය ගෙයක් බවට විශ්වාසයක් පවතී.

විහාර සංකීර්ණයට පිවිසෙන ස්ථානයේ ම පොකුණක් ඇති බව පෙනෙන්නට තිබුණ ද එය මේ දක්වාම ක්‍රමවත් ලෙස කැණීමක් සිදුකර නැත.

පිළිම ගෙය පිහිටි තැන සිට මීටර 200ක් පමණ මුහුද දෙසට ගමන් කළ විට වැලිකඳු ආශ්‍රිතව වැල්ලෙන් වැසීගිය නටඹුන් දැකගන්නට ලැබෙයි. මෙය නිසැක ලෙසම චෛත්‍යයක නටඹුන් වල ඉහල කොටස් බව පැහැදිළි කරුණකි. මෙවැනි වක්‍රාකාර ගොඩනැගිලි දෙකක අවශේෂ එතැන තිබේ.

මෙම ස්ථානයේ මුහුදේ ගිළුණු පුරාවිද්‍යා නටඹුන් ඇතැයි විවිධ විශ්වාසයන් පවතී. යුද්ධය අවසන් වූ විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ‍ඒ පිළිබඳ අවධානය යොමු කර මුහුදු මහා විහාරය ආසන්න මුහුදේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉදිකිරීම් තිබේ ද යන්න පිළිබඳ අවස්ථා කිහිපයක් ම අධ්‍යයනය කර තිබේ.

මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ පැවසීය

” අපි මේ ස්ථානයේ මුහුදේ අධ්‍යයනයක් කළා. ඇතැම් අයගේ අදහසක් තිබුණා මදක් එපිටින් රළ ක‍ැඩෙන ස්ථානයක පැරණි ඉදිකිරීමක නටඹුන් තිබෙනවා කියා. නමුත් එතැනත් පරීක්ෂා කළා. එතැන තිබෙන්නේ කොරල් පරයක්. මුහුදේ කිසිම තැනකින් පුරාවිද්‍යාත්මක අවශේෂ සොයාගන්න අපට නොහැකි වුණා.”

කාලය ගතවෙද්දී ඒ ස්ථානයේ සිදුවූ වෙනස්කම් රැසකි.

පුරාවිද්‍යා පනත අනුව මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබුණ ද 1965 මැයි මස 28 වැනිදා අක්කර 30යි රූඩ් 03යි පර්චස් 13යි ලෙස නැවත ප්‍රකාශයට පත්කර ඇත. ඉන් පසු 1980  දි මුහුදු මහා විහාරයට අයත් භූමිය අක්කර 20ක් ලෙස ද 1990 දී එය අක්කර 15යි රූඩ් 03යි පර්චස් 13ක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. 2005 වර්ෂයේ දී මේ භූමිය අක්කර 07 දක්වා කුඩා කර ඇත.

එසේ වරින් වර විවිධ නිලධාරීන්ගේ සහ දේශපාලන නායකයන්ගේ වුවමනාව මත මුහුදු මහා විහාරයට අයත් භූමිය කුඩා කරමින් එම ඉඩමේ කොටස් අවට පදිංචි පිරිස් අතර බෙදා දී ඇති අත්තේ ජයභූමි ඔප්පු පවා ප්‍රධානය කරමිනි.

1980 දී මේ ස්ථානයට වැඩම ක තංගල්ලේ සිරි සුනන්ද හිමියන් ආවස ගෘහයක් තනා එහි සිටිය ද විවිධ පාර්ශවවලින් එල්ල වූ කෙණෙහිලිකම් හේතුවෙන් විහාරය හැරදමා යාමට සිදුවිය. ඉන් පසු තංල්ලේ ජීවානන්ද සහ තංගල්ලේ සද්ධානන්ද යන ස්වාමීන් වහන්සේලා දෙනම වරින්වර වැඩ වාසය කළහ. ඉන් පසු කතරගම සිරිරතන හිමියෝ මේ ස්ථානයට වැඩකර ත්‍රස්තවාදී කලබල පැවැති කාලයේ පවා මේ පුද බිම රැකගනිමින් වාසය කළහ. ප්‍රදේශවාසීන්ගෙන් හිමියන්ට වරින්වර විවිධ තර්ජනය එල්ල වූ අතර ඇතැම් අවස්ථාවල දී පහරදීම් ද සිදුවිය.

මේ අතර මුහුදු වහා විහාරයට තිබූ ප්‍රවේශ මාර්ගය ද අවට පදිංචිකරුවන විසින් අල්ලාගෙන වසා දැමුණු අතර විහාරස්ථානයට වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහවතුන්ට එහි පැමිණීමට නොහැකිව විවිධ අකටයුතුකම් පවා විඳින්නට සිදුවූ බව වාර්තා වෙයි. සිරිරතන හිමියන් මේ කරදර විදිමින් සිටිය දී රෝගාතුර වී 60 වසරක් ආයු වළඳා 2010 වසරේ දී අපවත්වී වදාළහ.

ඉන් අනතුරුව වරකාපොළ ඉන්දසිරි හිමියෝ මුහුදු මහා විහාරයේ භාරකාරත්වයට පත්වූහ. විහාර භූමියේ නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා 2010 වර්ෂයේ කටයුතු යොදන ලද අතර ඒ සඳහා මුල්ගල් තැබීමට වළවල් කපද්දී ගල්කණු කිහිපයක් හමුව තිබේ. මෙයින් පෙනෙන්නේ මුහුදු මහා විහාරයේ වැලි තලාවෙන් වැසීගිය තවත් නටඹුන් රැසක් තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉන්දසිරි හිමියන් පැමිණි පසුව ද අවට පදිංචිකරුවන්ගෙන් එල්ලවූයේ දැඩි පීඩනයකි. 2012 වර්ෂයේ දී පූජා භූමියේ තිබූ  පැරණි දාගැබක් අසළ වැලි කන්ද ඩොසර් කිරීමෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. විහාරස්ථානයට තිබූ පැරණි ප්‍රවේශමාර්ගය අවට පදිංචිකරුවන් විසින් බලෙන් අල්ලාගෙන ඇති බැවින් දැන් ඒ වෙනුවෙන් වෙනත් මාර්ගයක් ඉදිකර තිබේ.

විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි හිමියෝ මෙසේ පැවසූහ.

” මේ විහාරස්ථානයට හැමදාම එල්ලවෙන්නේ කෙනෙහිළිකම්. කෙටසක් බලෙන් අල්ගෙන තව කොටසක් වරින් වර රජයේ නිලධාරීන් විසින්ම විවිධ දේශපාලන වුවමනකම්වලට මේ ඉඩම් අවට පදිංචිකරුවන්ට බෙදා දීලා. අපිට මෙතැන ආගමික ප්‍රශ්නයක් නැහැ. මුහුදු මහා විහාරය කියන්නේ බෞද්ධ උරුමයක් කිව්වට මේක ජාතික උරුමයක්. සියලු ජාතීන් සියලු ජනවර්ග අපේ රටේ උරුමය ආරක්ෂා කරන්න ඕනෑ. ඒක පාලකයන්ගේත් වගකීමක්. මෙහි සම්පූර්ණ වගකීම තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ අය මේවා ගැන සොයා බැලිය යුතුයි. නමුත් කිසිම වගකිව යුතු නිලධාරියෙක් මෙතැන මොනවාද වෙන්නේ කියලා බලන්න පැත්ත පළාතක එන්නේ නැහැ.”

විහාරධිපති හිමියන් පවසන්නේ දැනට මුහුදු මහා විහාරයට අයත්ව ඇත්තේ අක්කර දෙක තුනක් යැයි විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ගෙන ගිය ද තවමත් අක්කර 14ක භූමියක් මුහුදු මහා විහාරයට වෙන්ව පවතින බවයි. නමුත් මේ සියල්ල අවට වැසියන් විසින් නිතරම අල්ලා ගැනීමට මාන බලන බවත් ප්‍රාදේශීය සභාව පවා වැලි වැටිය ඉවත්කිරීමටත් ඒ ස්ථානයේ නිවාස ඉදිකිරීමටත් සැළසුම් කර තිබූ බව ද හිමියෝ පවසති.

1951 වර්ෂයේ දී පුරාවිද්‍යා රක්ෂිතයට වෙන්කළ භූමියේ මේ වනවිට පුද්ගලික පදිංචිකරුවන්ගේ නිවාස 450ක් පමණ ඉදිකර තිබේ. 1965 සිට දිගටම මේ නිවාස ඉදිකරමින් පවතී. ගැටලු සහගතම තත්ත්වය වන්නේ පුරාවිද්‍යා පනත රටේ ඇති සියලුම අණ පනත්වලට වඩා ඉහළින් තිබිය දී පවා රාජ්‍ය නිලධාරීන් විසින්ම මේ භූමියේ ඉඩම් අක්කර 11ක් ජය භූමි හිමිකම් පත්‍ර මගින් ඇතැම් පවුල්වලට ලබා දී තිබීමයි.  ඒ 2005 වර්ෂයේ දී ය. 

ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ සිංහල බෞද්ධයන් මේ රටේ බහුතරයක් සිටිය ද සුළු ජාතීන් බහුතරයක් වී ඇති ප්‍රදේශයක තමන්ට නීතියෙන් හෝ රැකවරණයක් නොලැබෙන බවයි.

”අපි සහජීවනය ගැන ආගමික සංහිදියාව ගැන කතා කරනවා. නමුත් මේ ප්‍ර‍දේශයේ අධිකරණයකට ගියාම සිංහලෙන් නඩුවක් අහන්නේ නැහැ. අපි සියලු ලේඛන දෙමළ භාෂාවට පරිවර්ථනය කරලා දෙන්න ඕනෑ. ඊට පස්සේ අපි නොදන්නා දෙමළෙන් නඩුව යනවා. මේවා කාට කියන්න ද ? එක වතාවක් මේ අනවසර ඉදිකිරීම්වලට විරුද්ධව වෙරළ සංරක්ෂණය නඩු පැවරුවා. අපිට උසාවියෙන් කිසිම දැනුම්දීමක් ආවේ නැතිව නඩුව කතා කරලා සාක්ෂි කාරයන් ඉදිරිපත්වුණේ නැහැ කියා නඩුව ඉවතට දැම්මා. නඩුව ප්‍රතික්ෂේප කරලා 14 වැනි දවසේ මිනිස්සු ඉඩම නැවත බලෙන් ඇල්ලුවා. නීතිඥයෝ එයාලට කියා තිබුණා ලු නඩුව විසිවෙනවා. ඊට දවස් 14කට පස්සේ ඉඩම් අල්ලගන්න කියලා. ඔන්න ඕකයි මෙහේ තත්ත්වය. “

මුහුදු මහා විහාරස්ථානය හා ඒ අවට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් සිටීමත් ඔවුන්ගෙන් පුරාවිද්‍යා උරුමයට සිදුවන බලපෑමත් හේතුවෙන් පසුගිය දා වත්මන් ආරක්ෂලේකම්වරයාත්, හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.

එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරය ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදා භට කණ්ඩායමක් යෙදවිණි. එමෙන්ම පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ මුහුදු මහා විහාරය සහිත භූමියට අක්කර 30 ක් වෙන්කර ගැසට් කරන බවයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ “වෙරළ සංරක්ෂණ කලාපයේ අනවසර ඉදිකිරීම් හා වැටවල් ඉදිකර තිබෙනවානම් අපට ඒවා ඉවත්කරන්නත් එවැනි දේ කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නත් පුළුවන්. අපි පසුගිය කාලයේ මේ එවැනි අයට විරුද්ධව නඩු පැවරුවා. නමුත් සාක්ෂි කාරයන් ආවේ නැහැ කියා උසාවිය නඩුව ඉවත දැම්මා. උසාවියෙන් සාක්ෂි කරුවන්ට සිතාසි යවා තිබුණේ නැහැ.”  යනුවෙනි.

විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් පවසන්නේ 1951 වර්ෂයේ දී අක්කර 72කට වැඩි ප්‍රමාණයක් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබිය දී අලුතෙන් එය අක්කර 30 ක් වැනි කුඩා ප්‍රමාණයකට සීමාා කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බවයි. අනවසර පදිංචිකරුවන්ට කිසිදු ඉඩම් හිමිකමක් නොමැති බැවින් ඔවුන්ට වෙනත් තැනකින් ඉඩම් ලබා දී අක්කර 72ක භූමිය පුරාවිද්‍යා රක්ෂිතයට සම්පූර්ණයෙන් ම වෙන්කර ආරක්ෂාව යොදන ලෙස ද ඒ හිමියෝ ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් වමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

”අපි බදාදා (20) මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. 1951 දී අක්කර 72ක් වෙන්කර තිබුණත් එය 1965 දී අක්කර 30ක් ලෙස වෙනස් කර තිබෙනවා. මිනුම්පති දෙපාර්තමේන්තුවෙත් සහාය ඇතිව මේ ස්ථානයේ අලුතෙන් මැනීම් කටයුතු සිදුකරලා පුරාවිද්‍යා ස්මාරක තිබෙන සමස්ථ ප්‍රදේශය ම වෙන්කර හඳුනාගෙන නිසි පරිදි සැළසුම්ගත කරලා පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස ගැසට් කරනවා. මේ ගැසට් කිරීම කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඉතිහාසයේ වැරදි සිදුවෙලා තියෙන්න පුළුවන්. අපි ඒවා නිවැරදි කරගත යුතුයි. අනවසරයෙන් පදිංචි වී සිටින අයට ගතයුතු ක්‍රියාමාර්ග රජයෙන් ගනීවි. මේ ස්ථානය ගැන සොයා බලන්නේ නැහැ කියන එකනම් පිළිගත නොහැකියි. එතැන අපේ කාර්යාලයක් නොතිබුණත් ආරක්ෂකයෙක් පවා රඳවා තිබෙනවා.”

මුහුදු මහා විහාරයේ අප දන්නා හා දකින නටඹුන්වලට වඩා බොහෝ නෂ්ඨාවශේෂ මුහුදු වැලි කන්දෙන් වැසී ඇතිවාට සැකයක් නැත. ඒ වැලිවලින් වැසීගොස් ඇත්තේ විහාර සංකීර්ණයක නටඹුන් බව විද්වතුන්ගේ අදහසයි. එබැවින් මේ භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බව තහවුරු කර එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කඩිනමින් ආරම්භ කළහොත් වැළලීගිය අපූරු ඉතිහාසයක් මතුකරගත හැකිවනු ඇත. 

-Advertisement-

බඩ ඇතුලේ පියයුරු හදන කරාපිටියේ අමුතු සැත්කම්

0

කිරි බී වැඩෙන සත්ත්ව විශේෂයක් වූ මිනිස් සත්ත්වයාගේ ළදරුවන් පෝෂණය කිරීම සඳහා විකසනය වූ ස්ථන ග්‍රන්ථි සහිත කාන්තාවන්ගේ පියයුරු තරම් සාහිත්‍ය කරුවන්ගේ වර්ණනාවන්ට ලක්වූ වෙනත් ශරීර අවයවයක් නොමැති තරම්ය. නමුත් වර්තමානයේ කාන්තාවන් වැඩි දෙ‍නෙකුට ඉක්මණින්ම අහිමි වන්නේ ද පියයුරුය.

එයට හේතුවක් වී ඇත්තේ කාන්තාවන් විශාල පිරිසක් පියයුරු පිළිකාවලට ගොදුරුවීමයි. ‍කාන්තාවන් අතර සුලබව දැකිය හැකි පියයුරු පිළිකාවල ප්‍රතිඵලයක් වන්නේ ඔවුන්ගේ පියයුරු ඉවත් කර ජීවිතය බේරාගැනීමට කටයුතු කිරීමිය. මෙය කාන්වාන්ට මුහුණ දීමට සිදුවන ඉතා කණගාටුදායක තත්ත්වයකි.

පියයුරක් හෝ පියයුරු දෙකම හෝ නොමැතිව සමාජයට මුහුණ දීමට බොහෝ කාන්තාවන් අකමැති වෙති. විශේෂයෙන් ම තරුණ වියේ දී ම පිළිකා හේතුවෙන් පියයුරු ඉවත්කිරීමට සිදුවීම ඇතැම් කාන්තාවන්ට පිළිකාව සුව වුව ද ජීවිත කාලය ම මානසික පීඩනයකට ලක්ව දිවිගෙවීමට සිදුවන කරුණක් බවට පත්ව තිබේ.

එවැනි ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාන්තාවන් වෙනුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය පියයුරු නැවත සැකසීමේ ප්ලාස්ටික් සැත්කම් ආරම්භ කර තිබේ.

ප්ලාස්ටික් සැත්කමක් සිදුකරන්නේ අඩු වී තිබෙන හෝ නැතිවී යන පටක හා අවයව යළි සකස් කිරීම සඳහාය. හදිසි අනතුරු හේතුවෙන් අහිමිවන අවයව, පිළිකා හේතුවෙන් ඉවත්කිරීමට සිදුවන අවයව, පිලිස්සීමෙන් විකෘතිවන සිරුරු කොටස්, ශල්‍යකර්ම හේතුවෙන් ඉවත්කරන සිරුරු කොටස් හා උපතින්ම විකෘති වී පිහිටා ඇති සිරුරු කොටස් යළි සැකසීම ප්ලාස්ටික් සැත්කම්වල දී සිදුකරනු ලබයි.

යම් කාන්තාවකගේ පියයුරු ඉවත් කිරීමට සිදුවුවහොත් ඊට පිළියම් ලෙස සිදුකරනු ලැබුවේ ඒ සඳහා සිලිකන් ආදේශක යොදා පියයුරු සැකමයි. නමුත් එය එතරම් සාර්ථක කාර්යයක් වූයේ නැත. එමෙන්ම උදරයේ හා පපුවේ පිටපස මාංශ පේෂි කොටසක් යොදාගනිමින් ද පියයුරු සැකසීම සිදුකෙරිණි. එවැනි සැත්කමකට භාජනය වන කාන්තාවන්ට හර්නියා වැනි අතුරු ආබාධ ඇතිවීම බහුලවීම හේතුවෙන් එලෙස පියයුරු සැකසීම ද එතරම් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැණුනේ නැත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ‍ශල්‍ය වෛද්‍ය ඒකකය පසුගිය දා පියයුරක් ඉවත්කළ තරුණියකට නව පියයුරක් සැකසීමේ සැතකමක් සාර්ථකව සිදුකළේ මෙරට කාන්තාවන් සැමට සුබ ආරංචියක් ගෙන එමිනි.

මේ සැත්කමට භාජනය වූයේ 37 හැවිරිදි වියේ පසුවන ගුරුවරියකි. ඇගේ දකුණු පියයුරෙහි ඇති වූ පිළිකාවක් හේතුවෙන් කරාපිටිය රෝහලේ දී එම පියයුර සම්පූර්ණයෙන් ම ඉවත්කිරීමට නියමිතව තිබිණි. පිළිකා ශල්‍ය වෛද්‍ය ජයමාල් ආරියරත්න මහතා එම සැත්කම කිරීමට කටයුතු සූදානම් කළ අතර ඔහුගේ දැනුම්දීම මත ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න මහතා ඇයට නව පියයුරක් සැකසීමේ කාර්යය භාරගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න මහතා මෙසේ කීවේය.

” කාන්තාවකගේ පියයුරක් ඉවත් කරනවා කියන්නේ ඇයට ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්. සමාජයට මුහුණ දීමට පවා එවැනි කාන්තාවන් මැළිකමක් දක්වනවා. ඒ සඳහා පිළියමක් ලෙස අපි තීරණය කළා මේ නව සැත්කම සිදුකරන්න. පිළිකාව පියයුරෙන් ඔබ්බට පැතිරී නැතිනම් ඉවත්කරන පියයුර වෙනුවට නව පියයුරක් බද්ධ කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙවැනි සැත්කමක් කරාපිටිය රෝහලේ සිදුකළ පළමු අවස්ථාව. අප මේ සඳහා සූදානමින් සිටිය දී මේ තරුණ කාන්තාව ඒ සඳහා ඇගේ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. අපි මෙහි දී සිදුකළේ ඇගේ පියවුර ඉවත් කළ වහාම උදරයෙන් පිටත සම සමඟ ලබාගත් මේද ‍තට්ටුවක් බද්ධ කර නව පියයුරක් සැකසීම. මේ සැත්කම ඉතා සංකීර්ණයි. ඒ වගේම ප්‍රවේශමෙන් කළ යුතුයි. ඉවත්කළ පියයුර හා සමාන ආකාරයෙන් සැකසිය යුතු වෙනවා. දැන් එම සැත්කම සාර්ථක වී තිබෙනාව. ඉදිරියේ දී මෙවැනි සැත්කම් කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකිරීමට හැකියාව තිබෙනවා. එය කාන්තාවන්ට සුබදායී පණිවිඩයක්.”

වෛද්‍යවරු පවසන්නේ මෙලෙන නව පියයුරක් සකසන්නේ නම් එය එම සැත්කමට භාජානය වන කාන්තාවගේ ම පටක යොදා සැකසීම වඩාත් සුදුසු බවයි. එහි දී ලෝක‍යේ වඩාත්ම පිළිගන්නා ක්‍රමය වන්නේ උදරයේ සම සහිතව මේද පටක කොටසකින් පියයරු සැකසීමේ සැත්කමයි. කරාපිටියේ දී සිදුකර ඇත්තේ එවැනි සැත්කමකි. මේ ආකාරයේ සැත්කමක් කළ නොහැකිනම් පමණක් උදරයේ සහ පපුවේ ඇතුළත පටක යොදාගෙන පියයුරු සැකසීමේ පෙර පැවැති ක්‍රමය හා සිලිකන් යොදා පියයුරක් සැකසීමේ සැත්කම් ක්‍රමය භාවිතා වේ. මේ අනුව මෙරට කාන්තාවන්ට ලෝකයේ හොඳම පියයුරු සැකසීමේ සැත්කම් ක්‍රමය කරාපිටියේ දී සිදුකර ගැනීමේ පහසුකම උදාවී ඇත.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේෂරී ද සිල්වා මහත්මිය මෙම තරුණ කාන්තාව නිර්වින්දනය කිරීමෙන් පසු ඇගේ දකුණු පියයුර ඉවත්කිරීමේ සැත්කම විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයමාල් ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි. ඉන් අනතුරුව පියයුරු බද්ධ කිරීමේ සැත්කම ආරම්භ කෙරිණි. මාසයක පමණ කාලයක සිට සිදුකරන ලද පූර්ව සැළැස්මට අනුව ඇගේ උදරයේ පිටත සම ද සහිතව මේද තට්ටුවෙන් ප්‍රමාණවත් තරම් කොටසක් ප්ලාස්ටික ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් ඉවත් කෙරිණි. ඉන් අනතුරුව එම කොටස් ‍ඇගේ ඉවත් කළ දකුණු පියයුර තිබූ ස්ථානයේ නව පියයුරක් ලෙස සකස් කෙරිණි. උදරයේ මේද කොටස් ඉවත්කළ ස්ථානය ද මසා දැමිණි. මේ සැත්කම සඳහා පැය 10ක පමණ කාලයක් ගතවූ බව‍ වෛද්‍යවරු කියති.

පැය 12ට වැඩි කාලයක් නිර්වින්දනය වී සිටි තරුණිය සිහිලැබූ පසු වාට්ටුවට ගෙන ආවාය. ඇය ක්‍රමයෙන් පූර්ණ සුවය ලැබූ අතර ඇගේ උදරයේ දක්නට ලැබුණේ සිසේරියන් සැත්කමක දී සිදුකරන කැපුමක් වැනි තුවාලයක් පමණි. පියයුර සැකසීමේ දී යොදා තිබූ මැහුම් තුවාල ද ඉක්මණින්ම වියලී ගිය අතර දින හතකට පසු ඇය සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගියාය.

සැත්කම සිදුකළ විශේෂඥ විජේමාන්න මහතා පවසන්නේ නිර්මාණය කළ පියයුර ද ඇගේ පෙර තිබූ පියයුර ප්‍රමාණයටම සැකසූ බවයි. නමුත් කාන්තාවකගේ පියයුර ඉතා දැඩි සංවේදී ප්‍රදේශයක් වුව ද අලුතෙන් සකසන ලද පියයුරට ඇත්තේ සාමාන්‍ය ස්පර්ශ දැනීමක් පමණක් බවත් ඔහු පවසයි.

මේ සැත්කම සඳහා විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න, වෛද්‍ය තුෂාර රාජකරුණා, වෛද්‍ය තරිඳු වි‍ජේරත්න, වෛද්‍ය සුපුන් මධුරංග, වෛද්‍ය කසුන් සේනානායක, වෛද්‍ය අමන්දා දන්තනාරායන, වෛද්‍ය සිවරාජ් අගිලන් යන මහත්ම මහත්මීහු දායක වූහ. එමෙන්ම ඒ සහ බී ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරී ජී.කේ.ගුණපාල මහතා ද දැක්වූ දායකත්වය අතිමහත්ය.

Diep free flap Brest reconstructions නමින් හඳුන්වන මෙම සැත්කම් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පියයුරු පිළිකා හේතුවෙන් පීඩාවිදින කාන්තාවන්ට සුබදායී පණිවිඩයක් වනු ඇත.

-Advertisement-

ලෝකයේ හරිත වැස්ම වැඩිවෙලා

0

මිහිතලය උණුසුම් වෙමින් පවතින්නේ යැයි ද මේ සඳහා හේතු වී ඇත්තේ දැවැන්ත වනාන්තර විනාශය යැයි ද පරිසරවේදීන් ඇතුළු ගහ කොළ සතා සීපාවාට ආදරණය කරන පුද්ගලයන් පැවසුව ද නාසා ආයතනයේ වාර්තාවකින් කියැවෙන්නේ අදින් වසර 20කට තිබූ මිහිතලයට වඩා වර්තමානයේ මිහිතලයේ තුරු වැස්ම වැඩිවී ඇති බවයි. කෙටියෙන් කියන්නේ නම් එදාට වඩා අද ලෝකය හරිත ලෝකයක් බවට පත්ව ඇත.

මේ වෙනසට හේතුව වී ඇත්තේ චීනයේ සහ ඉන්දියාවේ ගස් සිටුවීම වැඩිවීමයි.

ලෝකයේ ජනගහනය වැඩිම රටවල් දෙක වූ චීනයත් ඉන්දියාවත් පසුගිය දශක දෙකතුළ දී ගස් සිටුවීමේ වැඩසටහන් විශාල ප්‍රමාණක් ක්‍රියාත්මක කිරීම  ඔවුන්ගේ ආර්ථික වාසි සඳහා ඉඩම්, ජලය ඇතුළු ස්වභාවික සම්පත් පරිහරණයට දැකවන කැමැත්තට පටහැනිව කටයුතු කිරීම බව නාසා ආයතනය පෙන්වවා දෙයි.

කෘෂිකර්මාන්තව මූලික කරගනිම්න් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර ඒ් සඳහා තාක්ෂණය යොදා ගැනීම ද පුළුල්ව සිදුකෙරේ. මෙහි දී වැඩිම වේගයකින් පැල සිටුවීම සිදුකරන්නේ ඉන්දියාවයි. ඔවුන් ලක්ෂ අටකට වැඩි පිරිසක් පැය 24ක් ඇතුළත ගස් මිලියන 50ක් සිටුවමින් ලෝක වාර්තා පවා තැබීමට පෙළැඹී ඇත.

1990 වර්ෂයේ සිට වර්තමානය දක්වා ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප නව තාක්ෂණය අනුව සංසන්දනය කිරීමෙන් සොයාගත් මෙම දත්ත නාසා ආයතනය විසින් නේචර් සස්ටර්නබිලිටි සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත. පර්යේෂකයන් පවසන්නේ පෘථිවියේ හරිතකරණය සැලකිය යුතු ලෙස ඉහළයාමට හේතුව පැහැදිලි බවයි. නමුත් දිනෙන් දින උණුසුම් වෙමින් පවතනි ග්‍රහලෝකයක් වන පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හෝ තෙතමනය සහිත දේශගුණයක් හේතුවෙන් තවත් ශාක වැඩිවීමට ඉඩ තිබේ ද යන්න ඔවුන්ට පැහැදිලි නැතැයි ද මෙම පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන්නේ චීනයේ හා ඉන්දියාවේ අසාමාන්‍ය ලෙස හරිතකරණය ඉහළගොස් ඇති ආකාරයයි. හරිතකරණය මූලික වශයේන දේශගුණික විපර්යාසයන් සහ උණුසුම්වන ග්‍රහලෝකයේ වෙනස්වන පරිසර පද්ධතියේ ප්‍රතිචාරයක් නම් මෙලෙස ශාක සිටුවීම දේශසීමාවලට පමණක් සීමා නොවිය යුතුය. එමෙන්ම පර්යේෂකයන් පවසන්නේ වඩා වේගයෙන් හරිත බවට පත්කළ යුත්තේ ග්ලැසියර දියවෙමින් පවතින උතුරු රුසියාව වැනි ප්‍රදේශ බවයි.

නාසා ආයතනය නිකුත්කළ සිතියම මගින් ලොව පුරා සාපේක්ෂ හරතකරණය සහ දුඹුරු පැහැය පෙන්වයි. කෙසේ වෙතත් වෘක්ෂලතාදිය අවම මට්ටමක තිබූ රටකට එම ප්‍රතිශතය වැඩි කර වනාන්තාර විනාශය අවම කර හරිත දේශයක් බවට පත්කරගැනීමේම අවස්ථාව වැඩිපුර තිබේ.

චීනය සහ ඉන්දියාව යන රටවල් 1970 සහ 80 දශකවල මහා පරිමාණ වනාන්තර විනාශය කරා ගමන් කරමින් නාගරික සංවර්ධනය, ගොවිතැන සහ කෘෂිකර්මාන්තය සඳහා වනාන්තර එළි පෙහෙළි කළේය. දැන් එම රටවල් දෙකම තමන් එදා කරන ලද වරද නිවැරදි කරගනිමින් සිටියි.

අධික වායු දූෂණයෙන් පීඩා විඳින ඉන්දියාව හා චීනය 90 දශකයේ දී වායු හා පාංශු දූෂණය අවම කිරීමටත් දේශගුණික විපර්යාසයන්ට ඒරෙහිව සටන් කිරීමත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නට විය. මෙහි ප්‍රතිඵලය අද නාසා ආයතනය ප්‍රකාශයට පත්කළ වාර්තාවෙන් පැහැදිලි වෙයි.

-Advertisement-

නාඩි බලා ලෙඩ කියන ඩිජිටල් යන්ත්‍රයක් ශ්‍රී ලංකාවෙන්

0

වෙද ගෙදරට ආ රෝගියාගේ අත අල්ලාගත් වෙද මහත්තයා මොහොතක් නිසොල්මන්ව සිටියි. දැහැනකට සම වැදුණාක් මෙන් සිටි වෙද මහත්තයා තම මුඛයේ රැඳි බුලත් කෙල පිඬ පඩික්කමට දමා රැල් බුරුල් ඇරියේය.

“හදවතේ තත්ත්වයනම් ඒ තරම් හොඳ නෑ ආයිබෝං. ඒ වගේම පෙනහලුවල සෙම පිරිලා. මේකට මම හොඳවයින් කසාය වඩි දෙක තුනක් දෙඤ්ඤංකෝ.”

මේ වෙද ගෙදර වෙද මහත්තයාගෙන් ඇසෙන කතාවයි. තමන් හමුවට පැමිණෙන කාගේත් ලෙඩ ගැන ඔහු කියන්නේ අතේ නාඩි බැලීමෙනි. කිසිදා උපකරණයක් භාවිතා කර ලෙඩ රෝග සොයා බැලීමක් නොකරන වෙද මහත්තයාගේ රෝග විනිශ්චය ටක්ටෙටම හරි ගියේය.

මෙය පුදුමයකි. පරම්පරාවෙන් උරුම වූ ශිල්පීය දැනුම තම පියාගෙන් හෝ මුත්තාගෙන් ඉගෙන ගන්නා වෙද මහත්තයා අපූරුවට තවත් පරම්පරාවකට ඒ දැනුම උරුම කරයි. මේ දැනුම නවීන තාක්ෂණික ක්‍රමෝපායයන් ඔස්සේ එක තැනකට රැස්කර එයට වඩාත් කාර්ක්ෂමතාවක් දිය හැකිනම් එහි විශ්වාසනීයත්වය සුරක්ෂිත කළ හැකිනම් මේ දැනුම හා හැකියාව මහඟු සම්පතක් වනු ඇත. ලෝකයේ සියලු රෝගීන්ට වඩාත් පහසුවක් වනු ඇත.

දැන් එය යථාර්ථයක් වී තිබේ.

ඒ අපේ ම පර්යේෂකයන් පිරිසකගේ නොපසුබස්නා උත්සාහයක් හේතුවෙනි.

මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉංජිනෙරු ශිෂ්‍යන්ට පැවරෙන අවසන් වසර ව්‍යාපෘතියක් සඳහා සිසුන් පිරිසක් ඉහත කී පාරම්පරික දැනුම විද්‍යාත්මක ක්‍රමවේදයකට භාවිතා කළ හැකි දැයි සොයා පරීක්ෂණයක් දියත් කළේය. ඔවුන්ට මේ වෙද මහත්වරු කරන කියන දේ පිළිබද ඇසීමෙන් හා දැකීමෙන් අත්දැකීම් තිබුණ ද ඒ සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් තිබුණේ නැත.

මෙම නවෝත්පාදන කණ්ඩායමේ ඉංජිනේරු හේමින්ද ජයවීර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.

”අපේ රටේ පරණ මිනිස්සු මේ ලෙඩ හඳුනාගත්ත ආකාරය නවීන විද්‍යාවට උකහාගන්නේ කෙසේ ද කියා අපිට සොයා බැලීම අවශ්‍ය වුණා. පැරණි වෙද මහත්වරු නාඩි අල්ලා බැලීමෙන් සාර්ථකව රෝග හඳුනාගන්නවා. මෙහි යම් විද්‍යාත්මක සත්‍යයක් තිබිය යුතුයි. ඒ අනුව අපි වෛද්‍යවරු කණ්ඩායමක් සමඟ වෛද්‍ය විද්‍යාත්මක කරුණු සාකච්ඡා කළා. එහි දී තේරුම්ගත්තු දෙයක් තමයි රුධිර සංසරණ පද්ධතියේ යම් වෙනසක් වූ විට එය දැනෙන්නේ ධමනි සහ ශිරාවල ඇතුබිත්තියට. ඒවා ඇතුළු බිත්තියේ තුවාල, කොලෙස්ටරෝල් බැඳීම වැනි දේ දක්වා වෙනස් වනවා. මේ වෙනස දැනෙන්නේ රුධිර සංසරණයේ කුඩ වෙනසකින්. එය ඇසට පෙනෙන දෙයක් නෙවෙයි. සියුම්ව දැනෙන දෙයක්. පැරණි වෙද මහත්වරු නාඩි අල්ලා බලා තම පළ පුරුද්දෙන් වටහා ගන්නේ මේ වෙනස. මේක මනින්න විද්‍යාත්මක ක්‍රමයක් තිබුණේ නැහැ. අපේ උත්සාහය වුනේ මේ සඳහා විද්‍යාත්මක ක්‍රමයක් සකස් කිරීම.”

බොහෝ දෙනකු සිතුවේ ඔවුන් මිරිඟුවක් පසුපස යන බවයි. මෙවැනි දෙයක් නිර්මාණය කිරීමේ කිසිම අත්දැකීමක් මෙරට පර්යේෂකයන්ට තිබුණේ නැත. නමුත් කීර්ති කොඩිතුවක්කු ඇතුලු කණ්ඩායම උත්සාහය අතහැරියේ නැත.

ඔවුන්ට අභියෝග රැසක් තිබිණි. ඉන් පළමුවැන්න වූයේ මේ වෙනස ග්‍රහණය කරගන්නේ කවර උපකරණයකින් ද යන්නයි. දෙවැන්න වන්නේ එසේ ග්‍රහණය කරගන්නා රටාවේ කවර ආකාරයේ වෙනස්කම් තිබේ ද ඒ වෙනස්කම් ඇතිවී තිබෙන්නේ කවර හේතූන් නිසාද යන්න තීරණය කිරීමයි. ඉන් පසු එම වෙනස්කම් විශ්ලේෂණය කර රෝගය නිසිපරිදි හඳුනාගැනීමට ක්‍රමවේදයක් ද සකස් කළ යුතුය.

දැන් ඔවුන් සාර්ථක වී තිබේ. ඒ වසර පහකට ආසන්න කාලයක් පුරා කළ පර්යේෂණය මල්ඵල ගන්වමිනි.

උපකරණය නිපදවූ කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම එම උපකරණය වාණිජමය මට්ටමින් නිපදවීම සඳහා පිහිටවූ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වන ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු මහතා මෙසේ පැවසීය.

”අපේ ව්‍යාපෘතියේ මූලික කටයුතු සාර්ථක කරගන්න වසර තුනහමාරක කාලයක් තවුණා. අපට මේ සඳහා ප්‍රයෝජනවත් වූයේ පල්ස් ඔක්සිමීටරය යනුවෙන් ඒ වනවිටත් හෘද ස්ඵන්දනය හඳුනාගැනීමට සකසා තිබූ උපකරණය. මේ උපකරණයෙන් හෘද ස්ඵන්දන රටාව සියුම්ව ග්‍රහණය කරගැනීමටත් එලෙස ග්‍රහණය කරගන්නා හෘද ස්ඵන්දනයේ දී පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති වෙනස් කම් සියුම්ව විශ්ලේෂණය කරගැනීමටත් හැකි අයුරින් පරිගණක වැඩසටහනක් අපි සකස් කළා. මේ සඳහා නිරෝගී පුද්ගලයන්ගේ රුධිර සංසරණ රටාවන් සහ රෝග සහිත පුද්ගලයන්ගේ රුධිර සංසරණ රටාවන් එකිනෙක සංසන්දනය කරලා දත්ත විශ්ලේෂණ පද්ධතියක් සකස් කළා. මේ පද්ධතිය ඇත්තටම අප විසින් නිර්මාණය කළ කෘතිම බුද්ධියක්. එයට දත්ත ඇතුළු කරන්න කරන්න එය ස්වයංක්‍රීයව දැනුමෙන් හා ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාවෙන් වර්ධනය වෙනවා. දැනට අපි පද්ධතියට රෝගීන් විශාල පිරිසකගේ දත්ත ඇතුළත් කරලා තියෙනවා. ඒ අනුව අපිට රුධිර පරීක්ෂණයකින් දැනට හඳුනාගන්නා රෝග ගණනාවක් මේ ක්‍රමයෙන් හඳුනාගන්න හැකියාව ලැබී තිබෙනවා. “

ඔවුන්ගේ උපකරණයට රුධිර සාම්පල දීමට අවශ්‍ය වන්නේ නැත. එන්නත් කටුවක් මගින් රෝගියාගේ රුධිරය ලබාගෙන එය රසායනාගාර පරීක්ෂණයකට ලක්නොකර රෝග ගණනාවක් මේ උපකරණය මගින් හඳුනාගත හැකි බව පර්යේෂකයෝ කියති.

ඔවුන් නිපදවා ඇති මේ ක්‍රමයේ දී රෝගියාගේ ඇඟිල්ලට සවිකරන පල්ස් ඔක්සිමීටරයේ දත්ත කුඩා පද්ධතියකට යොමු කර ඉන් ලැබෙන දත්ත කෘතිම බුද්ධිය සහිත පරිගණකයට යොමු කරයි. පරිගණකයේ දී මේ සියල්ල විශ්ලේෂණය කර අවසන් තීරණ ලබාදෙයි.

ඔවුන් අන්තර්ජාල දත්ත ගබඩාවක මේ සියලු තොරතුරු ගබඩා කරන බැවින් එක් පුද්ගලයකුගේ රෝගය නිර්ණය කිරීම සඳහා එම දත්ත ගබඩාවේ තොරතුරු අඩංගුකර ඇති සියලුම රෝගීන්ගේ දත්ත ක්ෂණයකින් විශ්ලේෂණය කර නිවැරදි තොරතුරු ලබාදීමට එම උපකරණයට හැකියාව ඇත.

”අපි දැනට පුද්ගලයන් විශාල පිරිසකගේ තොරතුරු ඇතුලත් කර තිබෙනවා. මේ පුද්ගලයන් ප්‍රමාණය වැඩිවෙන්න වැඩිවෙන්න වුණොත් අපිට අදට වඩා කාර්යක්ෂමව මේ කාර්යය කළ හැකියි. කෘතිම බුද්ධිය දත්ත වැඩි වෙන්න වැඩි වෙන්න වඩාත් කාර්යක්ෂම හා නිවැරදිතාව වැඩි තත්ත්වයට පත්වනවා. ඒ නිසා දත්ත වැඩිවන තරමට මෙය තවත් නිරවද්‍ය වනවා. රෝගියාගෙන් රෝගියාට මෙය වර්ධනය වෙනවා.”  කීර්ති කොඩිතුවක්කු මහතා පැවසුවේය.

ඔවුන් පවසන්නේ උපකරණය ඇඟිල්ලට තබා විනාඩි 10-15ක දී එම පුද්ගලයාගේ රුධිර සංසරණ රටාව පිළිබඳ දත්ත ගන්නා බවයි. එය වේගයෙන් විශ්ලේෂණය කරන උපකරණය අදාල වාර්තාව නිකුත් කිරීම සිදුකරයි.

උපකරණය නිපදවූ ඔවුහු ඒ නව නිපැයුම් සඳහා වන පේටන්ට් අයිතිය ද ලබාගත්හ. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර පේටන්ට් හිමිකම ගත් පසු ඇමෙරිකාවේ, ජපානයේ සහ සිංගප්පූරුවේ ද පේටන්ට් ලබාගැනිමට ඔවුන් කටයුතු කර ඇත. ඒ අනුව මෙම උපකරණයේ හිමිකාරීත්වය පැහැර ගැනීමට හෝ අනුකරණය කිරීමට ලොව වෙනත් කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැත.

වෛද්‍ය උපකරණයක් ලෙස මෙය ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කිරීමට සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.

ඔවුන්ට සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ සහ ආසරි පෞද්ගලික රෝහල් ජාලය සම්පූර්ණ පහසුකම් ලබා දී ඇත. එම රෝහල්වලට පැමිණෙන රෝගීන්ට මේ උපකරණය පිළිබඳ පැහැදිලි කර දී ඔවුන් එමගින් රුධිර පරීක්ෂණයක් සඳහා කැමැත්ත දක්වන්නේ නම් අදාල පරීක්ෂණය සිදුකිරීමට කටයුතු යොදා ඇත. මේ උපකරණයෙන් පරීක්ෂණයට ලක්වන රෝගීන් ඇතුළු නිරෝගී පුද්ගලයන් ද තමන්ගේ රෝග තත්ත්වයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගන්නා අතරම නුදුරු අනාගතයේ දී ම සමස්ථ ලෝක වාසීන්ට මහත් සහනයක් ගෙන දෙන උපකරණයක කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ද දායක වෙයි.

මෙහි නිර්මාණකරුවන් පවසන්නේ මෙම උපකරණය මගින් දියවැඩියාව, කොලෙස්ටරෝල්, හදවත් රෝග, වකුගඩු දුර්වලතා, රුධිර කැටි හිරවීමේ අවධානම් ඇතුළු රෝග තත්ත්වයන් රැසක් පහසුවෙන් හඳුනාගත හැකි බවයි. රුධිර පරීක්ෂණ කිහිපයකින් හඳුනාගන්නා රෝග විනාඩි 15ක් වැනි සුළු කාලයක දී හඳුනාගත හැකිවීම මෙහි ඇති සුවිශේෂී ප්‍රයෝජනයයි.

මෙය ඉතා පහසුවෙන් ගෙන යා හැකි සහ භාවිතා කළ හැකි උපකරණයකි. එබැවින් ඕනෑම වෛද්‍යවරයකුට තමා සන්තකයේ තබාගෙන රෝගීන් පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි අතරම රෝහල්වල භාවිතා කිරීමෙන් ද රෝහලට ඇතුළුවන රෝගියකුගේ සිරුරේ ඇති සියලු දුර්වලතා සහ රෝග හඳුනාගත හැකිවීම වඩාත් වැදගත් වේ.

දැනට මෙවැනි උපකරණ 15ක් ඔවුන් විසින් නිපදවා තිබේ. තවත් මාස හයක පමණ කාලයකින් පසු සායනික පරීක්ෂණ අවසන් කර උපකරණය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඔවුන්ගේ සැළැස්ම වී ඇත්තේ ඉදිරි අවුරුදු එකහමාරේ දී වෛද්‍ය උපකරණ නිෂ්පාදනය කරන විදෙස් සමාගමක් හා එක්වී මෙම උකරණ නිපදවා ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයට බෙදා හැරීමයි.

” මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න විශාල මුදලක් වැය කරන්න වුණා. මුලින්ම තිබුණේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම නොමැති වීමේ ගැටලුව. ඒ ප්‍රශ්නය වෛද්‍යවරුන් විසින් විසඳා දුන්නා. ඔවුන්ට මේ අවස්ථාවේ අපි ස්තූති කළ යුතුයි. ඉන් පසු මූලික කටයුතු අවසන් වෙලා අපි මේ සඳහා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරලා ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන ආවා. දැන් සියල්ල සාර්ථක වෙලා තිබෙන්නේ.”

ඔවුන් මේ සඳහා පිහිටුවාගත් ආයනය වන ජෙන්ඩෝ ඉනවේෂන් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඉංජිනේරු කීර්ති කොඩිතුවක්කු, ඉංජිනේරු චරිත් විතානගේ, ඉංජිනේරු හේමින්ද ජයවීර සහ විනෝද් සමරවික්‍රම මහතා මෙහි සම නිර්මාතෘ වරුන් වෙයි.

ඉංජිනේරු ශෂික මුණසිංහ මහතා සහ වෛද්‍ය දනූෂි හෙට්ටිආරච්චි මහත්මිය මෙම කාර්යය සඳහා දායක වී සිටිති.

මහාචාර්ය සරෝජ් ජයසිංහ, මහාචාර්ය ගොඩ්වින් කොන්ස්ටන්ටයින්, ආචාර්ය බන්දුල විජේ, යන මහත්වරු මේ සඳහා අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ඔවුන්ට ලබා දී තිබේ.

මෙම උපකරණය නිපදවීමේ ව්‍යාපෘතිය සඳහා ජාතික විද්‍යා පදනමෙන් (NSF)  ආධාරයක් අයිසීටීඒ (ICTA) ආයතනය ද මූල්‍යමය අනුග්‍රහයක් ලැබී තිබේ.

ඔවුන් පවසන්නේ නිර්මාණය කළ මෙම නව උපකරණය හේතුවෙන් රෝග කල්වේලා ඇතිව හඳුනාගැනීමේ හැකියාව ලැබෙන අතරම ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්ත්වය දක්වා යම් රෝගයක් වර්ධනය වීමට පෙර ජීවන රටාව වෙනස් කර රෝගයෙන් ගැලවී සිටීමට හැකියාව මෙමගින් ලැබෙන බවයි.

”අපි බොහෝ විට රෝගයක් හැදුනාම ඊට අදාල රුධිර පරික්ෂණය කරලා. රෝගය හඳුනාගන්නවා. නමුත් මේ උපකරණයෙන් තමන්ගේ රෝග පරීක්ෂාකරගන්න කැමති ඕනෑම කෙනෙකුට විනාඩි 15ක පමණ කාලයක දී රුධිර බිංදුවක්වත් එළියට නොගෙන තමන්ට වැළඳී ඇති හෝ වැළඳීමට අවධානම ඇති රෝග සහ ආබාධ ගණනාවක් හඳුනාගත හැකියි. “

මේ පර්යේෂකයන් පවසන්නේ වසරකට විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 20,000ක් පමණ තමන්ගේ අවසන් වසර ව්‍යාපෘති සිදුකළ ද ඒවා මගින් මිනිසුන් අතරට ගෙන යා හැකි ව්‍යාපෘති නිපදවෙන්නේ අතලොස්සක් පමණක් බවයි. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාගාරයෙන් ඔබ්බර ගොස් මිනිසුන්ට ඵලදායී නවෝත්පාදන සිදුකරන පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම විෂය දැනුම භාවිතාකරමින් නවෝත්පාදන නිෂ්පාදන කළ හැකි බවට මෙය හොඳ උදාහරණයකි. මෙම නවෝත්පාදන නිෂ්පාදනය ලෝක ජනගණයෙන් අති විශාල බහුතරයකට ප්‍රයෝජනවත් වන ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුම කරදීමට හේතවෙයි. එවැනි නිෂ්පාදනයක් සිදුකර එය ලෝක වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට හැකිවීම තුළින් ආර්ථික වශයේන අප රට දියුණුවනු ඇත. අප කළ යුත්තේ එයයි. රජය කළ යුතු වන්නේ ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කළ යුත්තේ ද මෙවැනි තරුණයන්ට අවශ්‍ය දිරිය හා ශක්තිය සැපයීමයි. මෙය සැළසුම් සහගතව විය යුතු දෙයකි.

පැරණි වෙද ගෙදර වෙද මහතා නාඩි බලා ලෙඩ කියූ අයුරින්ම ඇඟිල්කට සවිකරන මේ උපකරණයෙන් ලෙඩ කීමට හැකිවීම ලෝකයේ විශ්මිත නිර්මාණයක් වනු ඇත. මෙය පැරණි වෙද මහතාගේ රෝග හඳුනාගැනීමේ හැකියාව ඩිජිටල්කරණය කිරීමක් නොවන්නේ ද ?

-Advertisement-

ලොව පළමු සජීවී රොබෝව

0

රොබෝවකු කියූ පමණින් අප සිහියට නැගෙන්නේ යන්ත්‍රයකි. යකඩ හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයන්ගෙන් නිපදවන රොබෝවරු ඇතැම් විට මිනිස් සිරුරට ඇතුළු කළ හැකි තරම් කුඩා වෙයි. නමුත් මේ සියල්ල කෘතිමව නිපදවන ලද යන්ත්‍රයන්ය.

ඇමෙරිකාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගිය දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  ගෙම්බන්ගේ ප්‍රාථමික සෛල භාවිතා කරමින් ලෝව ප්‍රථම ජීවමාන ස්වයං සුවකිරීමේ රොබෝවරයකු නිෂ්පාදනය කළ බවයි.

ක්සෙනොපස් ලෙවිස් Xenopus laevis ලෙස හඳුන්වන අප්‍රිකානු නියපොතු ගෙම්බාගේ ප්‍රාථමික ‌සෛල මෙම රොබෝවරු නිෂ්පාදනයට යොදාගත් බැවින් එම රොබෝවා නම්කර ඇත්තේ ක්සෙනෝබොට්ස් යන නමිනි.

මිලිමීටරයකට වඩා අඩු අඟල් 0.04ක ප්‍රමාණයෙන් යුතු මෙම රොබෝවාට මිනිස් සිරුරේ ඔ්නෑම ස්ථානයකට ළඟාවීමේ හැකියාව ඇත. සොයාගැනීම සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ට ඇවිදීමට සහ පිහිනීමට හැකියාව ඇති බවයි. එමෙන් ම ආහාර නොමැතිව සති ගණනක් ජීවත්වීමේ හැකියාව ඇති මෙම සජීවී රොබෝවරුන්ට එකට එක්ව සාමූහිව වැඩ කිරීමේ හැකියාව තිබීම ද තවත් විශේෂත්වකි.

”මේ රොබෝවා නව ජීවී ස්වරූපයක්” රොබෝවා නිෂ්පාදනය කළ ඇමෙරිකාවේ වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති. මෙම පර්යේෂණය සඳහා විශ්වවිද්‍යාලය හා එක්ව කටයුතු කර ඇත්තේ ඇලන් ඩිස්කවරි සෙන්ටර් නමැති ආයතනයයි.

සජීවී සත්ත්වයකුගේ ප්‍රාථමික සෛලයක් ලෙස හඳුන්වන්නේ විවිධ ආකාරයේ සෛල බවට වර්ධනය වීමේ හැකියාවක් ඇති විශේෂිත නොවන සෛලයන්ය. පර්යේෂකයන් මෙම ගෙම්බාගේ කළලවලින් ජීවී ප්‍රාථමික සෛල ඉවත්කර වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ දී සුපිරි පරිගණකයක් විසින් නිර්මාණය කරන ලද විශේෂිත ශරීර ආකෘතිවලට එම සෛල සම්බන්ධ කර වැඩෙන්නට ඉඩහැර තිබේ. එහි ප්‍රතිඵලය වූයේ සොබා දහමේ කිසිදා දක්නට නොලැබෙන සජීවී රොබෝ ජීවියකු බිහිවීමයි.

මෙහි දී සිදුවූයේ මෙමෙ ප්‍රාථමික සෛල තනිව වර්ධනය වීමයි. සෛල වටා සමක් සැකසුනු අතර හෘද සෛල ස්ඵන්දනය කිරීමෙන් රොබෝවරයාට තනිවම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. විද්‍යාඥයන් සෛල වර්ධනය පාලනය කරන අතර ඔවුන්ගේ ගමන ද පාලනය කිරීමට සමත්ව සිටියි. මෙහි විශේෂත්වය වන්නේ මේ නව රොබෝවාට ස්වයං සුව කිරීමේ හැකියාව ලැබීමයි.

”මේවා නව ජීවමාන යන්ත්‍ර” යැයි වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ මෙම පර්යේෂණය මෙහෙයවූ මහාචාර්ය ජොෂුවා බොන්ගාඩ් පර්යේෂණය පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් පවසා ඇත.

ඔහු තවදුරටත් මෙසේ පවසයි.

”මොවුන් සම්ප්‍රදායික රොබෝවෙක් හෝ දන්නා සත්ත්ව විශේෂයක් හෝ නොවේ. මේ ‌ඉතිහාසගත නිෂ්පාදනයක්. ජීවියෙක් නමුත් වැඩසටහන්ගත කළ මිනිසාට අවශ්‍ය විදියට නිර්මාණය කළ ජීව කාණ්ඩයක්.” 

ක්සෙනෝබොට්ස් සම්ප්‍රදායික රොබෝවරුන් මෙන් පෙනෙන්නේ නැත. ඒවාට දිලිසෙන ලෝහමය ගියර පද්ධති හෝ රොබෝ අත් නැත. ඒ් වෙනුවට ඔවුන් රෝස පැහැයෙන් දිස්වන මාංශයක් සහිත චලනය වන ඉතා කුඩා මලක් වැනිය. පරයේෂකයන් පවසන්නේ මෙම ජීව විද්‍යාත්මක යන්ත්‍රයට ප්ලාස්ටික් හා ලෝහලින් සැකසුණු සාමාන්‍ය රොබෝවරුන්ට වඩා අවශ්‍ය ඉලක්කය පහසුවෙන් සාර්ථක කරගත හැකි බවයි.   

ජාතික විද්‍යා ඇකඩමියේ දී මේ පිළිබඳ හඳුන්වාදෙමින් පර්යේෂකයන් කියා සිටියේ සම්ප්‍රදායික රොබෝවරු කාලයාගේ ඇවෑමෙන් පිරිහී යන බවයි. එමෙන් ම සම්ප්‍රදායික රොබෝවරුන්ගෙන් හානිකර පාරිසරික හා සෞඛ්‍යමය අතුරු ආබාධ ඇතිවිය හැකි බව ද ඔවුන් ප්‍රකාශ කරන ලදී. ජෛව විද්‍යාත්මක යන්ත්‍රයක් වන ක්සෙනොබොට් රොබෝවා පරිසරයට වඩාත් හිතකාමී සහ මිනිස් සිරුරතුළට යැවීමට වඩාත් ආරක්ෂිත බව ද ඔවුහු කියති.

ක්සෙනොබොට්ස් රොබෝවා විවිධ කාර්යයන් හා ඉලක්කයන් වෙනුවන් බාවිතා කළ හැකි බව අධ්‍යයනය සඳහා මූල්‍යමය අවශ්‍යතාවයෙන් අර්ධයක් සැපයූ  ආරක්ෂිත උසස් පර්යේෂණ ව්‍යාපෘති ආයතනය පවසයි. එම ආයතනය හමුදාමය තාක්ෂණය වර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නකි.  

විකිරණශීලී අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට, සාරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතුකිරීමට, මිනිස් සිරුරතුළට ඖෂධ රැගෙන යාමට, රුධිරවාහිනී තුළට ගමන්කර ඒවායේ ඇතුළත බිත්ති සූරා දැමීමට මේ රොබෝවන් භාවිතා කිරීමේ හැකියාව පවතී. දින කිහියක් හෝ සති කිහිපයක් අතිරේක පෝෂ්‍ය පදාර්ථ නොමැතිව ජලජ පරිසරවල සජීවී තත්ත්වයෙන් සිටිය හැකි ක්සීනොබොට් රොබෝවා අභ්‍යන්තර ඖෂධ බෙදා හැරීමට වඩාත් සුදුසු බව තහවුරු කර ඇත.

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙවැනි ප්‍රායෝගීක කර්තව්‍යයන් සාක්ෂාත් කරගැනීමට අමතරව සෛල විද්‍යාව පිළිබඳ වැඩිපුර අධ්‍යයනය සඳහා මෙම සොයාගැනීම වඩාත් මහෝපකාරීවන බවයි. එමෙන්ම මිනිස් සෞඛ්‍යය වඩාත් යහපත්ව පවත්වාගෙන යාමටත් දීර්ඝායුෂ වැඩිකිරීම සඳහාත් මෙය අනාගතයේ වඩාත් දියුණු කළ හැකි බව ඔවුන්ගේ මතයයි.

”අපිට අවශ්‍යතාව මත තිමාණ ජීව විද්‍යාත්මක ස්වරූපයක් නිපදවිය හැකිනම්, උපත් ආබාධ අළුත්වැඩියා කිරීමට, පිළිකා සෛල යළි සාමාන්‍ය සෛල බවට පත්කිරීමට, විශාල තුවාල හෝ හානිකර රෝගවලින් පසු සෛල යළි පුනර්ජනනය කිරීමට සහ වයස්ගතවීම පාලනය කිරීමට මෙමගින් හැකියාව ලැබේවි. මෙය ඇතැම් අයට විද්‍යා ප්‍රබන්ධයක එන කතාවක් ලෙස පෙනෙන්ට පුළුවන් වුවත් සැබැවින්ම මෙය දැන් අප ඇස් ඉදිරියේම සනාථ වූවක්.”

මෙම රොබෝ ජීවියාට ඔවුන්ගේ ආහාර ප්‍රභවය වන ලිපිඩ හා ප්‍රෝටීන සංචිතයක් පවත්වාගෙන යා හැකි බැවින් සතියකට වැඩි කාලයක් ආහාර නොමැතිව ජීවත් වීමට පහසුවෙන්ම හැකියාව ලැබෙයි. නමුත් ඔවුන්ට ප්‍රජනනය කිරීමට, ජනනයවීමට හෝ පරිනාමය වීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් පෝෂ්‍ය පදාර්ථ සහිත පරිසරවල දී ඔවුන්ගේ ආයු කාලය සති කිහිපයක් දක්වා වැඩිවිය හැකියි.

“මෙම රොබෝවරුන් තැනීමේ දී සුපිරි පරිගණකය කෘතිම බුද්ධියේ කොටසක් යොදමින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එහි දී කිසිදු නරක හෝ භයානක චේතනාවක් තිබේයැයි සිතිය නොහැකියි. එසේ වුව ද නරක චේතනාවෙන් යුතු දක්ෂ ජීවවිද්‍යාඥයකුට මේ ආකාරයෙන් හානිකර ජීවීන් නිර්මාණ්‍ය කිරීමට ද හැකියාව ලැබෙනු ඇති. ” යැයි පර්යේෂකයෝ පවසති.

-Advertisement-

සතුන් වඳවීමේ එළිපත්තේ

0

අලි, රයිනෝ, හිම වලසා ඇතුළු සතුන් රැසක් නුදුරු කාලයේ දී මිහිතලයෙන් අතුරුදන් වන බවත් එය දෙවැනි වන්නේ ග්‍රහයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනෝසරයන් වඳවීමේ විනාශයට පමණක් බවත් පර්යේෂකයෝ කියති.

ඔවුන් පෙන්වාදෙන්නේ වඳවීයාමේ ක්‍රියාවලිය දැන් හයවැනි අදියරට පත්ව තිබෙන බවයි. මිනිසා විසින් මේ විනාශයේ වගකීම හා නරකනාමය භාරගත යුතු බව ද පර්යේෂකයන්ගේ මතයයි. පසුගිය වසර 1500ක කාලයේ දී මිහිමත සිටි කොඳු ඇට පෙලක් සහිත ජීවී විශේෂ 320ක් විනාශ වී ගොසිනි. දැන් ඔවුන් මිහිමත දක්නට නැත.

මේ විනාශයට පහසුම ගොදුරක් වන්නේ අලි, රයිනෝසරයන්, හිම වලසුන් වැනි විශාල සතුන් බවත් දැන් එවැනි ජීවීන් විනාශවීමේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කැර ඇති පර්යේෂණ වාර්තාවේ දැක්වේ.

දැනට මිහිතලයේ සිටින ජීවී විශේෂ අදින් වසර ලක්ෂ 35ට පමණ කාලයේ සිට ක්‍රමිකව පරිනාමය වූවෝ වෙති. සත්ත්ව විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් හා දත්ත විශ්ලේෂණයන්ට අනුව ජීවීන් විනාශ වීම දැන් ඉතා කඩිනම් වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පර්යේෂණ ප්‍රධානී ජීව විද්‍යා මහාචාර්ය රොඩොල්ෆ් ඩිර්සෝ පවසන්නේ මානවයා සියල්ල විනාශකරන යුගයකට පිවිස ඇති බවයි.

‘‘ ලොව සිටින සියළුම ජීවී විශේෂ සැළකූ විට ඉන් සියයට 16ත් 33ත් අතර ප්‍රමාණයක් ගෝලීය වශයෙන් අන්තරාදායක තත්ත්වයකට පත්ව සිටිනවා. අලි, රයිනෝ, හිමවලසුන් වැනි විශාල සතුන් වැඩි ප්‍රමාණයක් හා ගණනය කළ නොහැකි තරම් සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් මිහිතලයෙන් සමුගැනීමේ එලිපත්ත මත සිටිනවා. “ යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.

විශාල සතුන් අඩු ගහණයක් ජීවත් වීමත් ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීයාම හා ආහාර නොමැති වීම ඔවුන්ගේ විනාශයට හේතු වී ඇති බව ද මහාචාර්යවරයා පෙන්වාදෙයි.

-Advertisement-

ඔබේ පුටුව මරුට අත වනයි

0

ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද ? එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.

ඔබ දවසේ වැඩි කාලයක් සැප පහසුව වාඩි වී සිටින්නේ ද ? එයින් හැඟෙන්නේ ඔබ ඔබේ සෞඛ්‍යයට ඉතා හානිදායක දෙයක් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පවසන්නේ දුම්පානය කරනවාට වඩා වාඩිවී සිටිම භායානක බවයි. ආහාර ගැනීමෙන් පසු වාඩිවී සිටින්නන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් ඉහළ යනබවත් විනාඩි 15ක් ඇවිදීමේ යෙදීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් පහළ බසින බව ද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

දිගු වේලාවක් වාඩිවී සිටිමෙන් රුධිරයේ හානිදායක කොලෙස්ටරෝල් ප්‍රමාණය ද ඉහළ යයි. තවත් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ හදවත් රෝග, ඔස්ටියෝපොරෝසිස්, පියයුරු පිළිකා, කොන්දේ වේදනාව සහ මානසික ආතතියට ද දිගු වේලාවක් පුටුවක වාඩිවී සිටීම හානිකර බවයි. පුටුවේ වාඩිවී සිටින පැයක කාලයක් හේතුවෙන් ජීවිත කාලයෙන් පැය දෙකක් අඩුවන බව ද පර්යේෂකයෝ සිය වාර්තාවේ දක්වා ඇත.

සාමාන්‍යෙයන් පුද්ගලයකු පැය 13ක් වාඩිවී සිටියි. පැය අටක් නිදා ගනියි. එහා මෙහා ගමන් කිරීමට යොදා ගන්නේ පැය තුනක් වැනි කාලයකි. මිනිස් සිරුර හැඩ ගැනී ඇත්තේ එවැනි දේ සඳහා නොවේ. වසර දහස් ගණක් දඩයම් කරමින් අතිශය ක්‍රියාශීලී දිවියක් ගත කැර ඇත. ඒ කාලයේ දී වාඩිවී සිටියේ සුළු විවේකයක් ගත කිරීමට පමණි. එසේ වුව ද පසුගිය වසර 200 ක පමණ කාලයේ සිටි මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී. දැන් ඇඳෙන් කාරයටත්, කාරයෙන් කාර්යාල පුටුවටත් මාරු වෙමින් වැඩි කාලයක් එකතැන ම දවස ගත කරයි.

-Advertisement-