-0.3 C
New York
Home Blog Page 1311

පුද්ගලික රෝහල පීසීආර් වරද්දයි. ලෙකෝ සේවකයන් අමාරුවේ

0

පුද්ගලික රෝහලකින් පැවැත්වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගනිමින් කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට යොමු කළ ගාල්ලේ පෝද්දල පදිංචි ලෙකෝ සේවකයා ඇතුළු කිහිප දෙනකු යළි නිරෝධායන මධ්‍යස්ථානවෙත යැවීමට සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

එම කාර්යාලයේ ප්‍රකාශකයකු මේ බව කියා සිටියේ අප විසින් කරන ලද විමසීම් ගණනාවකට පසු පිළිතුරු ලබාදෙමිනි.

මෙම පීසීආර් පරීක්ෂණ සිදුකළ නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් කඳානේ විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් 12 දෙනකු ඇතුළු ‍තවත් සමාගම් කිහිපයක සාමාජිකයන් කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා ලබා දී තිබිණි. නමුත් පසුව එම රෝහල විසින් ම පවසා තිබුණේ එම විදුලි පුද්ගලික සමාගයේ පුද්ගලයන් 12 දෙනා අතරින් 07 දෙනකුගේ වාර්තා ධනාත්මක බවට වාර්තා ලබා දී ඇත්තේ වැරදීමකින් බවයි. තවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ ද වාර්තා රෝහලෙන් වරද්දා තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි

විදුලි පුද්ගලික සමාගමේ සේවය කළ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවකු ඇතුළු නිලධාරීන් ඒ වනවිටත් කොරෝනා ආසාදිතයන් යොමුකරන රෝහල්වෙත යොමුකර අවසන්ව තිබිණි. පුද්ගලික රෝහලෙන් තම වාර්තාව දෝෂ සහගතබව පැවසීමත් සමග වැරදි වාර්තා මත කොරෝනා ආසාදිතයන් ලෙස සැළකූ පිරිස රෝහල්වෙතින් ඉවත්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් කාර්යාලය පවසයි.

මේ අනුව විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත. මේ පිළිබඳ අප සමග අදහස් දැක්වූ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවා මෙසේ කීවේය.

”මට විශාල අසාධාරණයක් වුණා. මෙය නැවත නිවැරදි කරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මා පසුගිය 03 වැනි දා මගේ නිවසට ඇවිත් නැවත 06 වැනි දා කාර්යාලයට ගියාට පස්සේ දැනගත්තා අපේ කාර්යාලයේ වෙනත් නිලධාරයකුගේ දියණියක් කොරෝනා ආසාදනය වෙලා කියා. ඒ නිසා අපටත් නිවෙස්වල නිරෝධායනය වෙන්න සිදුවනවා කියා. මා නැත ගාල්ලට එනවා කියන්නේ මට කොරෝනා ආසාදනය වෙලානම් විශාල පිරිසක් අමාරුවේ දැමීමක්. ඒ ගැන අපි සාකච්ඡා කළාම අපේ සමාගම තීරණය කළා අපේ පීසීආර් පරීක්ෂණයක් කරන්න. මෙය රජයෙන් කරන්නේ නැහැ. ඒ නිසා පුද්ගලික රෝහලකින් කරවා ගත්තා. එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 8,800.00ක් බැගින් වැයවුණා. ඔවුන්ට සාම්පල දුන්නේ 10 වැනි දා. 13 වැනි දා උදේ ඒ රෝහලෙන් කතා කරලා කිව්වා මටත් තවත් හය දෙනෙකුටත් ආසාදනය වෙලා නැහැ නමුත් පස් දෙනෙක් ආසාදිතයි කියලා. නැවත සවස කඳාන පොලිසියෙන් කතා කරලා කිව්වා රෝහලෙන් අලුත්ම වාර්තාවක් ලැබිල තියෙනවා ඒ අනුව මමත් අසාදිතයෙක් කියා. සෞඛ්‍ය අංශවලින් මාව ලග්ගල රෝහලට ගෙන ගියා. මාව රඳවා තැබුවේ කොරෝනා රෝගීන් සමග පසුව දැනගත්තා මා ආසාදිතයෙක් බවට පුද්ගලික රෝහලෙන් පවසා තිබුණේ වැරදීමකින් කියලා. ඔවුන් කරපු වැරැද්ද නිසා මට රෝහලක ආසාදිතයන් සමග ඉන්න වුණා. මට ඉබේම කෙ‍ාරෝනා වයිරසයට නිරාවරණය වෙන්න වුණා. ඒ විතරක් නෙවෙයි අපි ආසාදිතයි කියලා අපේ පවුලේ අය පවා නිරෝධායනයට යොමු කළා. මගේ දරුවන් අධ්‍යාපනය ලබනවා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට විශ්වවිද්‍යාලවලට පවා මෙය ගැටලුකාරී දෙයක් වුණා. මා ප්‍රදේශයේ සමිති සමාගම් රැසක සාමාජිකත්වය දරණවා. මෙය මගේ ජීවිතයට විශාල කැලලක්. මේ ගැන මාධ්‍යවල, සමාජමාධ්‍යවල පවා ප්‍රචාරය වුණා. සමාජය අපි දිහා බැලුවේ අපි වරදක්කරපු මිනිස්සු හැටියට. මේවාට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. මට ඇත්තටම කොරෝනා තිබුණේ නැහැ. නමුත් වැරදි වාර්තාවක් නිසා මට කොරෝනා ආසාදිතයන් ඉන්න තැනට යන්න වුණා. ‍මේක මොන තරම් අසාධාරණයක් ද ?

ඔහු මේ කතාව අප සමග කීවේ පසුගිය 15 දා දහවලේ දී ය. ඒ වනවිටත් ඔහු සතුව නාරාහේන්පිට පුද්ගලික රෝහලකින් නිකුත් කරන ලද ඔහු ආසාදිතයකු නොවන බවට වූ වාර්තාවක් තිබිණි. මෙම වාර්තාව සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කරමින් අප මෙම පුද්ගලය පවසන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසීමට කොතෙක් උත්සාහ ගත්ත ද අද (16) රාත්‍රී 7.30 වනතුරු කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකිවිය. ඔහු ලබාදුන් පීසීආර් වාර්තාවේ සඳහන් රෝහලට අපි සිව් වතාවක් ඇමතුම් ගත්තෙමු. ඒ සෑම අවස්ථාක දී ම ඔවුන් කියා සිටියේ කොරෝනා කමිටුවට මා පවසන කරුණු යොමුකර කඩිනමින් පිළිතුරක් ලබාදෙන බවයි. නමුත් එම පිළිතුර මෙම සටහන තබන මේ මොහොතවන තුරු ලැබුණේ නැත.

කෙසේ වෙතත් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ දී කොරෝනා ආසාදිතයැයි පැවසූ පුද්ගලයා ආසාදිතයකු නොවේ යැයි තම කාර්යාලයට කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වුව ද ඔහු ආසාදිතයකු නොවේ යැයි තහවුරු වුව ද මේ වනවිට අනුගමනය කර ඇති නිරෝධායන ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන යාම සෞඛ්‍ය ප්‍රතිපත්තිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

අසාදිතයැයි පැවසූ පුද්ගලයාගේ නිවසේ සිටි බිරිඳ, දරුවන් දෙදෙනා, මව, පියා සහ නැන්දණියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ අතර 15 වැනි බ්‍රහස්පතින්දා වනවිට එම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් කියැවුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. එසේ වුව ද ඔවුන් නිවසේ ම නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පුද්ගලික රෝහල වෙතින් වැරදි තොරතුරු ලබාදීමෙන් කොරෝනා ආසාදිතයන් සිටි රෝහල්වලට යැවූ පුද්ගලික අංශයේ සමාගම්වල සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අතර ඇතැම් සමාගම් තම සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි ලෙස නිරෝධායන කටයුතු සඳහා ‍ලබාගෙන ඇති හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

විදුලි සමාගමේ නිලධාරීන් ද ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරොධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන්‍ කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමුකළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනබවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු අප සමග පැවසීය.

”පුද්ගලික අංශයේ මේ සේවකයන්ට යම් අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන් දැනට නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඉදිරියේ දී සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් පසුව ඔවුන් සම්බන්ධයෙන් අදාල තීරණ ගන්නවා. එතෙක් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද නිවෙස්වලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. පුද්ගලික අංශයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ අවසරය ලබා දී තිබෙනවා.” යැයි ද එම වෛද්‍යවරයා පැවසීය.

පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ රජය කියා සිටියේ පුද්ගලික අංශය ‍පීසීආර් පරීක්ෂණ සිදුනොකළ යුතු බවයි. එසේ වුව ද මෙවර ඒ සඳහා ඇතැම් රෝහල්වලට අවසර දී ඇත.

සෞඛ්‍ය අංශයේ ‍බොහෝ දෙනකු පවසන්නේ පුද්ගලික අංශයෙන් සිදුකරන පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති

බවයි.

(විශේෂ සටහන – විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ ගාල්ල පෝද්දල පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු භාවිතා කළ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කළ අය පවා සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්වන ලෙසත් අප rata.lk වෙබ් අඩවිය මීට පෙර වාර්තා කරන ලදී. එම තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමිනි. අදාල කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන හෝ පුද්ගලයන් වෙතින් මේ බව තහවුරු කිරීමෙන් හැර අප වෙබ් අඩවියේ පුවත් පළ කරන්නේ නැත. මෙම පුවත පළවීමෙන් දිනකට පසු අසාදිත පුද්ගලයා ලෙස හැඳින්වූ මහත්මයා අපවෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ තමන් අසාදිතයකු නොවන බවයි. තමන් අසාදිතයකු බවට පත්කර ඇත්තේ පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණය සම්බන්ධයෙන් ලබාදුන් වැරදි තොරතුරක් පදනම් කරගෙන බව ද ඒ මහතා කියා සිටියේය. ඒ බව ඔහු දැනුම් දුනේ 2020-10-15 වැනි දින සවස 2.00ට පමණය. ඒ මොහොතේ පටන් අප එම මහත්මයා කියූ කරුණු නිරවද්‍ය දැයි සොයා බැලීමට අදාල බලධාරීන් ඇමතුව ද කිසිවෙකුත් ඒ බව තහවරු කළේ නැත. දිගින් දිගටම ඒ මහත්මා තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කරන්න යැයි අපෙන් ඉල්ලා සිටිය ද අසාදිතයකු යැයි සෞඛ්‍ය අංශ විසින් පවසන ඔහු තමන් ආසාදිතයකු නොවේ යැයි කරනු ලබන ප්‍රකාශයන් සෞඛ්‍ය අංශ වෙතින් යළි තහවුරු කරගන්නා තුරු ප්‍රකාශයට පත්කිරීම අප මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. නමුත් අප ගත් උත්සාහයන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු හා නිලධාරීන් කිහිපදෙනකුගෙන් අද (16) රාත්‍රී 7.30 ට පමණ අදාල කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. එබැවින් පුද්ගලික රෝහලේ වැරදි වාර්තාවක් හේතුවෙන් අසාධාරණයට ලක්වූ ඒ මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අගතියට පත්වන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමත් කිසිවකු අගතියට පත් නොකිරීමත් අප මාධ්‍ය භාවිතයේ ප්‍රතිපත්තිය වුව ද සෞඛ්‍ය බලධාරීන් යම් කරුණක් සනාථ කරන තුරු කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කරුණු සඳහන් කිරීමට අපට හැකියාවක් නොමැති බව ද යළිත් සහිපත් කරන්නෙමු.)

-Advertisement-

බසයේ දී, කෝච්චියේ දී කොරෝනා හැදෙන හැටි

0

ලෝකය පුරාම, විශේෂයෙන් අසල්වැසි ඉන්දියාව පුරා ම කොවිඩ් රෝගය අඛණ්ඩව පැතිර යද්දී තමාට ඉන් බලපෑමක් නැතැයි පදනම් විරහිත විශ්වාසයක බහුතර ශ්‍රී ලාංකිකයන් සිටින බවපසුගිය කාලයේ පෙනෙන්නට තිබිණි. එම නිසා බොහෝ දෙනකු වසංගත කාලයක දැක්විය යුතු වගකීම් සහගත බවින් මිදී කටයුතු කළ අතර එහි ප්‍රතිවිපාක මේ වනවිට ප්‍රකට වී ඇත. මූලාශ්‍රයක් සොයගෙත නොහැකි විශාල කෝවිඩ් පොකුරක් ලංකාව තුළ නිර්මාණය වී ඇති අතර ඉදිරියේ දී සමාජය තුළින් තවත් කෝවිඩ් පොකුරු මතු වීමේ විශාල අවදානමක් ද ඇත.

කෙසේ වෙතත් රට සම්පූර්ණයෙන් ම වසා දැමීමේ අවශ්‍යතාවක් රජය නොදකින හෙයින් විවිධ ප්‍රදේශ අතර සචරයණයන් නිදහසේ සිදුවේ. මෙවැනි තත්ත්වයක් තුළ පොදු ප්‍රවාහන සේවය පිළිබඳව විශේෂයෙන් සැලිකිලිමත් වීම ඉතා වැදගත් වෙයි. අත්‍යවශ්‍ය නො වන ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත නොකිරීම හා පොදු ප්‍රවාහන සේවාවන් තුළ ආරක්ෂණ පිළිවෙත් දැඩි ව අනුගමනය කිරීමඅත්‍යවශ්‍ය ය. නැත හොත් පෙපදු ප්‍රවාහන සේවාවන් රට පුරා කොවිඩ් බෙදා හැරීමේ ජංගම මධ්‍යස්ථාන බවට පත්විය හැකිය.

පොදු ප්‍රවාහන සේවාවන් අනාරක්ෂිත ව භාවිත කිරීම කෙතරම් අනතුරුදායක විය හැකි ද යන්න පෙන්වන නවතම අධ්‍යයන වාර්තාවක් පසුගිය දා ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය වන JAMA Internal Medicine හි පළ වී තිබිණි. පොදු ප්‍රවාහන මාධ්‍යව ගමන් කිරීමේ දී අප කොතරම් සැළකිලිමත් විය යුතු ද යන්න මේ අධ්‍යයනයෙන් පෙනී යන බැවින් ඒ පිළිබඳව කරුණු විමසා බැලීම වටී.

මේ අධ්‍යයයනයට පාදක වී ඇත්තේ මේ වසරේ ජනවාරි 19 වැනි දා වන්දනා ගමනක යෙදුණු චීනයේ නින්ග්බෝ ප්‍රදේශයේ බෞධ්ධ සංචාරකයන් පිරිසකි. 128  දෙනකු ගෙන් යුතු එම කණ්ඩායම බස් රථ දෙකකින් වන්දනා ගමනක් ගෙගාස් ඇති අතර එක් ගමන් වාරයකට විනාඩි 50ක් බැගින් ඔවුන් බස් රථයේ ගමන් කර ඇති සම්පූර්ණ කාලය පැය එකකුත් විනාඩි හතළිහක් පමණි. ඒ වන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර නොතිබූ බැවින් කිසිවකු මුහුණු ආවරණ පැළඳ සිට නැත. 68 දෙනෙක් ගමන් ගත් මේ එක් රථයක අවාසනාවකට මෙන් එක් කොරෝනා ආසාදිතයෙක් හිඳ තිබේ.

ඔහු ඊට පෙර චීනයේ හුබෙයි ප්‍රාන්තයට ගමන් කළ පුද්ලයන් සිව් දෙනකු සමඟ රාත්‍රී ආහාර ගෙන තිබූ බැවින් රෝගය ඔවුන් ගෙන් වැළ‍ෙඳෙන්නට ඇතැයි සැක කෙරේ. කෙසේ වෙතත් වන්දනා ගමන සිදු ක කාලය තුළ ඔහු කිසිදු රෝග ලක්ෂණයක් පල කර නැති අතර රෝගය ඇතැයි සැක කර ද නැත. ආසාදිතයන් වෙතින් වයිරස අන් අයට වැඩි වශයෙන් ම සම්ප්‍රේෂණය වීම ිසදු වන්නේ රෝග ල්කෂණ පහළ වීමට පෙර ගත කරන කාලය තුළ බව අධ්‍යයනය හරහාා පෙනී ගොස් ඇත. ඔහුට කැස්ස උණ ආදී රෝග ලක්ෂණ පහ ව ඇත්තේ ගමනින් පසුවය. එහෙත් ඊළඟ දින දෙක තුළ ඔහු සමග බස් රථයෙන් ගමන් කළ 68 දෙනා අතරින් 23 දෙනෙකුට ම කොවිඩ් රේාගය වැළඳී තිබේ එම 23 දෙනාට ම රෝගය වැළඳී ඇත්තේ එම විනාඩි සියයක කාලක් තුළ එම තනි පුද්ගලයාගෙනි.

කුඩා අංශු මගින් බෝවීමේ අවදානම

මේ කණ්ඩායම් ගමන් කළල බස් රථ වායුසමනය කර ඇති ඒවා වන අතර වායු සමන පද්ධතිය අභ්‍යන්තර වාතය නැවත හුවමාරු වන පරිදි සකසා තිබීම නිසා රෝග කාරකවලින් අනෙකුත් පුද්ගලයන් ආසාදනය වන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙහි දී ආසාදිත පුද්ගලයා සමඟ කෙතරම් දුරකින් සිටින්නේ ද යන්න වයිරසයේ පැතිර යෑමට බලපා නොමැති බව පෙනෙන්නට තිබේ. රෝගියා අසළ ම සිටි පුද්ගලයකුට රෝගය නොවැළඳී තිබීමෙනුත්, ආසන හතක් පමණ දුරින් සිටි පුද්ගලයන්ට පවා රෝගය වැළඳී තිබීමෙනුත් මේ බව පෙනී යයි.

මේ සිදුවීම අධ්‍යයනය මගින් පැහැදිලිව පෛනී යන කරුණක් නම් වාතයේ පා වෙමින් දිගු කලක් රැඳී සිටිය හැකි ඉතා කුඩා අංශලින් ද කෝවඩ් බෝ විය හැකි බවයි. කැස්ස හා කිවිසුම් යෑම මගින් පිට වන විශාල බිඳිති පමණක් නොව වාතයේ පාවෙමින් පවතින කුඩා අංශු හරා ද කොවිඩ් බෝ විය හැකි බව මුල් වරට අනාවරණය කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය. එම අදහස නිවැරදි බවට මේ සිදුවීම ද සාක්ෂියකි. එම නිසා වාතාශ්‍රය හොඳින් සංසරණය නොවන සංගෘහිත පරිසරවල දී මීටරයේ දුර තබාගැනීමෙන් පමණක් රෝගයෙන් බේරීමට හැකි නොවන බව මෙයින් පෙනී යයි.

එළිමනේ ආරක්ෂාව

මේ වන්දනා ගමනේ දී සිදුකෙරී ඇත්තේ එළිමහන් ප්‍රදේශයක වන්දනා කටයුතු කර ආපසු පැමිණීමයි. එහි දී මේ 128 දෙනාගෙන් යුතු සම්පූර්ණ කණ්ඩායම ආසාදිතයා ද සමඟ එම කටයුත්තෙහි නිරත වුවත් අනෙක් බස් රථයේ ගමන් කළ 60 දෙනා ගෙන් එක් අයකුට වත් රෝගය වැළඳී නැත. හොඳින් වාතාශ්‍රය ඇති එළිමහන් ප්‍රදේශවල වයිරසය එකිනෙකා අතර හුවමාරු වීමට ඇත්තේ අඩු ඉඩක් බව මෙයින් පෙනී යන කරුණකි.

එමෙන් ම හිරුඑළියට හොඳින් නිරාවරණය වන පරිදි සකසා තිබූ ජනේල අසළ සිට පුද්ගලයන්ට ද වයිරසය ආසාදනය වී තිබීම අවම වී තිබූ බව මේ අධ්‍යයනයේ දී පෙනී ගොස් ඇත. හිරු එළිය හොඳින් නොවැටෙන සේ ආවරණය කර තිබූ බස්රථය මධ්‍යයේ වූ කවුළු අසළ සිටිනන්ට රෝගය වැළඳී තිබූ අවස්ථා ගණන ඉහළ ගොස් තිබිණි

වායුසමන යන්ත්‍රයේ අවදානම

මේ අධ්‍යනය හරහා ඉස්මතුවන තවත් වැදගත් කරුණක් නම් වායුසමන පද්ධති හරහා මේ ක්ෂුද්‍ර බිඳිති හුවමාරු වීමට ඇති ඉඩකඩයි. සාමාන්‍යයෙන් මෝටර් රථයක වායු සමන පද්ධතියක, බාහිරින් ගන්නා වාතය වායුසමනය සඳහා භාවිත කිරීම අභන්තරයේ ඇති වාතය නැවත වායුසමනය සඳහා භාවිතා කිරීම යන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට හැකිය. මාර්ගයක ගමන් කරන විට බාහිරින් ලබාගන්නා වාතයේ සමහර විට දුම් ගඟින් යුක්ත විය හැකි බැවින් බොහෝ විට රියදුරන් කරන්නේ මේ දෙවැනි විකල්පය තෝරාගැනීමයි. කෙසේ නමුත් අභ්‍යන්තරයේ ම වාතය හුවමාරු වනවිට කිසියම් රෝග වාහකයකු සිටීනම් එමගින් අනෙක් අයට රෝගය සම්ප්‍රේෂණය වීමේ විශාල අවදානමක් තිබේ. අධ්‍යයනයට ලක්ව ඇති ඉහත සිදුවීමේ දී ද සිදුව ඇත්තේ එයයි.

එබැවින් මේ කොවිඩ් හෙවත් කොරෝනා වසංගත අවදානම තුළ වායු සමනය කළ පොදු ප්‍රවාහන සේවා රථවාහනවල අභ්‍යණ්තරයේ ඇති වාතය ම හුවාරු වෙමින් සංසරණය වීමට ඉඩක් නැති වන පරිදි බාහිරින් වාතය ලබාගන්නා ක්‍රමය තේරීම කළ යුතු බව විශේෂඥයන්ගේ නිර්දේශයයි. වායු සමනය කර නැති වාහකයක හොඳින් කවුළු විවෘත කර වාතාශ්‍රය හොඳින් සංසරණය වන පිරිදි ගන් කර්න් නම් එය වායුසමනය කළ සීල් තැබූ වාහනයකට වඩා ආකරක්ෂිත විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

පොදු වාහන මෙන් ම පෞදගලික් වාහනයක් වුව ද කිහිප දෙනෙක් ගමන් කර්න‍ේන නම් මෙසේ බාහිරින් වාතය ඇතුළු කරගැනීමේ යෙදුම තේරා තිබීම සුදුසු ය. ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයක දී මෝටර් රථයක එක් ජනෙල් වීදරුවක් හෝ අඟල් තුනක් පමණ පහත් කරගෙන යා හැකි නම් අභ්‍යන්තරයේ රේාග වාහකයකු ගෙන් රෝග බෝ වීමේ ඉඩ විශාල ලෙස අඩු කරගැනීමට හැකි බව පෙන්වා දී තිබේ. එමෙන් ම වායුසමනයවල බලපෑම පිළිබඳව විමර්ශනය කරන ලද ඉන්දියානු විශේෂඥයන් පිරිසක් හැකි සෑම විට ම වායුසමන යන්ත්‍ර භාවිතයෙන් වැළකී සිටීමට පවා උපදෙස් දී තිබේ.

ගුවන් යානා සම්බන්ධයෙන් ගත් කළ වායු සමන යන්ත්‍ර මගින් මෙබඳු විශාල අවදානමක් ඇති කරන්නේ යැයි විශ්වාස කෙරෙන්නේ නැත. මීට හේතුව සාමාන්‍යයෙන් ගුවන් යානාවල අභයන්තර වාතය බාහර වාතය සමග මුහු කරමින් පිරිසිදු කිරීමේ හැකියාව ඇති දියුණු වායු සමන පද්ධතියක් තිබීමයි. කෙසේ වෙතත් ගුවන් යානා තුළ ද අවදානම බිංදුවක් ලෙස සැළකෙන්නේ නැති බැවින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයෙන් ම ක යුතුය.

මුහුණු ආවරණ භාවිතා කිරීම

වාතයේ අඩුපාඩු තිබුණත් මෙම වන්දනා නඩයේ බස්රථය තුළ ගමන් කළ සියලු දෙනා මුඛ ආවරණ පැළඳ සිටියේ නම් රෝගය පැතිරී යාම සිදු නොවන්නට ඉඩ තිබූ බව පර්යේෂකයන්ගේ අදහසයි. විශේෂයේන රෝගය ආසාදනය වී තිබූ පුද්ගලයා පමණක් හෝ මුඛ අවාරණ පැළඳ සිටියේ නම් රෝග ව්‍යාප්තිය විශාල ලෙස මැඩපවත්වාගැනීමට හැකි ව තිබූ බව ඔවුහු පෙන්වා දෙති. බොහෝ රෝග වාහකයන් කිසි විටෙක රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමට හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමටත් පෙර සිට ම රෝගය සම්ප්‍රේෂණය කිරීමට හෝ ඉඩ තිබෙන හෙයින් පොදු ප්‍රවාහන සේවයක ගවන් කරන සියලු දෙනා ම තමා මෙන් ම අන් අය ද රෝග වාහකයන් වීමට ඉඩ ඇතැයි සළකා ක්‍රියා කිරීම නුවණට හුරු ය. ඒ හේතුවෙන් ගමනේ ආරම්භයේ සිට අවසානය දක්වා ම මුහුණු ආවරණ පැළඳ සිටීමට සියු දෙනාා වග බලාගත යුතුය.

කාලය අඩු කිරීම

සංවෘත වටපිටාවක ගත කරන කාලය වැඩි වන තරමට එහි රෝග කාරක ඇත්නම් රෝගය වැළඳදීමට ඇති අවදානම ද ඉහළ යන බව අධ්‍යයනයක් මගින් පෙනී ගොස් ඇති තවත් කරුණකි. ඒ  නිසා පොදු ප්‍රවාහන සේවාවල ගත කරන කාලය හැකිතාක් අඩු කරනගැනීමට උත්සුක වීම වැදගත් ය. අනවහ්‍ය දුර ගමන්වලින් වැළකීමත් අත්‍යවශ්‍ය ගමනක දී හොඳින් වාත සංසරණය සිදු වන ප්‍රවාහන මාද්‍යයක් තේරා ගැනීමත් කළ හැකිය.

ගමන් බිමන් සඳහා හැකි සෑම විට ම කාර්යබහුල නොවන වේලාවට ටිකට් මිල දී ගැනීම, අන් අය ගෙන් හැකි තරම් ඈත් වීසිටීම මෙලෙස පොදු ප්‍රවාහන සේවාවල ඇති කොවිඩ් අවදානම අඩු කර  ගත හැකි තවත් උපක්‍රමයක් වේ. එමෙන්  පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන සියලු දෙනා ම සමබරතාව රැකගැනීම සඳහා අල්ලන ආධාරක වළලු සහ බට තිබේ. එබැවින් ගමනක ආරම්භයට පෙර හා ගමන යෑමෙන් පසු හොඳින් සබන් යොදා තත්ත්පර 20ක් වත් අත ‍සෝදා ගැනීම ඔබගේත් අන් අයගේත් ආර්ක්ෂාව පිණිස අනිවාර්යයෙන් කළ යුුතු අතිශය වැදගත් කටයුත්තක් බවත් අමතක නොකළ යුතුය.

දමිත නිපුණජිත් – විදුසර 

-Advertisement-

අසාදිත මාධ්‍යවේදියා කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමටත්, සිරිකොතටත් ගිහින්

0

රජයේ මාධ්‍ය ආයතනයක සේවයකරන මාධ්‍යවේදියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කොරෝනා ආසාදනය වූයේ යැයි සැකකරන මාධ්‍යවේදියා පසුගිය ඔක්තෝබර් මස 13 වැනි දින උදෑසන 9.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වී මාධ්‍ය හමුවකට සහභාගී වී ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරන බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව එම නිවේදනයේ දැක්වේ.

එදින මාධ්‍ය හමුවට සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන්ගේ තොරතුරු ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සෞඛ්‍ය අංශ වෙත ලබාදුන් බවත් ඒ අනුව අවශ්‍යතාවක් මතු වුවහොත් අදාළ සෞඛ්‍ය අංශ උපදෙස් හා මඟපෙන්වීම් සෞඛ්‍ය අංශ විසින් එම මාධ්‍යවේදී වෙත කඩිනමින් ලබාදෙනු ඇතැයි ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම හමුවට ගිය මාධ්‍යවේදීන් පවසන්නේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව මෙලෙස පැවැත්වූ බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීම සඳහා වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සහභාගී වී සිටියහ. මීට අමතරව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ද එම මාධ්‍ය හමුව සඳහා සහභාගී වූයේය.

කෙසේ වෙතත් වයිරසය ආසාදනය වූ බව පවසන මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණයන්හි ප්‍රතිඵල ලැබෙන තුරු එම මාධ්‍ය හමුවට සහභාගී වූ සියලු දෙනා බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂක නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දෙනමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත.

මෙම මාධ්‍යවේදියා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට ද සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදීන් හා සේවකයන් දැනුම්වත් කරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සියලුම මාධ්‍ය ආයතනවෙත දැනුම් දී තිබේ.

-Advertisement-

ගාල්ලේ ව්‍යාපාරික ස්ථානවල ගැටලුවක් නෑ

0

කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් ගම්පහ නීතිඥයකුගේ ආශ්‍රිතයකු බවට හඳුනාගත් ගාල්ල වටරැක පදිංචි තැනැත්තාගේ පීසීආර් පරීක්ෂණය අනුව ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම තැනැත්තා ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන දෙකකට හා ආපන ශාලවකට ගොස් තිබූ බවට ලැබුණු තොරතුරු අනුව එම ස්ථාන ජීවානුහරණය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් කලින් දැනුම් දී තිබිණි. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තැනැත්තාගේ පීසීආර් පරීක්ෂණය අනුව කොරෝනා ආසාදිතයකු නොවන බැවින් ගාල්ල නගරයේ ව්‍යාපාරික එම ව්‍යාපාරික ස්ථානවල සේවක සේවිකාවන් නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එබැවින් එම ව්‍යාපාරික ස්ථානවලට ‍‍පොදුවේ නිකුත්කර ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් කටයුතු කරන්න යැයි උපදෙස් ලබා දී ඇත.

-Advertisement-

රජයේ තොරතුරු තාක්ෂණ ටෙන්ඩර් පුද්ගලික අංශය

0

තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ රාජ්‍ය අංශයට අවශ්‍යය සැපයීම් ටෙන්ඩර් වැඩි අවස්ථා දේශීය කර්මාන්ත ව්‍යාපාරිකයින්ට ලබා දීමට රජය ගත් තීරණයට අනුව අදාල චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය අනුබද්ධ ව්‍යාපාර හා ආයතන වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පරිගණක මෘදුකාංග හා දෘඩාංග, ඉදිකිරීම් කර්මාන්තය හා ගෘහ භාණ්ඩ හා ආශ්‍රිත නිපැයුම් මීට ඇතුලත් වේ. එම චක්‍රලේඛයට අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රුපියල් මිලියන දෙකට අඩු සියලු කර්මාන්ත සැපයිම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) http://startupsl.lk වෙබ් අඩවියේ ලියාපදිංචි දේශීය Startup ව්‍යාපාරිකයන් හට ලබාදිය යුතුවේ.

ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ව්‍යවසායයකත්ව (Startup) වර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේ තාක්ෂණ නියෝජිතායතන මෙම වැඩසටහන අරඹා ඇත. මෙම නව ප්‍රතිපත්තිය තුළින් නව ව්‍යවසායකයන් startup ඔවුන්ගේ ව්‍යයාපාරික අත්දැකීම වර්ධනය කරගැනීමටත් නව ආර්ථික අවස්ථා උදාකර ගනිමටත් දිරියක් වනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා පවසයි. මෙරට පළමු වතාවට නව ව්‍යාපාරිකයන් (startup) සඳහා මෙම අවස්ථාව ලැබී ඇත. මෙමගින් දේශීය මෘදුකාංග හා දෘඩාංග නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ තුල තහවුරු කරගැනීමට හැකිවීමෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීමට අවස්ථාවක් උදාවේ. මේ නිසා රාජ්‍යය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද දේශීය නිෂ්පාදකයන්ගේ මෘදුකාංග හා දෘඩාංග මිලදීගෙන තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයේ වර්ධනයට සහාය දක්වන ලෙස ජයන්ත ද සිල්වා මහතා ඉල්ල සිටී. තම ආයතනය ඉදිරිපත් කළ යෝජනාවන් අනුව දේශීය තොරතුරු තාක්ෂණ නිපැයුම් සඳහා වූ බදු සම්පුර්ණයෙන්ම නිදහස් කිරිම එම ක්ෂේත්‍රයේ වර්ධනයට මහත් පිටිවහලක් වී තිබෙන බව ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දේ.

මේ අතර රුපියල් මිලියන දෙකකට වැඩි ටෙන්ඩර් මුල්‍යය ඇගයීමේදී අනිවාර්යය 30% ලකුණු ප්‍රමාණයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබාදිය යුතු බව ද එහි සඳහන් වේ. 51% වැඩි ආයෝජනයක් ඇති දේශීය ව්‍යාපාරිකයන් මිට ඇතුලත් වේ. එමෙන්ම මිලදී ගැනීම්වල දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ උපමානයන් හා උපදේශ ලබාගැනීම ද අත්‍යාවශ්‍ය බව මෙම චක්‍රලේඛයෙන් දක්වා තිබේ.

-Advertisement-

පකිස්තාන ආයෝජකයන් ලංකාවට කැමැත්තෙන්

0

ශ්‍රී ලංකාව සමඟ කර්මාන්ත ආශ්‍රිත හවුල් සමාගම් ආරම්භ කිරීමට පකිස්තාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඩ් සාද් කතක් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

පකිස්තාන ආයෝජකයන් පේෂකර්ම, සිමෙන්ති, සීනි හා ඖෂධ නිෂ්පාදනය වැනි කාර්මාන්ත ආශ්‍රිතව ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටි ය ද ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමේ දී ආයතනික හා නීතිමය බාධාවන් පවතින බැවින් එවැනි බාධාවන් ඉවත්කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී මහ කොමසාරිස්වරයා අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි බාධාවන් පැවැතී පිළිබඳව තමන් කණගාටුවන බවයි. එවැනි බාධා සඳහා විසඳුම් ලාදීමට රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පකිස්තාන ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍ය වීරවංශ මහතා කියා සිටියේය

මේ වනවිට දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01ක‍ ආනයන හා අපනයන වෙළෙඳාමක් සිදුකළ හැකිව තිබුණ ද සිදුවන්නේ ඩොලර් මිිලයන 450ත් 500ත් අතර වෙළෙඳාමක් පමණක් බවත් එය දෙරටටම වාසිදායක අගයක් දක්වා වැඩිකරගත හැකි බවත් මෙහි දී මහ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේය.

මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහඞ්, වෙළඳ හා ආයෝජන අංශයේ ප්‍රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

-Advertisement-

ඇඟළුම් පොකුර 1,789ක්

0

කොරෝනා ආසාදිතයන් 68 දෙනකු ඊයේ (15) දිනයේ දී වාර්තාවීම හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හටගත් පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (16) උදෑසන විද්‍යුත් නාලිකාවකට අදහස් දක්වමිනි.

එම ආසාදිතයන් අතරින් 22ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර අනෙක් 46 දෙනා ද මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලව ආශ්‍රිත ආසාදිතයන්ගේ සමීපතමයන් බව තහවුරු වී ඇතැ යුදහමුදාපතිවරයා එහි දී කියා සිටියේය.

ඔහු පවසන්නේ ඊයේ දිනයේ දී මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 36 දෙනකු, ගම්පහ ප්‍රදේශයෙන් 14 දෙනකු, කටුනායකින් 09 දෙනකු කඳානෙන් 03 දෙනකු කිරිඳිවැල හා කොළඹින් දෙදෙනකු බැගින්, සේනපුර හා වත්තල ප්‍රදේශවලින් එක් අයකු බැගින් වාර්තා වූ බවයි.

-Advertisement-

කොළඹ නගර සභා සේවා සිදුකෙරෙන අයුරු

0

කොරෝනා වසංගතය පැතිරීයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බැවින් නගර සභා ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති “සපිරි පියස” කවුළුව වෙත පැමිණෙන ලෙසත් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නාගරික කොමසාරිස්වරයා නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ මහ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළුවීම ඔක්තෝබර් 31 වැනි දින දක්වා තාවකාලිකව නවතා ඇති බවයි. මේ අතර නගරයේ සනීපාරක්ෂක සේවාවන්, සෞඛ්‍ය සේවාවන් හා ගිනි ආරක්ෂිත සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි බව නාගරික කොමසාරිස්වරිය පෙන්වාදෙයි.

කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොරෝනා ආසාදනය විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. අද (16) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහතිය ඇතුළු නාගරික මන්තීවරු පීසීආර් පරීක්ෂණයකට ලක්වීමට නියමිතව ඇත.

නාගරික කොසමසාරිස්වරයාගේ නිවේදනය පහත දැක්වේ.

-Advertisement-

කොරෝනා යාල ගියේ ඇඟළුම් කම්හලෙන්

0

යාල සංචාරක හෝටලයක මඟ පෙන්වන්නක ලෙස සේවය කරමින් සිටිය දී කොරෝනා ආසාදනය වූ තැනැත්තා ද මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා පොකුරට අයත් වූවකු බව යුද හමුදාපති ලුතිනන් ‍ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හමුදාපතිවරයා කියා සිටියේ නිරෝධායනයට ලක්වෙමින් සිටි යදී වෙනත් රෝග ලක්ෂණ පවසමින් ඔහු හම්බන්තොට රෝහලට ඇතුළත් වී තිබෙන බවයි. එහි දී කරන ලද පීසීආර් පරීක්ෂණයේ දී ඔහු ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබිණි.

මොහු පසුගිය දිනක සහභාගී වූ විවාහ මංගල උත්සවයකට මිනුවන්ගොඩ ඇඟළුම් ආයතනයට සම්බන්ධ පිරිසක් පැමිණ ඇති බව බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇත.

-Advertisement-

වසර 30,000ක් පැරණි ආයුධයක් ගාල්ලෙන් හමුවෙයි

0

ගාල්ල පිලාන ප්‍රදේශයෙන් ලැබුණු බව කියමින් අමුත්තකු විසින් තම කාර්යාලයට ගෙනවිත් දුන් අමුතු ලී කැබැල්ල වසර 30,000කට පමණ පෙරාතුව ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් භාවිතා කරන ලද දැවමය ආයුධයක් විය හැකියැයි පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂකයකු වන බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ තමන් ගාල්ල කොටුව පුරාවිද්‍යා කාර්යාලයේ සිටිය දී රත්ගම ජස්ටින් නමැති මහත්මයකු විසින් මෙම දැව කොටස රැගෙන ආ බවයි.

ඔහු ළිඳක් හාරමින් සිටිය දී අඩු 12ක් පමණ ගැඹුරේ දී විශාල ජල කඳක් ගලාගෙන ආ බවත් ඒ ජලයේ මේ දැව කොටස තිබූ බවත් පවසා ඇත. මෙහි යම් පුපරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සිතා එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන ඒමට කටයුතු කළ බව ජස්ටින් මහතා පවසා ඇත.

මෙම දැව කොටස සාමාන්‍යයෙන් කුඹුරුවල සහ මඩ වගුරුවල දැකිය හැකි මිල්ල වැනි අරටු කොටසක් විය හැකියැයි සිතා එය පරීක්ෂාකර බැලූ නාගොඩවිතාන මහතාගේ තීරණය වූයේ ඇතැම් විට මෙය ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ දෙයක් විය හැකි බවයි. මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අළහකෝන් මහත්මියට දැනුම් දුන් විට අළහකෝන් මහත්මිය සහ තවත් නිලධාරිනියක වන මංජුලා බුලත්සිංහල මහත්මිය ද එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මතය වූයේ ද සාමාන්‍ය අරටු කැබැල්ලක් විය නොහැකි බවත් එය කිසියම් කාර්යයකට භාවිතා කරන ලද්දක් විය හැකි බවයි.

ඒ අනුව එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාට පෙන්වූයේය.

එය පරීක්ෂා කළ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ අදහස වූයේ මෙය ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිතා කළ දැවමය ආයුධයක් විය හැකි බවයි. ඒ පිළිබඳ ආචාර්ය පෙරේරා මහතා මෙසේ කීවේය.

” ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් දැවමය ආයුධ විශාල වශයෙන් භාවිතා කරලා තිබෙනවා. ඒවා කාලයත් සමග දිරායන නිසා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හමුවන්නේ ගල් ආයුධ පමණයි. නමුත් මෙය අවුරුදු දහස් ගණනක් මඩ තට්ටුවක් සමඟ තිබී ආරක්ෂා වන්නට ඇත. මෙහි එක් පැත්තක් උල්කර තිබෙනවා. ගලක අතුල්ලා උල්කරන්න ඇති. පැරණි මානවයන් ආහාර සොයා යාමේ දී පොළොව සමග විශාල අරගලයක් කළා. කුඩා සතුන්ගේ ගුල් හාරා ඔවුන් ආහාරයට ගැනීමට, අල වර්ග ගලවා ආහාරයට ගැනීමට බිම් හෑරීමේ දී දැව ආයුධ තමයි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. ඒ වගේම සතුන් දඩයම් කිරීමට, මසුන් අල්ලා ගැනීමට දැව ආයුධ භාවිතා කළා. මේ එවැනි ආයුධයක් බව අපි අනුමාන කරනවා. නමුත් මේ ගැන ස්ථිර නිගමනයක් කරන්න නම් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි. පුරාවිද්‍යාත්මකව මෙහි පෘෂ්ඨය සියුම්ව පරීක්ෂා කර බලා අපිට නිගමනය කළ හැකියි එය සැබැවින් ම දැවමය ආයුධයක් ද කියලා. ඒ වගේ ම මෙය කාබන් සංස්ථානික කාල නිර්ණය මගින් කවර කාලපරිච්ඡේදයකට අයත්වනවා ද කියා සොයාගත හැකියි.”

පුරාවිද්‍යා නිලධාරී බුද්ධි නාගොඩවිතාන මහතා පවසන්නේ මෙය කිසියම් පුද්ගලයකු විසින් භාවිතා කළ බවට සියුම්ව පරීක්ෂා කිරීමේ දී පෙනී යන බවයි. ඔවුන්ගේ අනුමානය මෙම ආයුධය වසර 30,000ක් පැරණි හෝ ඒ ආසන්න කාලයකට අයත්විය හැකි බවයි.

ඉතාමත් දුර්ලභ ගනයේ ලී ආයුධයක් වන මෙය වැඩිදුර පර්යේෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති අතර පසුව එය මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ තැන්පත් කරන බව බුද්ධි නාගොඩවිතාන මහතා පැවසීය.

ඡායාරූප – බුද්ධි නාගොඩවිතාන මහතා

-Advertisement-