පුද්ගලික රෝහල පීසීආර් වරද්දයි. ලෙකෝ සේවකයන් අමාරුවේ

0
1988

පුද්ගලික රෝහලකින් පැවැත්වූ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල පදනම් කරගනිමින් කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට යොමු කළ ගාල්ලේ පෝද්දල පදිංචි ලෙකෝ සේවකයා ඇතුළු කිහිප දෙනකු යළි නිරෝධායන මධ්‍යස්ථානවෙත යැවීමට සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

එම කාර්යාලයේ ප්‍රකාශකයකු මේ බව කියා සිටියේ අප විසින් කරන ලද විමසීම් ගණනාවකට පසු පිළිතුරු ලබාදෙමිනි.

මෙම පීසීආර් පරීක්ෂණ සිදුකළ නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලක් කඳානේ විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් 12 දෙනකු ඇතුළු ‍තවත් සමාගම් කිහිපයක සාමාජිකයන් කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා ලබා දී තිබිණි. නමුත් පසුව එම රෝහල විසින් ම පවසා තිබුණේ එම විදුලි පුද්ගලික සමාගයේ පුද්ගලයන් 12 දෙනා අතරින් 07 දෙනකුගේ වාර්තා ධනාත්මක බවට වාර්තා ලබා දී ඇත්තේ වැරදීමකින් බවයි. තවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ ද වාර්තා රෝහලෙන් වරද්දා තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි

විදුලි පුද්ගලික සමාගමේ සේවය කළ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවකු ඇතුළු නිලධාරීන් ඒ වනවිටත් කොරෝනා ආසාදිතයන් යොමුකරන රෝහල්වෙත යොමුකර අවසන්ව තිබිණි. පුද්ගලික රෝහලෙන් තම වාර්තාව දෝෂ සහගතබව පැවසීමත් සමග වැරදි වාර්තා මත කොරෝනා ආසාදිතයන් ලෙස සැළකූ පිරිස රෝහල්වෙතින් ඉවත්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනාරාල් කාර්යාලය පවසයි.

මේ අනුව විදුලි පුද්ගලික සමාගමේ නිලධාරීන් අතරින් හත් දෙනකු ආපසු යැවීමට කටයුතු කර ඇත. මේ පිළිබඳ අප සමග අදහස් දැක්වූ ගාල්ලේ පෝද්දල පදිංචිකරුවා මෙසේ කීවේය.

”මට විශාල අසාධාරණයක් වුණා. මෙය නැවත නිවැරදි කරන්න කිසිම කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. මා පසුගිය 03 වැනි දා මගේ නිවසට ඇවිත් නැවත 06 වැනි දා කාර්යාලයට ගියාට පස්සේ දැනගත්තා අපේ කාර්යාලයේ වෙනත් නිලධාරයකුගේ දියණියක් කොරෝනා ආසාදනය වෙලා කියා. ඒ නිසා අපටත් නිවෙස්වල නිරෝධායනය වෙන්න සිදුවනවා කියා. මා නැත ගාල්ලට එනවා කියන්නේ මට කොරෝනා ආසාදනය වෙලානම් විශාල පිරිසක් අමාරුවේ දැමීමක්. ඒ ගැන අපි සාකච්ඡා කළාම අපේ සමාගම තීරණය කළා අපේ පීසීආර් පරීක්ෂණයක් කරන්න. මෙය රජයෙන් කරන්නේ නැහැ. ඒ නිසා පුද්ගලික රෝහලකින් කරවා ගත්තා. එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 8,800.00ක් බැගින් වැයවුණා. ඔවුන්ට සාම්පල දුන්නේ 10 වැනි දා. 13 වැනි දා උදේ ඒ රෝහලෙන් කතා කරලා කිව්වා මටත් තවත් හය දෙනෙකුටත් ආසාදනය වෙලා නැහැ නමුත් පස් දෙනෙක් ආසාදිතයි කියලා. නැවත සවස කඳාන පොලිසියෙන් කතා කරලා කිව්වා රෝහලෙන් අලුත්ම වාර්තාවක් ලැබිල තියෙනවා ඒ අනුව මමත් අසාදිතයෙක් කියා. සෞඛ්‍ය අංශවලින් මාව ලග්ගල රෝහලට ගෙන ගියා. මාව රඳවා තැබුවේ කොරෝනා රෝගීන් සමග පසුව දැනගත්තා මා ආසාදිතයෙක් බවට පුද්ගලික රෝහලෙන් පවසා තිබුණේ වැරදීමකින් කියලා. ඔවුන් කරපු වැරැද්ද නිසා මට රෝහලක ආසාදිතයන් සමග ඉන්න වුණා. මට ඉබේම කෙ‍ාරෝනා වයිරසයට නිරාවරණය වෙන්න වුණා. ඒ විතරක් නෙවෙයි අපි ආසාදිතයි කියලා අපේ පවුලේ අය පවා නිරෝධායනයට යොමු කළා. මගේ දරුවන් අධ්‍යාපනය ලබනවා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට විශ්වවිද්‍යාලවලට පවා මෙය ගැටලුකාරී දෙයක් වුණා. මා ප්‍රදේශයේ සමිති සමාගම් රැසක සාමාජිකත්වය දරණවා. මෙය මගේ ජීවිතයට විශාල කැලලක්. මේ ගැන මාධ්‍යවල, සමාජමාධ්‍යවල පවා ප්‍රචාරය වුණා. සමාජය අපි දිහා බැලුවේ අපි වරදක්කරපු මිනිස්සු හැටියට. මේවාට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. මට ඇත්තටම කොරෝනා තිබුණේ නැහැ. නමුත් වැරදි වාර්තාවක් නිසා මට කොරෝනා ආසාදිතයන් ඉන්න තැනට යන්න වුණා. ‍මේක මොන තරම් අසාධාරණයක් ද ?

ඔහු මේ කතාව අප සමග කීවේ පසුගිය 15 දා දහවලේ දී ය. ඒ වනවිටත් ඔහු සතුව නාරාහේන්පිට පුද්ගලික රෝහලකින් නිකුත් කරන ලද ඔහු ආසාදිතයකු නොවන බවට වූ වාර්තාවක් තිබිණි. මෙම වාර්තාව සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කරමින් අප මෙම පුද්ගලය පවසන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසීමට කොතෙක් උත්සාහ ගත්ත ද අද (16) රාත්‍රී 7.30 වනතුරු කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකිවිය. ඔහු ලබාදුන් පීසීආර් වාර්තාවේ සඳහන් රෝහලට අපි සිව් වතාවක් ඇමතුම් ගත්තෙමු. ඒ සෑම අවස්ථාක දී ම ඔවුන් කියා සිටියේ කොරෝනා කමිටුවට මා පවසන කරුණු යොමුකර කඩිනමින් පිළිතුරක් ලබාදෙන බවයි. නමුත් එම පිළිතුර මෙම සටහන තබන මේ මොහොතවන තුරු ලැබුණේ නැත.

කෙසේ වෙතත් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට එහි ප්‍රකාශකයකු කියා සිටියේ දී කොරෝනා ආසාදිතයැයි පැවසූ පුද්ගලයා ආසාදිතයකු නොවේ යැයි තම කාර්යාලයට කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. කෙසේ වුව ද ඔහු ආසාදිතයකු නොවේ යැයි තහවුරු වුව ද මේ වනවිට අනුගමනය කර ඇති නිරෝධායන ක්‍රියාමාර්ග දිගටම පවත්වාගෙන යාම සෞඛ්‍ය ප්‍රතිපත්තිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.

අසාදිතයැයි පැවසූ පුද්ගලයාගේ නිවසේ සිටි බිරිඳ, දරුවන් දෙදෙනා, මව, පියා සහ නැන්දණියක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ අතර 15 වැනි බ්‍රහස්පතින්දා වනවිට එම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් කියැවුණේ ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. එසේ වුව ද ඔවුන් නිවසේ ම නිරෝධායනයට යොමුකර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පුද්ගලික රෝහල වෙතින් වැරදි තොරතුරු ලබාදීමෙන් කොරෝනා ආසාදිතයන් සිටි රෝහල්වලට යැවූ පුද්ගලික අංශයේ සමාගම්වල සාමාජිකයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අතර ඇතැම් සමාගම් තම සාමාජිකයන් සඳහා ගෙවීම් සිදුකර නිරෝධායනය විය හැකි ලෙස නිරෝධායන කටයුතු සඳහා ‍ලබාගෙන ඇති හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

විදුලි සමාගමේ නිලධාරීන් ද ඒ අනුව දික්වැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරොධායනය වෙමින් සිටින අතර සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් තම අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඔවුන්‍ කොරෝනා ආසාදිතයන් සිටින රෝහලට යොමුකළ දින සිට දින 14කින් යළි පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බවත් එම ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනබවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරයකු අප සමග පැවසීය.

”පුද්ගලික අංශයේ මේ සේවකයන්ට යම් අසාධාරණයක් සිදුව තිබෙනවා. ඔවුන් දැනට නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඉදිරියේ දී සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් පසුව ඔවුන් සම්බන්ධයෙන් අදාල තීරණ ගන්නවා. එතෙක් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද නිවෙස්වලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. පුද්ගලික අංශයේ රෝහල් කිහිපයකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ අවසරය ලබා දී තිබෙනවා.” යැයි ද එම වෛද්‍යවරයා පැවසීය.

පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ රජය කියා සිටියේ පුද්ගලික අංශය ‍පීසීආර් පරීක්ෂණ සිදුනොකළ යුතු බවයි. එසේ වුව ද මෙවර ඒ සඳහා ඇතැම් රෝහල්වලට අවසර දී ඇත.

සෞඛ්‍ය අංශයේ ‍බොහෝ දෙනකු පවසන්නේ පුද්ගලික අංශයෙන් සිදුකරන පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති

බවයි.

(විශේෂ සටහන – විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ ගාල්ල පෝද්දල පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු භාවිතා කළ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කළ අය පවා සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්වන ලෙසත් අප rata.lk වෙබ් අඩවිය මීට පෙර වාර්තා කරන ලදී. එම තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගනිමිනි. අදාල කරුණු සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන හෝ පුද්ගලයන් වෙතින් මේ බව තහවුරු කිරීමෙන් හැර අප වෙබ් අඩවියේ පුවත් පළ කරන්නේ නැත. මෙම පුවත පළවීමෙන් දිනකට පසු අසාදිත පුද්ගලයා ලෙස හැඳින්වූ මහත්මයා අපවෙත කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ තමන් අසාදිතයකු නොවන බවයි. තමන් අසාදිතයකු බවට පත්කර ඇත්තේ පුද්ගලික රෝහලකින් පීසීආර් පරීක්ෂණය සම්බන්ධයෙන් ලබාදුන් වැරදි තොරතුරක් පදනම් කරගෙන බව ද ඒ මහතා කියා සිටියේය. ඒ බව ඔහු දැනුම් දුනේ 2020-10-15 වැනි දින සවස 2.00ට පමණය. ඒ මොහොතේ පටන් අප එම මහත්මයා කියූ කරුණු නිරවද්‍ය දැයි සොයා බැලීමට අදාල බලධාරීන් ඇමතුව ද කිසිවෙකුත් ඒ බව තහවරු කළේ නැත. දිගින් දිගටම ඒ මහත්මා තමන්ට සිදුවූ අසාධාරණය නිවැරදි කරන්න යැයි අපෙන් ඉල්ලා සිටිය ද අසාදිතයකු යැයි සෞඛ්‍ය අංශ විසින් පවසන ඔහු තමන් ආසාදිතයකු නොවේ යැයි කරනු ලබන ප්‍රකාශයන් සෞඛ්‍ය අංශ වෙතින් යළි තහවුරු කරගන්නා තුරු ප්‍රකාශයට පත්කිරීම අප මාධ්‍ය ප්‍රතිපත්තිය අනුව නොහැකිවීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි. නමුත් අප ගත් උත්සාහයන් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු හා නිලධාරීන් කිහිපදෙනකුගෙන් අද (16) රාත්‍රී 7.30 ට පමණ අදාල කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. එබැවින් පුද්ගලික රෝහලේ වැරදි වාර්තාවක් හේතුවෙන් අසාධාරණයට ලක්වූ ඒ මහතාගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාදවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. අගතියට පත්වන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටීමත් කිසිවකු අගතියට පත් නොකිරීමත් අප මාධ්‍ය භාවිතයේ ප්‍රතිපත්තිය වුව ද සෞඛ්‍ය බලධාරීන් යම් කරුණක් සනාථ කරන තුරු කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කරුණු සඳහන් කිරීමට අපට හැකියාවක් නොමැති බව ද යළිත් සහිපත් කරන්නෙමු.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here