2.7 C
New York
Home Blog Page 1304

කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?

0

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු කළ යුතු බව නොරහසකි.

එසේ වුව ද කුලියාපිටීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ගුණසේකර ඇතුළු කණ්ඩායමට ඇත්තේ ඉතාමත් අඩු පහසුකම් සහ ඉතා අඩු කාර්ය මණ්ඩාලයක් බැවින් කුලියාපිටියේ උද්ගත වී ඇති තත්ත්වය අනුව වෙනත් ප්‍රදේශවලින් හෝ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශවලම අදහසයි.

වෛද්‍ය උත්පල සංකල්ප මහතා අද (23) සිය Facebook පිටුවේ සටහන් තබමින් කියා සිටියේ ඊයේ බ්‍රහස්පතින්දා දිනයේ කුලියාපිටියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 14 දෙනා අතරින් 12 දෙනෙකු ම නිවෙස්වල ස්වයං නිරෝධායයට ලක්කර තිබූ පිරිස් බවයි.

වෛද්‍ය උත්පල සංකල්ප මහතා මෙසේ කියයි.

‘’ අපි සතියකට වඩා සමාජයට ගැටීම් වළක්වා තිබෙන නිවෙස්වලම නිරෝධායනයට ලක්කර සිටි දොළොස් දෙනෙක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 14 දෙනා අතර සිටියා. අපේ නිරෝධායන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වී තිබුණා. සමාජයට රෝගය පැතිරී යා හැකි අවස්ථා මේ දොළොස්දෙනා නිරෝධායනය කිරීම නිසා වළක්වාගැනීමට හැකියාව ලැබුණා. මුලින් එක් ආසාදිතයකු වෙනුවෙන් නිරෝධායන නියෝග තිහකට අධික සංඛ්‍යාවක් නිකුත් කළ මට ඊයේ ආසාදිතයන් හතර දෙනාගේම ආශ්‍රිතයන් වෙනුවෙන් නිකුත් කරන්න සිදුවුණේ නියෝග පනහකට අඩුවෙන්. මෙය ඇත්තටම ජයග්‍රහණයක්.”

කෙසේ වෙතත් කුලියාපිටියේ දැන් පවතින තත්ත්වය අනුව නිරෝධායන කටයුතු සිදුකිරීමට ද වෛද්‍යවරුන්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉතා අපහසු හා දුෂ්කර තත්ත්වයක් බටව පත්ව තිබේ. ආශ්‍රිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හා අවදානම වැඩවීම මීට හේතු වී තිබේ. වෛද්‍ය උත්පල පවන ආකාරයට එක් ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයන් සොයා ගැනීම මහත් අපසු කාර්යයක් වී ඇත. නමුත් ඔහුගේ කාර්ය මණ්ඩලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ සම්බන්ධව මහත් වෙහෙසකින් කටයුතු කරයි.

කෙසේ වෙතත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් ඉතා ඉක්මණින් වෙහෙසට පත්වීම හා ඔවුන් ද දැඩි අවදානමකට ලක්වීමයි. එමෙන් ම නිරෝධායනය වන පුද්ගලයන්ට සුබ සාධන කටයුතු සිදුකිරීම ද අපහසු මට්ටමකට කඩිනමින් ළඟාවනු ඇත.

පසුගිය දිනවල ආසාදිත වීමට ඉඩ ඇතැයි අවදානමක් තිබූ රෝගීන් පරීක්ෂා කිරීමට රෝහල වෙත රැගෙන ඒම ගිලන් රථ හෝ ආරක්ෂිත වාහන නොමැතිවීම නිසා ප්‍රමාද වන බව දක්නට ලැබිණි. එසේම ඇතැම් රෝගීන්ට තමන්ගේ පුද්ගලික වාහනවල පැමිණෙන ලෙස ද දන්වා තිබිණි.

පසුව වාහන ගැටලුව විසඳාගත හැකි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති විජේසිරි ඒකනායක මහතා ලබාදුන් වාහන වලිනි. එසේ වුව ද අසාදිතයන් හා ස්පර්ශ වූ ඇතැම් පුද්ගලයන් පරීක්ෂණ සඳහා ගෙන ඒම සිදුකරන ලද්ද් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් විසින් තම පුද්ගලික වාහන වලිනි.

යාකරවත්ත ගුරු විද්‍යාලයේ පවත්වාගෙන යන කුලියාපිටියේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිරෝධායන පිරිස්වලට ආහාර සැපයීමේ නිශ්චිත වැඩපිළිවෙලක් මෙතෙක් සකසා නැත. එම කාර්යමණ්ඩලවට පිටතින් ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සෞඛ්‍ය රෙගුලාසි අනුව තහනම් බැවින් ඔවුන්ට ආහාර සපයනු ලබන්නේ රෝහලේ වෛද්‍යවරු විසින් තම පෞද්ගලික මුදල්වලිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ විමසීමට අප ප්‍රාදේශීය ලේකම්වරයා ඇමතීමට උත්සාහ ගත්ත ද ඔහුගේ ජංගම දුරකථනය දින තුනක කාලක් සිට අක්‍රිය වී තිබෙන බව කාර්යාලයේ දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනයක කියා සිටියාය.

ප්‍රදේශවාසීණ් පවසන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරුණ ද පරීක්ෂණ කටයුතු සහ නිරෝධායන කටයුතු සඳහා ප්‍රමාදයන් සිදුවන බවයි. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ කඩිනම් අවධානයට යොමුවිය යුතු බව සඳහන් කළ යුතුය. නැතිනම් සිදුවන්නේ මේ වනවිට වෙහෙසෙමන් කටයුතු කරන වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙහෙසට පත්වීමත් සමගම ප්‍රදේශයේ ජනතාව තවත් අසරණවීමයි.

-Advertisement-

කරාපිටිය පිළිකා ඒකකයේ දී වෛද්‍යවරු ගැටෙති

0

රජ‌යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු අද (23) කරාපිටිය පිළිකා ශල්‍ය ඒකකයේ රාජකාරීයට බාධාවන අයුරින් හැසිරෙමින් තමන් ඇතුළු කාර්ය මණ්ඩලය ට ද බැණ වැදුණු බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පොලිසියට සහ රෝහල් අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කර ඇත.

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා පවසන්නේ පිළිකා ඒකකයේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් පිළිබඳ සිද්ධියක් හේතුවෙන් මෙවැනි කලබලයක් ඇති වූ බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය දීර්ඝකාලය සිට ප්‍රශ්නගත බවයි. මෑත දින කිහිපයක දී ම ගැටලු කිහිපයක් ඇති වූ බවත් අද (23) දිනයේ තම සාමාජිකාවක් විසින් කරන ලද පැමිණිල්ලකට ආදාල ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණි අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා වෛද්‍ය කණ්ඩායමකට බැණ වැදී ඇති බවයි. ඒ් පිළිබඳ තම සංගමය ද පොලිසියට හා අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පිළිකා ඒ්කකයේ සේවය කරන වෛද්‍යවරියක විසින් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් එය විභාග කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පැමිණ සිටිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් පැමිණ කාර්ය මණ්ඩලයට හා තමන්ට බැණ වදිමින් ආරවුලක් ඇතිකරගත් බව විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පොලිසියට කරන ලද  පැමිණිල්ලේ සටහන් කර ඇත. වෛද්‍යවරයා පවසා ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණිල්ල කළ එම වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටින බවයි.

මේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

“ රෝහලේ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුකිරීම් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිමතය පරිදි. මෙය විශාල කරදරකාරී දෙයක්. පිළිකා ඒකකය වැනි විශේෂිත ඒකකවල සිටින වෛද්‍යවරු ඔවුන්ගේ හිතුමතයට වෙනත් තැන්වලට මාරුකරනවා. ඒ විතරක් නෙවෙයි එලෙස මාරුකරන අය වෙනුවට වෙනත් වෛද්‍යවරයකු ලබාදෙන්නෙත් නැහැ. ඒ නිසා මම මේ ක්‍රියාවලියට මුල සිටම විරුද්ධ වුණා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට නිතර නිතර ගැටලු ඇතිකරන්න උත්සාහ ගත්තා. මේ එවැනි පළමු අවස්ථාව නෙවෙයි.”

විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ කුරුණෑගල සිට ගාල්ල කරාපිටිය රෝහලට ස්ථාන මාරුවක් ලබා පැමිණි වෛද්‍යවරියක තමන්ට සති අන්තයේ සේවා සැපයිය නොහැකි බවත් හදිසි ඇමතුම් මත සේවා කිරීමට තමන් සූදානම් නැති බවත් පැවසීම මෙම ගැටලුවට මුල් වූ බවයි. ඇය දිගින් දිගටම පිළිකා ඒකකයේ සාමාන්‍ය රටාවට අනුව සේවා සැපයීම ප්‍රතික්ෂේප කරමින් ස්ථාන මාරුවීමක් ඉල්ලා ඇත. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ ස්ථානමාරුවක් දීමට හැකිවන්නේ වෙනත් වෛද්‍යවරයකු ඇය වෙනුවෙන් අනුයුක්ත කරන්නේ නම් පමණක් බව තමන් රෝහල් අධ්‍යක්ෂවරයාට ද දැනුම් දුන් බවයි. එලෙස වෙනත් වෛද්‍යවරයකු ලබා නොදුන් බැවින් ඇයගේ ස්ථානමාරුවීම් තමන් අනුමත නොකළ බව ද ඒ හේතුවෙන් තමන්ට මානසික පීඩාවක් ඇතිවන බවත් තමන් ඇයට හිරිහැර කරන බවත් පවසමින් වෛද්‍යවරිය ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිළි කර තිබූ බව ද වෛද්‍ය පෙරේරා මහතා කීවේය.

අද (23) එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට පැමිණ තිබේ. ඔවුන් පැමිණ සිටිය දී එම ස්ථානයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බව ද වෛද්‍යවරයා පවසයි.

“ මම පිළිකා ශල්‍යකර්ම කරමින් සිටිය දී පොලිසිය විමර්ශන කටයුතු සඳහා ආවා. මේ වෙලාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු 10 දෙනෙක් විතර ඇවිත් අපේ රාජකාරීවලටත් බාධා කරමින් රණ්ඩුවක් පටලවා ගත්තා. කරාපිටියේ වෛද්‍යවරුත් පිටින් පැමිණි වෛද්‍යවරු කිහිප දෙනෙකුත් එතැන සිටියා. මා වරදක් කර නැහැ. ඔවුන් තමන්ගේ හිතවත් වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ගැන විවාදයක් නැහැ වෛද්‍යවරුන්ගේ සංගමයක් නේ. නමුත් ඔවුන්ට බැහැ රෝහලේ රෝගීන්ගේ යහපත වෙනුවෙන් කරන දේවල්වලට එරෙහි වෙන්න. අපි පිළිකා රෝගීන් වෙනුවෙන් කටයුතු කරන පිළිවෙලක් තියෙනවා. මේ ඒකකයේ වෛද්‍යවරු වගේම සමස්ථ කාර්ය මණ්ඩලයම ඒ සඳහා අනුගතව වැඩ කරනවා. ඒ අනුව කටයුතු කරන්න බැරි අයට ස්ථානමාරුවීම් දෙන්න පුළුවන් නමුත් පුරප්පාඩුවලට වෛද්‍යවරු අවශ්‍යයි. රෝගීන් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලන්නේ නැහැ. ඔවුන් හැසිරෙන විදිය ඇත්තටම අපසන්නයි. මා මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයාටත් පොලිසියටත් පැමිණිලි කළා.”

රෝහල් පොලිසියෙන් මේ පිළිබඳ විමසූ විට කියා සිටියේ ස්ථානාධිපතිවරයා විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ පැමිණිල්ල සටහන් කරගෙන එය ඉදිරි කටයුතු සඳහා ගාල්ල මූලස්ථාන පොලිසියට යොමුකළ බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය උබය බණ්ඩාර වරකාගොඩ මහතා මෙසේ කීවේය.

“ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය ඉතාමත් ගැටලු සහගතයි. වරින් වර වෛද්‍යවරුන්ට, රෝහල්කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීම් හා පහරදීම් කරනවා. මේ සම්බන්ධව පොලිසියේ පැමිණිලි ගණනාවක් තිබුණත් කිසිම අවස්ථාවක දී ඒ් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. මේ ආසන්න දිනවලත් ප්‍රශ්නගත සිදුවීම් කිහිපයක් ම සිදුවුණා. අපේ සංගමයේ හිටපු ලේකම්වරයාටත් තර්ජනය කර තිබුණා. පිළිකා ඒ්කකයේ ගර්භනී තත්ත්වයේ ඉන්න වෛද්‍යවරියකට විශේෂඥ වෛද්‍යවරයා දිගින් දිගටම මානසික පීඩා කරන බවට පැමිණිලි තිබුණා. ඒ් ගැන අපේ සංගමය පවා දැනුම්වත් කර තිබුණේ. පසුගිය දිනක එම වෛද්‍යවරියට පහර දී තිබුණා. මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ කරන ලද පැමිණිල්ලකට අනුව අද පොලිස් කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂණයකට ආවා. ඒ් මොහොතේ අපේ සාමාජික එම වෛද්‍යවරිය තනිවන නිසා අපේ සාමාජිකයන් පිරිසක් එතැනට ගියා. අපේ සාමාජිකයන් රණ්ඩුවක් පටන් ගත්තේ නැහැ. ක්‍රිෂාන්ත පෙරේරා මහතා තමයි අපට බැණ වදිමින් ආරවුලක් ඇතිකරගත්තේ. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක්. අපි වෛද්‍යවරුන් ලෙස රෝගීන්ගේ සත්කාරක සේවා පවත්වාගෙන යන අතරම වෛද්‍යවරුන්ගේ අභිමානය හා සුබසාධනය වෙනුවෙන් සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. කිසිම වෛද්‍යවරයකු තවත් වෛද්‍යවරයකුට හිරිහැර නොකළ යුතුයි.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (23) කරාපිටිය පිළිකා ඒ්කකයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට එ‌රෙහිව තම සංගමය ද ගාල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු කළ බවයි.  මෙම පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වන්න් නැත්නම් වෘත්තීය වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තම සංගමය කටයුතු කරන බවත් ඒ පිළිබඳ අද සවස සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වෛද්‍ය වරකාගොඩ මහතා කීවේය.  

-Advertisement-

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් හදිසියේ ම අභාවප්‍රාප්ත වෙයි

0

මාතර දිස්ත්‍රික් සහකාර ලේකම් නදී ජයවික්‍රම මහත්මිය අද (23) මාතර මහ රෝහලේ දී හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මාතර පදිංචිකාරියක වන ඇය ඊයේ (22) දිනයේ දී ද කාර්යාලයේ සේවය කර තිබේ.

ගර්භණී තත්ත්වයෙන් පසු වූ ජයවික්‍රම මහත්මිය අද (23) උදෑසන මාතර පුද්ගලික ආරෝග්‍ය ශාලවකට රුධිර පරීක්ෂණයක් සඳහා ගොස් ඇති අතර එහි දී ක්ලාන්ත ගතියක් ඇති වීම හේතුවෙන් මාතර මහ රෝහලට ගෙන ගොස් තිබේ. මාතර රෝහලට ගෙන යනවිට සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවූ ඇය එහි දී අභාවප්‍රාප්ත වූවාය.

-Advertisement-

මාගාල්ලේ ආසාදිතයෙක් නිසා ගාල්ලේ ව්‍යාපාරිකයන් නොසන්සුන්

0

ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධීකාරියේ මාතර කාරයාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම අද ගාල්ල නගරයේ වෙළඳ ව්‍යාපරිකයන් කිහිප දෙනකු නොසන්සුන්තාවකට පත්ව සිටියහ.

ඔවුන් මෙලෙස නොසන්සුන් වී තිබුණේ ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරියේ වායුසමන යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා එම නිලධාරියාගේ සමීපතමයකු පැමිණ ඇතැයි ලැබුණු තොරතුරක් හේතුවෙනි. අද (23) උදෑසන ගාල්ල ටැල්බට් ටවුමේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ භාණ්ඩ වෙන්දේසියක් ද පැවැත්වුණු අතර ඒ් සඳහා 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මේ අතර වෘත්තීය පුහූණු අධිකාරිය ඉදිරිපිට වෙළෙඳ සැල් කිහිපයක් වසා දමා එම ව්‍යාපාරිකයන් විසින් වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලය විෂබීජහරණය කරන ලෙසත් වෙන්දේසිය නවතා දමන ලෙසත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව මහජන පරීක්ෂකවරු මෙම ස්ථානයට පැමිණෙන විට අදාල වෙන්දේසිය අවසාන වෙමින් තිබූ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරමින් සිටි ආසාදිත නිලධාරියා ගාල්ලේ කාර්යාලයට පැමිණ නැති බවයි. ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද එතෙක් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස උපදෙස් දී ඇති බව ද ඔහු කියා සිටියේය.

-Advertisement-

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය වසා දමයි.

0

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි.

තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින අතර ඉන් පසු ලැබෙන සෞඛ්‍ය උපදෙස් අනුව කාර්යාලයේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය.

-Advertisement-

බේරුවල වරායේ ආසාදිතයන් 10ක්. වරායත් වසා දමයි.

0

බේරුවල ධීවර වරායට නිතර පැමිණෙන පුද්ගලයන් 10 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ අද (23) සිට නැවත දැනුම්දෙන තුරු බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමූ බව වරාය කළමනාකරවරයා පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායකයන් 10 දෙනකුට මෙලෙස කොරෝනා ආසාදිත වී ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව කොරෝනා පැතිරයාම හේතුවෙන් ඊයේ ධීවර වරාය කිහිපයක අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකෙරිණි. ඒ අනුව බේරුවල ධීවර වරායේ පුද්ගයන් 100ක පිරිසකගේ ජෛව සාම්පල ලබාගෙන ඊයේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා පවසන්නේ ධීවර වරායේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම පිළිබඳ නිරන්තරව ම ධීවරයන් දැනුම්වත් කර තිබූ අතර පිටතින් පැමිණෙන පුද්ගලයන්ට ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා තිබූ බවයි.

-Advertisement-

ගාල්ල ධීවර වරායේ ආසාදිතයන් 07ක්. වාර්තා සියල්ල තවම නෑ

0

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන්ගේ මෙතෙක් ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් 07 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම වාර්තා අද (23) උදෑසන ලැබී තිබිණි. ඊයේ (22) දින යේ දී ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබිණි. මෙම වාර්තා සියල්ල මෙතෙක් ලැබී නැත. ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ එම වාර්තා අද දිනයේ දී ලැබෙනු ඇති බවයි.

මේ අනුව දැනට හඳුනාගෙන ඇති ධීවරයන් සියලු දෙනා කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යොමුකරන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ සොයා බලා ඔවුන් සියලු දෙනාම නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ දිනයේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදුන් සියලුු දෙනාට තව දුරටත් වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධ නොවූ හුදකලාව සිටින ලෙස උපදෙස් දී තිබේ.

-Advertisement-

ටෙලිෆෝනයේ අයිතිකාරිය ‘ඩයනා’ කියූ ආන්දෝලනාත්මක කතාව

0

‘’ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මට විශ්වාසයි. බලයක් නැතිව පඹයෙක් වගේ වැඩ කරන්න බෑ. ඒ නිසා මම හිතට එකඟව ඡන්දය දුන්නා” යැයි සමගි ජනබලවගයේ හිමිකාරීත්වය ඇති එහි උප ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

වික්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය ඊයේ (22) තීරණය කර තිබුණේ 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට වුව ද ඩයනගා ගමගේ මන්ත්‍රීවරිය ඇතුළු කිහිප දෙනෙක් ව්‍යවස්ථාවට සහයෝගය ප්‍රකාශ කළහ.

ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇය මාධ්‍යවේදීන්ට මෙසේ අදහස් දැක්වූවාය.

‘’මගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය පාවිච්චි කළා. කිසිම වරදාන වරප්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. පුළුවන්නම් මම වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් වැඩ කළා කියලා ඔප්පු කරන්න. සමහරු කියනවා සල්ලි ගත්තා කියලා.. ඒවාට අපිප නැවෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් අපේ පක්ෂය සමගි ජන බලවේගය හදලා ඒකටත් සල්ලි ගන්නවානේ. අපි ඒහෙම කළේ නෑ. මම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් තමයි නමුත් මම වව්නියාාවෙන් ඡන්දෙ ඉල්ලුවත් දිනනවා. මගේ පක්ෂය දීලා ඔක්කොම භාරදීලා හදවතින් ම ඒ් පක්ෂය මම දුන්නා. අද මගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය දුන්නා. අපි එක දෙයක් මතක තියාගන්න අවශ්‍යයි. මොකද මේ රටේ ජනතාව ලොකු වියදමක් කරලා ජනාධිපති කෙනෙක් පත්කරනවා. ජනාධිපතිට වැඩක් කරන්න පුළුවන් කම තියෙන්න අවශ්‍ය්‍යි. නාමික ජනාධිපතිවරයෙක් රටටකට මොකටද ? මට ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා මේ රට හදයි කියලා.

මම සමග ජන බලවේගයේ උප ලේකම් හැටියට මේ පක්ෂයේ දිගටම ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා නායකයා. ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා. මගේ මහත්තයා සේනක ද සිල්වා උප සභාපති. සජිත් ජනාධිපතිවුණානම් එතුමා මේ බලය එපා කියනවා ද ? ෆොන්සේකා මහත්තයා ආවනම් එයා එපා කියනවා ද ? මට බලයක් නැතිව මම පඹයෙක් වගේ ඉන්නම් කියලා කියනවා ද ? එහෙම බලයක් නැතිව මොකට ද ජනාධිපතිවරයෙක්. අපි ජනාධිපතිකම අහෝසිකරමු. හැමෝම එකතුවෙලා ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් හදමු.”

-Advertisement-

අද (22) දිනයේ කොරෝනා ආසාදිතයන් 309ක්

0

කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම රෝගීන් අතරින් 188 දෙනකුම වාර්තාවන්නේ පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයෙනි. නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 02කි. කටුනායක ආයෝජන කලාපයෙන් ආසාදිතයන් 22ක් හඳුනාගෙන ඇති අතර අසාදිතයන්ගේ සමීප සම්බන්ධතා අතරින් 97 දෙනකු ආසාදිත බව හඳුනාගෙන ඇත.

-Advertisement-

20 තුනෙන් දෙකෙන් සම්මතයි

0

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තෙවැනිවර කියවීම මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය.  

ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළහ.

ඒ අනුව 20වැනි සංශෝධනය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත විය.

-Advertisement-