කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?

0
226

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු කළ යුතු බව නොරහසකි.

එසේ වුව ද කුලියාපිටීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප ගුණසේකර ඇතුළු කණ්ඩායමට ඇත්තේ ඉතාමත් අඩු පහසුකම් සහ ඉතා අඩු කාර්ය මණ්ඩාලයක් බැවින් කුලියාපිටියේ උද්ගත වී ඇති තත්ත්වය අනුව වෙනත් ප්‍රදේශවලින් හෝ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශවලම අදහසයි.

වෛද්‍ය උත්පල සංකල්ප මහතා අද (23) සිය Facebook පිටුවේ සටහන් තබමින් කියා සිටියේ ඊයේ බ්‍රහස්පතින්දා දිනයේ කුලියාපිටියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 14 දෙනා අතරින් 12 දෙනෙකු ම නිවෙස්වල ස්වයං නිරෝධායයට ලක්කර තිබූ පිරිස් බවයි.

වෛද්‍ය උත්පල සංකල්ප මහතා මෙසේ කියයි.

‘’ අපි සතියකට වඩා සමාජයට ගැටීම් වළක්වා තිබෙන නිවෙස්වලම නිරෝධායනයට ලක්කර සිටි දොළොස් දෙනෙක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 14 දෙනා අතර සිටියා. අපේ නිරෝධායන ක්‍රියාවලිය ඉතාමත් සාර්ථක වී තිබුණා. සමාජයට රෝගය පැතිරී යා හැකි අවස්ථා මේ දොළොස්දෙනා නිරෝධායනය කිරීම නිසා වළක්වාගැනීමට හැකියාව ලැබුණා. මුලින් එක් ආසාදිතයකු වෙනුවෙන් නිරෝධායන නියෝග තිහකට අධික සංඛ්‍යාවක් නිකුත් කළ මට ඊයේ ආසාදිතයන් හතර දෙනාගේම ආශ්‍රිතයන් වෙනුවෙන් නිකුත් කරන්න සිදුවුණේ නියෝග පනහකට අඩුවෙන්. මෙය ඇත්තටම ජයග්‍රහණයක්.”

කෙසේ වෙතත් කුලියාපිටියේ දැන් පවතින තත්ත්වය අනුව නිරෝධායන කටයුතු සිදුකිරීමට ද වෛද්‍යවරුන්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඉතා අපහසු හා දුෂ්කර තත්ත්වයක් බටව පත්ව තිබේ. ආශ්‍රිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හා අවදානම වැඩවීම මීට හේතු වී තිබේ. වෛද්‍ය උත්පල පවන ආකාරයට එක් ආසාදිත කාන්තාවකගේ ආශ්‍රිතයන් සොයා ගැනීම මහත් අපසු කාර්යයක් වී ඇත. නමුත් ඔහුගේ කාර්ය මණ්ඩලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ සම්බන්ධව මහත් වෙහෙසකින් කටයුතු කරයි.

කෙසේ වෙතත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් ඉතා ඉක්මණින් වෙහෙසට පත්වීම හා ඔවුන් ද දැඩි අවදානමකට ලක්වීමයි. එමෙන් ම නිරෝධායනය වන පුද්ගලයන්ට සුබ සාධන කටයුතු සිදුකිරීම ද අපහසු මට්ටමකට කඩිනමින් ළඟාවනු ඇත.

පසුගිය දිනවල ආසාදිත වීමට ඉඩ ඇතැයි අවදානමක් තිබූ රෝගීන් පරීක්ෂා කිරීමට රෝහල වෙත රැගෙන ඒම ගිලන් රථ හෝ ආරක්ෂිත වාහන නොමැතිවීම නිසා ප්‍රමාද වන බව දක්නට ලැබිණි. එසේම ඇතැම් රෝගීන්ට තමන්ගේ පුද්ගලික වාහනවල පැමිණෙන ලෙස ද දන්වා තිබිණි.

පසුව වාහන ගැටලුව විසඳාගත හැකි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති විජේසිරි ඒකනායක මහතා ලබාදුන් වාහන වලිනි. එසේ වුව ද අසාදිතයන් හා ස්පර්ශ වූ ඇතැම් පුද්ගලයන් පරීක්ෂණ සඳහා ගෙන ඒම සිදුකරන ලද්ද් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීන් විසින් තම පුද්ගලික වාහන වලිනි.

යාකරවත්ත ගුරු විද්‍යාලයේ පවත්වාගෙන යන කුලියාපිටියේ රෝහල් කාර්ය මණ්ඩලයේ නිරෝධායන පිරිස්වලට ආහාර සැපයීමේ නිශ්චිත වැඩපිළිවෙලක් මෙතෙක් සකසා නැත. එම කාර්යමණ්ඩලවට පිටතින් ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සෞඛ්‍ය රෙගුලාසි අනුව තහනම් බැවින් ඔවුන්ට ආහාර සපයනු ලබන්නේ රෝහලේ වෛද්‍යවරු විසින් තම පෞද්ගලික මුදල්වලිනි.

කෙසේ වෙතත් මේ පිළිබඳ විමසීමට අප ප්‍රාදේශීය ලේකම්වරයා ඇමතීමට උත්සාහ ගත්ත ද ඔහුගේ ජංගම දුරකථනය දින තුනක කාලක් සිට අක්‍රිය වී තිබෙන බව කාර්යාලයේ දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනයක කියා සිටියාය.

ප්‍රදේශවාසීණ් පවසන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරුණ ද පරීක්ෂණ කටයුතු සහ නිරෝධායන කටයුතු සඳහා ප්‍රමාදයන් සිදුවන බවයි. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ කඩිනම් අවධානයට යොමුවිය යුතු බව සඳහන් කළ යුතුය. නැතිනම් සිදුවන්නේ මේ වනවිට වෙහෙසෙමන් කටයුතු කරන වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෙහෙසට පත්වීමත් සමගම ප්‍රදේශයේ ජනතාව තවත් අසරණවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here