සෝමාවතිය වරද්දාගෙන. නියම සෝමාවතිය වෙල්ගම් වෙහෙර

0
207

කාවන්තිස්ස රජුගේ සහෝදරිය වූ සෝමා දේවිය විවාහ වී සිටි ගිරිඅබා නම් ප්‍රාදේශීය රජු විසින් සේරුවිල කෙලවරෙහි පැරණි සෝම නුවර බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරවා ස්තූපයක් කරවූ බව වංශකතා සාධකයන් හි සඳහන් වේ.

කෙසේ වෙතත් මේ ස්තූපය නිවැරදිව හඳුනාගැනීමට අපහසු වූ අතර වර්තමානය වනවිට බොහෝ දෙනකු විශ්වාස කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සෝමාවතී පුදබිම ගිරිඅබා රජු සහ සෝමාදේවිය විසින් බුදුන්ගේ දකුණු දළදාව තැන්පත් කරවා ඉදිකරන ලද චෛත්‍යය සහිත භූමිය විය හැකි බවයි.

නමුත් එම දාගැබ සොයාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ කාලයේ පටන් එය බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කළ දාගැබ විය නොහැකියැයි පුරාවිදයාඥයන් අතර මතයක් තිබිණි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1954 දී පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙසේ දක්වා තිබේ.

”තමන්කඩු දිසාවේ සෝමවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය. මේ දාගැබෙහි දළදා නමක් තුන්වෙනි සියවසින් පෙර කාලයක දී නිදන් කරන ලද බැව් බොහෝ අය විශ්වාස කරති. එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේය.” (1954 වර්ෂය පිළිබඳ පුරාවිදු අධිකාරි තැන ගේ පාලන වාර්තාව IV කොටස – අගෝස්තු 1955 ආණ්ඩුවේ නියමයෙන් මුද්‍රණය කරන ලදි. A.S.C.A.R 1954

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ ද පොළොන්නරුවේ වර්තමාන සෝමාවතී විහාරය දකුණු දළදා නිදන් කළ විහාරය විය නොහැකියැයි පවසති.

”දැනට පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෝමාවතී චෛත්‍යය ලෙස හඳුන්වන ස්ථානයෙන් හමුවූ සෙල්ලිපියක මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සාමාජිකයන් ගැන සඳහන් වෙයි. එක් ලිපියක ස්ථාන නාමය දක්වා ඇත්තේ ‘පජින නකල අරබ (ප්‍රාචීන නාගාරාමය)’ යන නමිනි. තවත් ලිපියක ‘මණි අගිය රජමහ විහර (මණිඅග්ගික රාජ මහා විහාරය)’ වශයෙන් දක්වා ඇත. මෙයින් පැරණිම ලිපිය ක්‍රිස්තු වර්ෂ 9-21ත් අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ කාලයට අයත්වන අතර එම ලිපිය අනුව ආරාමය කරවා ඇත්තේ එතුමාගේ පුත්‍රයකු වූ නමුත් වංශකතාවල නොදැක්වෙන නකල නම් කුමාරයෙක් විසිනි. සෝමා දේවිය නමින් කර වූ සෝමාවතී විහාරය මෙය නම් එය කරවා සියවස් දෙකක් ගත වෙන්නටත් පෙර එය අමතක කර දැමීම‍ හෝ නම වෙනස් වීමට හෝ හේතුවක් තිබිය යුතුය. එබඳු හේතුවක් ද නොපෙනන බැවින් හා ග‍ඟේ ද ගමන් මඟ වෙනස් වීම පිළිගත්ත ද නියම සෝමාවතිය මෙය නොවන බව පැහැදිලි වේ.”  (සැඟවුනු ඓතිහාසික පුදබිම්-2014, පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණසූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි – පිටු අංක 34)

සී.ඩබ්ලිව්. නිකොලස් විසින් පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය ග්‍රන්ථයේ ද දක්වා ඇත්තේ වර්තමානයේ සෝමාවතී පුදබිම ලෙස හැඳින්වෙන ස්ථානය සැබෑ සෝමාවතිය නොවන බවයි. ඒ මතය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ලංකා ශිලා ලේඛන සංග්‍රයේ විස්තරයකින් අනුමත කර ඇත.

දකුණු දළදාව නිදන් කර ගිරිඅබා රජු සහ සෝමා දේවිය විසින් ඉදිකරන ලද දාගැබ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ ඉදිකරනු ලැබූවකි. වත්මන් සෝමාවතී දාගැබ නකල කුමරු විසින් ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ඉදිකරන ලද්දක් යැයි සෙල්ලිපිවලින් තහවුරු වී ඇත. එබැවින් වත්මන් සෝමාවතිය දකුණු දළදාව තැන්පත් කළ දාගැබ යැයි මෙතෙක් තහවුරු වී නැත. 

පුරාවිද්‍යා මතය එසේ වුව ද බෞද්ධ ජනතාව වර්තාමනයේ සෝමාවතී දාගැබ ලෙස හැඳින්වෙන චෛත්‍යයේ බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර ඇතැයි විශ්වාස කළහ.

උතුරු නැගෙනහිර පළාත් හි පැවැති යුද්ධය අවසන්වීමෙන් පසු නැගෙනහිර පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල යටතේ පසුගිය 2015 වර්ෂයේ දී පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලද විල්ගම් වෙහෙර එදා ගිරිඅබා රජු විසින් බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර ඉදිකරන ලද චෛත්‍ය විය හැකියැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

මේ අනුව නැවතත් සෝමාවතී දැගැබෙහි දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇතැයි තිබූ මතය අභියෝගයට ලක්වේ.

ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී මහින්ද නම් තෙරනමක් තවත් තෙරුන්වහන්සේලා සැට නමක් සමඟ වාසය කළ භූමියේ දකුණු දළදාව තැන්පත් කර සෝම විහාරය තැනවූ බව පාළි ධාතුවංශය, සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලි නම් ග්‍රන්ථවල දැක්වේ. ධාතු වංශයේ සඳහන් වන්නේ සේරුවිල කෙ‍ළවර පැරණි සෝම නුවර, ගිරිඅබා රජතුමා විසින් බුදුන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කර ස්තූපයක් කරවූ බවයි. ඒ අනුව සේරුවිල කෙළවර සෝම නුවර පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතය වී ඇත. සේරුවිලේ ජලය දකුණු දිශාවෙන් ඇතුළු වී උතුරු දිශාවෙන් පිටවන බැවින් සේරුවිල කෙළවර යනු උතරු දිශාව විය හැකියැයි විද්වත්හු කියති.  

ධාතුවංශයේ දැක්වෙන්නේ සේරුවිල මංගල මහා සෑය ඉදිකළ කාවන්තිස්ස රජු එය සඟ සතු කිරීම සඳහා සෝම නුවර සිට පෙරහැරකින් සේරුවිල ස්තූපය දක්වා සන්ධ්‍යා භාගයේ ඇතුන් පිරිවරා පැමිණි බවයි. රජු ඇඳිරිවැටීමට පෙර පැමිණි බව ද එහි දැක්වේ. මේ අනුව සෝම නුවර සේරුවිලට සමීපව පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ ඓතිහාසික සාධක අනුව දකුණු දළදාව නිදන් කළ දාගැබ පිහිටා තිබිය යුත්තේ සේරුවිලට උතුරින් ඒ ආසන්න ප්‍රදේශයකය.

නෙළුම්ගම පිහිටි විල්ගම් වෙහෙර යනු සේරුවිල උතුරු දිශාවෙන් හමුවන එකම බෞද්ධ පුදබිමයි. එහි සිට සේරුවිල මංගල මහා සෑයට ඇත්තේ සැතපුම් දෙකක පමණ දුරකි. මේ අනුව අනුමාන කළ හැක්කේ පැරණි සෝම නුවර ලෙස හැඳින් වූ ස්ථානයේ පිහිටියා යැයි ඓතිහාසික කතාවන්හි සඳහන් දාගැබ විල්ගම් වෙහෙර විය හැකි බවයි.

විල්ගම් වෙහෙර පිහිටා ඇත්තේ මුස්ලිම් ජාතිකයන් බහුලව සිටින තෝප්පූර් නමැති නගරය ආසන්නයෙනි.  පැරණි වංශකතාවල ඇති භූගෝලීය සාධක මේ දාගැබ හා මනාව සමපාත වන අතර වාග් විද්‍යාඥයන්ගේ මතය වන්නේ අතීත සෝමපුරය පසුව සෝම්පුර් ලෙස හැඳින්වීමට පටන්ගෙන එය මුස්ලිම් ජාතිකයන්ගේ ආගමනයත් සමග තෝම්පූර් වී වර්තමානයේ තෝප්පූර් ලෙස විකසනය වී ඇති බවයි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා මෙසේ පැවසීය.

”නැගෙනහිර පළාතේ පිහිටි පුරාවිද්‍ය උරුම ස්ථාන ගවේෂණය කිරීමේ සහ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ දී විල්ගම් වෙහෙර පුද බිමේ කැණීම් කටයුතු ආරම්භ කළා. අක්කර හතලිස් නමයකින් යුක්ත පෞරාණික නටඹුන් සහිත ප්‍රදේශයේ පැරණි ස්තූපයක් සහිත නටඹුන් රැසක් පිහිටා තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව කරගෙන යන මේ කැණීම්වලින් ඉතාමත් වැදගත් තොරතුරු රැසක් මතුවී තිබෙනවා. මෙය ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකළ දාගැබක් බවත් පසුව අවස්ථා ගණනාවක දී ම මේ දාගැබ වරින් වර සංරක්ෂණය කර තිබෙන බවත් පැහැදිලි වනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුවිය යුතුයි.”

පුරාවිද්‍යාඥයන් පවසන්නේ විල්ගම් වෙහෙර පුදබිමේ කරන ලද කැණීම්වලින් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හමුවූ බවයි. එමෙන් ම‍ මෙරට චෛත්‍ය ඉදිකළ මුල් කාලයේ චෛත්‍යවල දක්නට ලැබුණු ඡත්‍ර සහ යූප ගලක් ද දැගැබේ කැණීම්වලින් සොයාගෙන ඇත. එමෙන් ම දාගැබ යුග කිහිපයක දී ම ප්‍රතිසංස්කරණය කළ බව ට සාධක හමුවී තිබේ. කෙසේ වෙතත් දාගැබ මේ වනවිට යලි ප්‍රතිසංස්කරණය කර කොත් පළඳවා පූජාවන්ට සුදුසු ආකාරයට සකසා තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා විල්ගම් වෙහෙර පිළිබඳ මෙසේ පැවසීය.

”සේරුවිල හා සෝම නුවර කියන ප්‍රදේශය රෝහණ රාජධානියේ ඉතා වැදගත් ප්‍රදේශයක් වුණා. කාවන්තිස්ස රජුගේ කාලයේ පටන් මේ ප්‍රදේශය ඉතා දියුණුව පැවති බවට සාධක තිබෙනවා. අපි දැනට දාගැබේ කැණීම් කටයුතු අවසන් කර තිබෙනවා. මළුව හා ඒ වටා තිබෙන ප්‍රාකාර කොටස් සංරක්ෂණය කිරීමට අවශ්‍යයි. මේ පුද බිම අවස්ථා කිහිපයක දී ම ප්‍රතිසංස්කරණය කර තිබෙන නිසා ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පොළොන්නරු යුගය දක්වාම ඉදිකිරීම් කළ අවදීන් හමුවෙනවා. අපි මේ අතරින් කවර අවධියක් තහවුරු කරනවා ද කියා තීරණය කළ යුතුයි. අපේ සාමාන්‍ය ප්‍රතිපත්තිය වන්නේ අවසාන අවධිය සංරක්ෂණය කිරීමයි.”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් පවසන්නේ යුද්ධය පැවැති කාලයේ දී උතුරු සහ නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ ගවේෂණය කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි. නමුත් ඉන් පසු එම ප්‍රදේශවල ගවේෂණ කටයුතු ආරම්භ වීම හේතුවෙන් මෙතෙක් හෙළි නොවූ ඉතිහාසයක් අනාවරණය කර ගැනීමට හැකියාව ඇති බවත් ඇතැම් විට වැරදි ලෙස හඳුනාගත් ස්ථාන නිවැරදි කිරීමට අවස්ථාව ලැබෙන බවත් පුරාවිද්‍යාඥයෝ කියති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙසේ කීවේය.

” 2013 වර්ෂයේ දී අපි සැළසුමක් සකස් කළා යුද්ධය පැවැති ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු සහ සංරක්ෂණ කාර්යයන් සිදුකරන ආකාරය පිළිබඳ. ඒ අනුව නැගෙනහි පළාතේ තිබූ විල්ගම් වෙහෙර කියන මේ ස්ථානය ගැනත් අවධානය යොමුවුණා. එදා සකස් කළ සැළැස්මට අනුව පුරාවිද්‍යා ගවේෂණ කටයුතු 2015 වර්ෂයේ දීආරම්භ කළා. මේ දාගැබ වටා ඉතාමත් සුවිශේෂී ඇත් පවුරක නෂ්ඨාවශේෂ අපිට හමුවුණා. මේ ඇත්පවුර අනුව අපිට පැහැදිලියි මේ දාගැබ ක්‍රිස්තු පූර්ව යුගයේ නිර්මාණය වූවක් බව. නමුත් පසු යුගවල දී කරන ලද වෙනස්කම් නිසා ඇත්පවුරට හානි සිදුවෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකළ චෛත්‍යවල කොත්කැරැල්ල වෙනුවට තිබූ යූප ගල සහ ඡත්‍ර අපට මේ දැගැබේ මළුවෙන් හමුවී තිබෙනවා. ඡත්‍ර හතරක කෙටස් ලැබුණා. මේවා පසුකාලීනව කඩා වැටීමේ දී මළුවට පතිත වී තිබෙනවා. ඒ වගේම පුන්කලසක හා ඡත්‍රයක සළකුණක් සහිත පැරණි සිරිපතුල් ගලක් ඇතුළු සිරිපතුල් ගල් කිහිපයක් ද හමුවී තිබෙනවා. දාගැබ් මළුවෙන් ගඩොල් ස්ථර 16ක් හමුවෙනවා. ඉතා දියුණු වාස්තු විද්‍යා ඉදිකිරීමක් බව අපට පැහැදිලියි. මේ ලක්ෂණ අනුව ස්ථිරවම කිව හැකියි මේ ස්තූපය ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකිරීමක් බව. අනුරාධපුර යුගයේ මැද භාගයේ සහ පොළොන්නරු යුගයේ සහස්සමල්ල රජුගේ කාලයේ කාසි හමුවීමෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු එම යුගවල සිදුවී තිබෙන බවත් තහවුරු වෙනවා. “

කෙසේ වෙතත් මේ දක්වාම මෙම විහාරස්ථානය ඉදිකරන ලද්දේ ගිරිඅබා රජු විසින්යැයි තහවුරු වූ සෙල්ලිපි සාධක ලැබී නැත. ඉදිරියටත් මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු සිදුවෙමින් පවතින බැවින් මෙම සාධක තවදුරටත් සනාථ කරගත හැකි වේයැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

විල්ගම් වෙහෙර යනු මෙරට වටිනා පුරාවිද්‍යාත්මක ස්ථාන වත්මන් සමාජයෙන් වසන් වී විනාශ වී යා හැකි බවට ඇති හොඳම උදාහරණයකි. අද වනවිට මේ ස්ථානයේ කරන ලද ගවේෂණ කටයුතු හේතුවෙන් ඉතිහාසයේ වැරදී ගිය ස්ථානයක් නිවැරදි කරගත හැකි මට්ටමට පර්යේෂකයන් උනන්දුවෙමින් තිබුණ ද මෙතැන සදාකාලයට ම කාලයේ වැලි තලාවෙන් වැසී විනාශ වී යාමට ඉඩ තිබිණි.

මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අවශේෂ ඇති බව මුල්වරට සොයා ගන්නා ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවාඅර්ජිත මහාචාර්ය විමල් වි‍ජේරත්න මහතා විසිනි. මෙරට ධාතු වංශය පදනම් කරගනිමින් සිය ආචාර්ය උපාධිය කරන ලද විජේරත්න මහතා 1970 දශකයේ දී ධාතු වංශයෙන් පෙන්වාදෙන ස්ථාන පිළිබඳ ගවේෂණයේ දී මේ ස්ථානය සොයාගෙන තිබිණි.

මහාචාර්ය විජේරත්න මහතා ඒ පිළිබඳ මෙසේ පැවසුවේය.

”සේරුවාවිලේ කෙළවර සෝම නගරය ඉදිකළ බවත් එ් ආසන්නයේ බුදුන්ගේ දකුණු දළදාව නිදන් කර සෝම විහාරය කරවූ බවටත් ඇති වංශකතා සාධකය අනුව මා පර්යේෂණය කරද්දී ගුවන් ඡායාරූප හා 1923 සැකසූ පැරණි සිතියම් උපයෝගී කරගෙන කල සොයා බැලීම්වල දී මා දුටුවා සේරුවාවිල උතුරු කෙළවරේ උසැති කන්දක් වැනි ස්ථානයක් තිබෙනවා. මෙතැන බ්‍රිතාන්‍යයන් විසින් මෙතැන ඓතිහාසික ස්ථානයක් බව ලකුණු කර තිබුණා. මෙතැන පරීක්ෂා කළ මා මගේ නිබන්ධනයේ සඳහන් කළා බුදුන්ගේ දකුණු දළදාව නිදන් කළ ස්ථානය මෙය බවත් එය පුරාවිද්‍යාත්මක කැණීම්වලින් තහවුරු කරගත යුතු බවත්. එදා එතැනට නමක් තිබුණේ නැහැ කඳු ගැටයක් වගේ තිබුණේ ගරා වැටුණු දාගැබක්. සියඹලා ගහක් ඒ මත තිබුණා. එහි යූප ස්ථම්භය මා දුටුවා. අනුරාධපුර මුල් යුගයේ ගඩොල් තිබුණා. අක්කර පනහක පමණ භූමියේ පංචාරාමයක නටඹුන් තිබුණා. පියගැට පෙළ කොටස්, ගල්කණු, සඳකඩ පහන්, කොරවක්ගල්, මුරගල් ආදී නටඹුන් තිබුණා. එක් තැනක පොළවේ අඩක් වැළලී ගිය බුදු පිළිමයක කොටස් තිබුණා. මේ ස්ථානයේ සිටියේ මැටි ගෙදරක පදිංචිව සිටි එක පවුලක් විතරයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේවා සියල්ල විනාශ වෙලා.”

ඔහු පවසන්නේ ධාතු වංශය ඇතුළු වංශකතා සාධකයන්හි සඳහන් තොරතුරු හා භූ විද්‍යාත්මක ලක්ෂණත් වාග් විද්‍යාත්මක සාධකත් අනුව මේ ස්ථානය සෝම විහාරය පිහිටි ස්ථානය බවයි. අතීතයේ සෝම නුවර දැන් තෝම්පූර් වී ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

උතුරු නැගෙනහිර පළාත්හි පැවැති වර්ගවාදී යුද්ධය හේතුවෙන් කිසිවකුගේ අවධානයට ලක් නොවූ මේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පදිංචිව සිටියහ. අවට ප්‍ර‍දේශයේ ඔවුන්ගේ නිවාස ඉදිවූ අතර 2010-2011 වර්ෂ‍යේ දී ප්‍රාදේශීය සභාවේ සිටි මන්ත්‍රීවරයකුගේ ද මැදහත්වීමෙක් එක්තරා පුද්ගලයකු‍ මෙහි ඇති පස් කන්දක් කපා ඉවත්කිරීමට අවසර ඉල්ලන ලදී. එවකට සේරුවිල ප්‍රාදේශීය ලේකම් වරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ පියදාස මහතා මේ ගැන සොයා බැලීමට පරිපාලන ග්‍රාම නිලධාරීවරයා වූ ඒ.ඩබ්ලිව්.ජයවර්ධන මහතාට පැවරුවේය. එය මහා විනාශයක් වැළකී යාමට හේතුවක් විය. ස්ථානය පිළිබඳ සොයා බැලූ ජයවර්ධන මහතාගේ නිගමනය වූයේ මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් බවයි. ඔහු වහාම ප්‍රාදේශීය ලේකම්වරයාට මේ බව වාර්තා කර සිදුවන්නට ගිය මහා විනාශය වළක්වාලූයේය. ඉන් අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දන්වා සිටින ලදී.

මේ අතර මහාචාර්ය විමල් විජේරත්න මහතාගේ පර්යේෂණ නිබන්ධනය ද ග්‍රන්ථයක් ලෙස එළිදැක්විණි. සැඟවී තිබූ උරුමය පිළිබඳ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද අවධානය යොමුවිය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ එතැනට පැමිණි භික්ෂූන් වහන්සේලා සේරුවාවිල කෙ‍ළවරෙහි තෝප්පූර් ආසන්න මේ ස්ථානය බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කළ බව මහාචාර්ය වරයා පවසයි. විලක් ආසන්නයේ පිහිටි ස්ථානයක් බැවින් එයට විල්ගම් වෙහෙර යන නම අලුතෙන් භාවිතයට ගෙන ඇත. එය පුරාණයේ සිට පැවත ආ නාමයක් නොවේ.

එවකට පරිපාලන ග්‍රාම නිලධාරීවරයා වූ ඒ.ඩබ්ලිව්.ජයවර්ධන මහතා මෙසේ කීවේය.

”එදා මේ ස්ථානය පස් කන්දක් කියා කපා ඉවත් කළානම් වෙන්නේ ඓතිහාසික උරුමයක් අපිට අහිමිවීම. අද මෙතැන පුදබිමක් බවට පත්ව තිබීම ලොකු සතුටක්. සැගවී තිබූ ඉතිහාසයක් මතුවෙලා තියෙනවා. මේ ස්ථානයේ පදිංචිව සිටි අය ඉවත්කිරීමේ දී ජාතිවාදී ගැටලු ඇති නොවන ලෙස බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න සිදුවුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිංහල සහ මුස්ලිම් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ගිහින් පදිංචිව සිටින පිරිස් හඳුනාගෙන ඔවුන්ගේ තොරතුරු අරගෙන ඔවුන් ඉවත්කිරීමට කටයුතු කළා. මේ සඳහා වර්තමාන ප්‍රාදේශීය ලේකම් ජී.ආර්.ජයරත්න මහතාත් ඉති විශාල කැපකිරීමක් කළා. මෙය ඇත්තටම සාමූහික ජයග්‍රහණයක්. දැන් පුරාවිද්‍යා උරුමය මතුකරමන් තිබෙනවා. ඒ ගැන විශාල සතුටක් තිබෙනවා.”

මේ වනවිට විල්ගම් වෙහෙර ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිවූ පුද බිමක් බව තහවුරු වී තිබේ. කාවන්තිස්ස රජුගේ සොහොයුරිය සෝමා දේවිය හා ඇගේ සැමියා ගිරිඅබා රජු විසින් බුදුන්ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඉදිකරන ලද සෝම විහාරය දැයි යන්න තහවුරු කිරීමට තවදුරටත් එම ස්ථානයේ පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here