spot_img
spot_imgspot_img

ගාල්ලේ සෞඛ්‍ය නිලධාරිනියකට කොරෝනා. තවලම කොරෝනා මර්ධනය ගැටලුවක්

පුවත්

විදෙස්

තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ (15) තහවුරු වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයකු කීවේය. ඇය පසුගිය දිනවල දී තවලම ප්‍රදේශයේ පදිංචි කරුවන් හා පොළේ වෙළෙන්දන් 500ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගත් නිලධාරිනියයි.

එම නිලධාරිනිය ආසාදිත වීම හේතුවෙන් තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රියදුරන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම පළමු පෙළ ආශ්‍රිතයන්ය.

මේ පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම්වත් කර ඇති අතර කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සියළු දෙනා නිරෝධායනයට යොමුකර ඔවුන් සඳහා පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ කළ යුතුයැයි ඉල්ලීමක් ද කර ඇත.

එසේ වුව ද ගාල්ල දිස්ත්‍රික් වසංතවේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසා ඇත්තේ කාර්ය මණ්ඩලය නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයේ නිලධාරීන් පවසන්නේ පීසීආර් පරීක්ෂණ ලබා ගන්නා අවස්ථාවලදී මුහුණු ආවරණ ඇතුලු සියලු ආරක්ෂිත ඇඳුම් කාර්ය මණ්ඩලය පැළඳ සිටිය ද කාර්යාලයේ දී තේ පානය කරන, ආහාර ගන්නා අවස්ථා වලදී තමන් සියලු දෙනා එකට ආහාර ගැනීම් ද සිදුකර ඇති බවයි. එමෙන්ම රාජකාරී කටයුතු සඳහා එකම වාහනයේ ගමන් කර ඇති බැවින් සෞඛ්‍ය නිර්දේශයන් අනුව කාර්යාලයේ සියලු දෙනා පළමු පෙළ ආශ්‍රිතයන් වී ඇති බවට කිසිදු තර්කයක් නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග බලධාරීන්ට මේ බව පැවසූ විට ඒ ගැන කිසිදු  ආකාරයකින් සැළකිලිමත් නොවන බවත් සෞඛ්‍ය නීති භාවිතා නොකර ඒවා උල්ලංඝනය කිරීමට ඔවුන් කටයුතු කිරීම බරපතල ගැටලුවක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවා දැනුම්වත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චිගෙන් මේ ගැන විමසීමට අප උත්සාහ ගත්ත ද ඔහු පවසන්නේ තමන්ට අවශ්‍ය දේ පමණක් මාධ්‍යවලට දමන්නේ නැතිනම් වෙනත් අයගේ ද ප්‍රකාශ පළ කරන්නේ නම් අපට තොරතුරු කිසිවක් නොදෙන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඇති ගැටලු හේතුවෙන් කොරෝනා පාලනය කිරීමේ දී ප්‍රශ්න සහගත තත්ත්වයන් කිහිපයක් ම මතුව ඇති බව අනෙකුත් නිලධාරීන් පවසයි. එමෙන් ම කාර්යාලවල සිටින නිලධාරීන් කවර උපදෙස් දුන්න ද ආසාදිත හෙද නිලධාරිනියගේ පළමු පෙළ ආශ්‍රිතයන් වී සිටින තමන්ට මහජනතාව ඉදිරියට ගොස් අද (16) දිනට නියමිත කොරෝනා මර්ධන කටයුතු සිදුකළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු නිලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳ වෘත්තීය සමිති මට්ටමින් සාකච්ඡා කරමින් පවතින බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!