spot_img
spot_imgspot_img

බුදුන්ගේ උපත සොයන්න ගිය රාජ්‍ය ඇමතිගේ කණ්ඩායම ගැමියෝ පන්නා දමති

පුවත්

විදෙස්

බුදු රජාණන් වහන්සේ ජිවත් වූයේ ශ්‍රී ලංකාවේ යැයි කියන පිරිසක් සමඟ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හබරණ හිරිවඩුන්න බෝධිරාජරාම විහාරස්ථානයට ඊයේ (08) පැමිණි අවස්ථාවේ දී ගැමියන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.

සිදුහත් බෝසතාණන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල් සිදුවූ ස්ථානයන් පමණක් නොව වැඩ වාසය කළ ස්ථානයන් ද ඊට සමකාලීන රාජ මාළිගා ඇතුළු ස්ථාන රාශියක් අතීත දඹදිව හෙවත් වර්තමාන නේපාලය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලින් සොයාගෙන පුරාවිද්‍යාත්මක ලෙස තහවුරු කර තිබිය දී 2008 වර්ෂයේ පමණ සිට කිසියම් පිරිසක් බුදුන් ශ්‍රී ලංකාවේ ඉපදී ජීවත් වූ බවට මතයක් තහවුරු කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටියි.

ඔවුන් පවසන්නේ බුදුන් බුද්ධත්වයට පත්වූයේ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථාන භූමියේ දී බවයි. නමුත් මෙතෙක් එම ස්ථානයෙන් එවැනි තොරතුරු සනාථ කළ හැකි සාධක කිසිවක් ලැබී නැත. එසේ වුව ද පුරාවිද්‍යාව හා ජාතික උරුමයන් පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට ද එම ස්ථානයට පැමිණෙන්නට යැයි කියමින් මෙවැනි මතයක් ප්‍රකාශයට පත්කරන පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණීම දැඩි ආන්දෝලනාත්මක විය.

විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙමින් එවැන්නක් තවමත් තහවුරු කර නොමැති බවය. එමෙන්ම අසත්‍ය මත පතුරුවමින් විටින් විට විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන්ගෙන් දැඩි හිරිහැරයක් වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්ද එහි රැස්ව සිටි අතර දෙපාර්ශ්වය විසින් එහිදී කරුණු දැක්වනු ලැබීය.

බුදුන්වහන්සේ එම ස්ථානයේ බුද්ධත්වයට පත්වූ බවට සාධක නැතැයි කී පුරාවිද්‍යා නිලධාරීන්ට අමාත්‍යවරයා බැණ වදින ආකාරය ද මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබිණි. ඔහු ඔවුන්ට උපදෙස් දෙන්නේ මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැමිණි පිරිසෙන් අයෙකු විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ට ලොතරැයි පත් බෙදාදීමට උත්සාහ දැරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි ඇතිවිය. ඒ අවස්ථාවේ දී ගැමි‍යන් ඔවුන්ට පහර දීමට පවා උත්සාහ ගත් අතර පොලිසිය ද මැදිහත් වනු දක්නට ලැබිණි. කාන්තාවන් කෑ ගසා කීවේ ගෑනුන් ගහලා එළවන බවයි.

පළුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය බෝගස්වැව විපස්සි හිමි පවසන්නේ මෙය බුදුන් වහන්සේගේ ඉතිහාසය විකෘත්ති කිරීමක් බවයි. පැහැදිලිව ම රාජ්‍ය නොවන සංවිධාන මේ පිටුපස සිටින බවත් ඔවුන් වෙනත් රටවල මුදල්වලින් යැපෙන බවත් හිමයෝ චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!