ශ්රී ලංකාව පුරා සෑම ප‍්‍රදේශයකම විසිරී පැතිරී සිටින දිමියා පහරදුන් විට ඉතාමත් වේදනාකාරී සත්ත්වයෙක් ලෙස මිනිසුන් හඳුනන්නෙකි.
ඉංග්‍රීසි භාෂාවෙන් වියන කුහුඹුවා යන අර්ථය ඇති වීවර් ඈන්ට් ලෙස හඳුන්වන දිමියන් කෝටි ප‍්‍රකෝටි ගණනක් ලෝකයේ දක්නට ලැබුණද වාර්තාවී ඇත්තේ එකම විශේෂයක් පමණි. ඔවුන් සත්ත්ව විද්‍යාත්මකව ඊකොෆයිලා ස්මැරග්ඩිනා ( Oecophylla smaragdina ) නමින් හඳුන්වයි. මෙම විශේෂය සත්ත්ව විද්‍යාත්මකව ලෝකයට හඳුන්වාදී ඇත්තේ 1775 දී ප‍්‍රැබ්‍රිසියන් නමැති විද්‍යාඥයා විසිනි.
ලෝකය අග්නිදිග ආසියාවේ සිට උතුරු ඕස්ට්‍රේලියාව දක්වා මෙම දිමි විශේෂය පැතිර සිටියි.
චීනය, තායිලන්තය, පිලිපීනය හා ඉන්දුනීසියාව වැනි රටවල ආහාරයට ගන්නා කෘමීන් අතර දිමියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. චීන ජාතිකයෝ තම ආහාර වේලේදී දිමි බිත්තර හා කීටයන් කිකිළි බිත්තර සමග ආහාරයට ගැනීම පුරුදුව සිටිති. කුරුල්ලන් සඳහා ආහාර සෑදීමටත් මාළුන් ඇල්ලීමේදී ඇමක් ලෙසත් දිමියා සහ දිමි බිත්තර උපයෝගී කරගන්නා අතර තායිලන්තයේ ඔවුන්ගේ සම්ප‍්‍රදායික බෙහෙත් වර්ග නිෂ්පාදනයේදී ද දිමියා යොදා ගනී.
දිමියා යනු ඉතාමත් සුලබ අපූරු සත්ත්ව විශේෂයකි. ඕනෑම සතුරකු සමග සටන් කිරීමට පැකිළෙන්නේ නැත. තුරු මත ජනපද බිහිකර සාමූහිකව ජීවත්වන්නා වූ සත්ත්ව විශේෂයකි. ඔවුන්ගේ ජනපදයේ නායකත්වය දරන්නේ රැජනක් විසිනි. සාමාන්‍ය දිමියන්ට වඩා විශාල කොළ පැහැති රැජන පැටවුන් බිහිකිරීම සඳහා බිත්තර දමන අතර වෙනත් ගැහැණු සත්තු කම්කරුවන් සේ වෙහෙස නොබලා තම ජනපදයේ සේවය කරති. රැජනගේ අභිජනන කාර්යයට දායක වන පිරිමි සතුන් දිමි ජනපදයක දැකිය හැක්කේ ඉතාමත්ම සුළු පිරිසකි.
දිමියා විදින්නෙක් නොවේ. නමුත් හපාකෑම සිදුවේ. හපාකෑමෙන් හානියක් සිදුවන්නේ නැත. මේ හපාකෑමත් සමගම සිය ශරීරයෙන් දිමියා ශ‍්‍රාවයක් නිකුත් කරයි. ආම්ලික මේ ශ‍්‍රාවය අතිශය වේදනාකාරීය.
නූතන පර්යේෂණ අනුව හෙළිවී ඇත්තේ දිමි කූඩු කිහිපයක් ඇති ගසක දිමියන් ලක්ෂ පහක් පමණ සිටින බවයි. එක් ගසක දිමිගොටු කිහිපයක් සාදයි. මේ කූඩු ස්ථර කිහිපයක පිහිටා ඇත. පහළම මට්ටමේ පිහිටි කූඩුවල වැඩකාර දිමියන් සිටින අතර ඉන් ඉහළ මට්ටමේ කූඩුවක රැජන ජීවත් වෙයි. ඇතැම් විට ආහාර ගබඩා කර තිබෙන ආකාරය ද දක්නට ලැබේ. දෙවන මට්ටමේ ආහාර ගබඩා කර ඇත්නම් ඊටත් වඩා ඉහළ දිමි ගොට්ටක රැජන සිටින්නීය. ඉහළින්ම ඇති දිමි ගොටුව දිමි බිත්තර සහ කීටයන්ගෙන් සමන්විත වේ. මෙය තනි ජනපදයක් නොව විවිධ නිවාස සහිත නගරයක් මෙන් පෙනීයයි.
දිමියන් ගොටු සෑදීමට භාවිතා කරන ක‍්‍රමය විශ්මිතය. ඔවුන් ඒ සඳහා තම කීටයා උපයෝගී කැර ගනී. වැඩිහිටි දිමියකුට ඇලෙන සුළු ඛේටය නැත. අමු කොළ දෙකක් එකිනෙක ලං කරගන්නා දිමියන් ඒ වෙත කීටයන් රැගෙන එයි. කීටයන්ගේ උදරය මදක් හැපූ විට ඔවුන්ගෙන් සේද පිටවීමක් සිදුවේ. ඇලෙන සුළු මේ සේද කොළ දෙක ඇලවීමට ප‍්‍රමාණවත්ය. කීටයන්ගෙන් පිටවන සේදයෙන් කූඩු තනන බැවින් දිමියා වීවර් ඈන්ට් ලෙස හඳුන්වයි. වැඩිහිටි දිමියන්ට මේ සේදය පිටකිරීමේ හැකියාවක් නොමැත.
ආහාර සෙවීම සඳහා වැල නොකැඞී පරිසරයේ ගමන් කරනා දිමියා තමන්ට හසුවන ඕනෑම දෙයක් කා දැමීමට පසුබට වන්නේ නැත. තමන්ට වඩා කිහිප ගුණයකින් විශාල කෘමීන්, දළඹුවන් පවා ආහාරයට ගන්නා දිමියා ඇතැම් විටෙක සතුන් වටකර පහර දී ආහාරයට ගැනීමට පවා උත්සුක වන ආකාරය දක්නට ලැබේ. මල්පැණි, ශාක කොටස් ද ඔවුන්ගේ ආහාරයට එක්වේ.
දිමියා ගමන් කිරීමේදී දක්නට ලැබෙන සුවිශේෂී දෙයක්නම් ඔවුන් විසින් ගොඩනගන්නා වූ තාවකාලික පාලමයි. දැඩි සහයෝගයකින් කටයුතු කරන දිමියා සාමූහිකත්වයේ ප‍්‍රතිමූර්තියක් වැනිය. තමන්ට ගමන්කිරීමට අපහසු ස්ථානයක් ඇත්නම් එකිනෙකා අල්ලාගෙන පාලමක් සේ සකසා ඒ මතින් අනිත් දිමියන්ට ගමන් කිරීමට ඉඩ සලසා දෙති.
මිනිසුන් ගවයන්, එළුවන් ඇතිකරමින් ප‍්‍රයෝජන ගන්නාසේ දිමියෝද සතුන් ඇතිකිරීමට පුරුදුව සිටිති. ඔවුහු පිටිමකුණන් වැනි සතුන් යම් ගසක බෝවී ඇත්නම් එතැනට පැමිණ ඔවුන් ආරක්ෂා කරති. මේ සතුන් ස්පර්ශ කළ විට බහිශ‍්‍රාවීය ද්‍රව්‍යයක් පිටවන බව දිමියෝ දනිති. ඒ බහිශ‍්‍රාවීය බින්දුවේ අති සාන්ද්‍ර සීනි සංයෝගයක් ඇත. එය දිමියන් ඉතා ප්‍රියකරන ආහාරයකි. පර්යේෂකයන් පවසන්නේ මෙය මිනිසා හරක් ඇතිකොට කිරි ලබාගැනීමට සමාන කාර්යයක් බවයි.
මෙලෙසම දළඹුවන් විශේෂ කිහිපයක් ද තමන්ට අවශ්‍ය ආහාර බාගැනීම සඳහා දිමි ගොටුව තුලට ගෙනයන්නට දිමියෝ පුරුදුව සිටිති. දිමියන් ඔවුන් හොඳින් ආරක්ෂා කළ ද ඒ දළඹුවෝ දිමියාගේ කීටයන් කා දමන අවස්ථා ද තිබේ.
ලක්ෂ ගණනක පිරිසක් එකම ස්ථානයක සාමූහිකව ජීවත් වුව ද දිමියාට විටින් විට සතුරන්ට මුහුණ දීමට සිදුවන අවස්ථා ද තිබේ. දිමියා වැනි වර්ණයකින් යුතු මකුළුවෙක් පරිසරයේ ජීවත්වේ. දිමියාගේ හැඩය සහ වර්ණයෙන්ම යුතු මේ මකුළුවාගේ ඇති වෙනස වන්නේ ගාත‍්‍රා හතරක් සහිත වීමයි.
දිමි ගොටු තුලට හොර රහසේ රිංගා ගන්නා මේ කුඩා මකුළුවා දිමියන්ගේ බිත්තර සහ කීටයන් කා දමමින් ජීවත් වෙයි. දිමියන්ට තම සතුරා හඳුනාගන්නට හැකියාවක් නැත.
ශ්‍රී ලංකාවේදී අඹ, ජම්බු, වෙරළු සහ අනෝදා වැනි ශාක වල කූඩු සෑදීමට වඩාත් පි‍්‍රයකරන දිමියා ජෛව පාලනයට යොදාගත හැකි සත්ත්ව විශේෂයකි. අප්‍රිකාවේ සහ ඉන්දුනීසියාව වැනි රටවල දෙහි සහ දොඩම් වගා පළිබෝධකයන්ගෙන් බේරාගැනීමට දිමියන් ඇතිකරයි. ආහාර, ඖෂධ හා වගාවන් ආරක්ෂා කරගැනීමට මහා පරිමාණයෙන් යොදා ගත හැකි දිමියා මිනිසාට හිතකර ලක්ෂණ පෙන්නුවද ඔවුන් ඇති කිරීම ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතුය. දිමියා හපාකෑම නිසා උදරයෙන් පිටවන සිට්ට‍්‍රස් අම්ල ද්‍රාවනය අතිශය පීඩාකාරීය.
රාත්‍රී කාලයේදී තම දිමිගොටුව තුළට හැකිතරම් රිංගා ගන්නා දිමියන් අතරින් එසේ යාමට නොහැකි වූ ඇතැම් වැඩකාර ගැහැණු සතුන් ශාකය මත ආරක්ෂිත ස්ථානයන්හි උදාසීනව සිටිති. රාත්‍රිය පුරාම ඔවුහු එකතැනකට වී සිටිති.
ශ‍්‍රී ලංකාවේ ඇතැම් ධීවරයෝ දිමි බිත්තර සහ කීටයන් මසුන් ඇල්ලීමේ ඇමක් ලෙස භාවිතා කරති.
පරිසර නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේ දිමියා ආරක්ෂිත සත්ත්වයකු නොවන බවයි.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
දිමියන්ගේ බිත්තර හෝ කීටයන් එකතුකිරීමේ නීතිමය අවහිරයක් නැහැ. නමුත් අභයභූමියක් තුළ කිසිදු සත්ත්වයකුට හෝ ඔවුන්ගේ ජීවන චක‍්‍රයේ අවස්ථා වලට හෝ වාසස්ථාන වලට හානි කළ නොහැකියි. මීට වරස කිහිපයකට පෙර කිරල කැලේ අභය භූමියේ දී දිමි බිත්තර එකතු කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ හත්වැනි වගන්තිය අනුව ද`ඩුවම් ලැබිය හැකි වරදකි.
නීතිය එසේය. දිමියන් යනු ලෝක ආහාර අර්බුදයට මනා විසඳුමක් ලබාගත හැකි ආහාර ප‍්‍රභවයක් බව මේ වනවිට ලෝකය පිළිගෙන තිබේ.
(සජීව විජේවීර)
විශේෂ ස්තූතිය – ලක්මන් වීරතුංග
ජාතික කෞතුකාගාරයේ විශ‍්‍රාමලත් කීට විiාඥ සහ සත්ත්ව විiා උපදේශකයකි