spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරෝනා පාලනය හෙවත්, අහක යන නයි රෙද්ද අස්සේ දමා ගැනීම

පුවත්

විදෙස්

මම දැඩි සංචරණ සීමා ඇතැයි කියන ප්‍රදේශයේ නිදහසේ සංචාරය කළ ආගන්තුකයෙක්මි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08ක දැඩි සංචරණ සීමා පනවා ඇති බව රජයේ ඊයේ (11) නිවේදනය කළේය. එමෙන්ම ලබන සඳුදා (14) විවෘත කිරීමට තීරණය කර තිබූ ගාල්ල අධ්‍යාපපන කොට්ඨාසයේ පාසල් යළි 18 වැනි දා දක්වා වසා දැමීමටත් තීරණයක් ගත්තේය.

මේ සියලු තීරණවල මුලසුන දැරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේය.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි ඇතුළු සෞඛ්‍ය අංශ සංචාරක සීමා පනවන ලෙස නිර්දේශය ලබාදුන් විට ආණ්ඩුකාරවරයා සාකච්ඡා කිහිපයකින් පසු ගාල්ලේ ග්‍රාම නිලධාාරී වසම් 05කට සීමා සහිත සංචරණ සීමා දැමුවේය. පාසල් ද වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිණි. පොලිසිය මේ බව වාහනයක බැඳගත් ශබ්ද විකාශන යන්ත්‍රයකින් ප්‍රදේශයේ ප්‍රචාරය කළේය. ඉන් පසු ගාල්ලේ තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් ද ඇතුළුව ඊයේ (11) කොරෝනා ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමඟ තවදුරටත් පාසල් වසා තැබීමටත් සංචාරක සීමා දැඩි සංචාරක සීමා බවට පත්කිරීමටත් තීරණය කළේය.

ඒ තීරණය ගත්තේ සෞඛ්‍ය බලධාරීන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අතර ලබුදූව දක්ෂිණ පායේ පැවැති රැස්වීමක දී ය. මේ සඳහා මාධ්‍යයෙන් ද පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

රටම දන්නේ ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 08ක දැඩි සංචරණ සීමා පනවා ඇති බවයි. මේ සීමා පනවා ඇත්තේ කෝන්ගහ, තලාපිටිය, මිලිද්දුව, මකුළුව, දෙද්දුගොඩ උතුර, ඇත්තිලිගොඩ දකුණ, දංගෙදර නැගෙනහිර සහ දෙද්දුගොඩ දකුණ යන ග්‍රාම නිලධාරී වසම්වලටය.

මේ වනවිට ඒවායේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක වන බැවින් කිසිවෙකුට නිවසින් පිටතට යාමට හෝ තම නිවසට අමුත්තන් ගෙන්වා ගැනීමට නොහැකි විය යුතුය. මේ ප්‍රදේශයට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටව යාමට හෝ නොහැකි විය යුතුය. අත්‍යාව්‍ය සේවා වන ආහාර අළෙවි සැල්, ඖෂධ ශාලා සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන හැර අනෙකුත් සියලු ස්ථාන වසා දමා තිබිය යුතුය.

නිරෝගී තනි පුද්ගලයකුට පමණක් සෞඛ්‍ය අංශ හෝ ආරක්ෂක අංශ අනුදැනුම මත පමණක් තම නිවසින් බැහැරව යා හැකි අතර ඒ යා හැකි වන්නේ ද අත්‍යාවශ්‍යම කරුණකට පමණි.

නමුත් ගාල්ලේ දැඩි සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ජනතාව වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි හැසිරෙමින් සිටින බවට අපගේ පාඨකයන් විසින් දැනුම් දීම හේතුවෙන් එය තහවුරු කර ගැනීමට අවදානමක් ගෙන අපි එම ප්‍රදේශයේ සංචාරය කිරීමට තීරණය කළෙමු.

යතුරුපැදියකට නැගුණු මම කිසිදු බාධා කිරීමකින් හෝ වැළැක්වීමකින් තොරව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැනට දැඩි සංචාරක සීමා පනවා ඇති සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාසවල සංචාරය කළෙමි. මා ප්‍රදේශයට ආගන්තුකයෙකි. නමුත් සෞඛ්‍ය නීති අනුව මා වළක්වන්නට කිසිවෙකුත් නැත.

මේ ප්‍රදේශවල මම දන්නා හඳුනන නිවාස කිහිපයකට ද ගියෙමි.

“ආ.. වරෙන් වරෙන්. ගොඩක් කාලෙකින්.” යැයි එක් මිතුරකු මා පිළිගත්තේය.

තවත් නිවසකට ගිය විට ඒ මිතුරා ගාල්ල නගරයට ගොසිනි. ඔහුගේ නිවස යාබද නිවසින් ද ඊයේ කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇත.

තවත් මිතුරකුගේ නිවසට ගිය විට ඔහු පාරට ගිය බව ඔහුගේ බිරිඳ කීවාය. මදවේලාවක් සිටින විට ඔහු තම කුඩා දියණිය ද සමඟ යතුරුපැදියේ නැගී පැමිණියේය. ඔහු ගොස් තිබුණේ දුරකථන කාඩ් පතක් මිලදී ගැනීමටය. කුඩා දියණියට මුඛ ආවරණයක් හෝ නැත.

මම තවත් මිතුරකුගේ නිවසට ගොඩවුණෙමි. ඔහු අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ප්‍රදේශයෙන් බැහැරව ගොසිනි.

මා තවත් අයෙකුට කතා කළ විට කීවේ තමන්ගේ හොඳම මිතුරකු අලුත්ගම ප්‍රදේශයේ උත්සවයකට සහභාගී සිටිය දී ප්‍රදේශයේ සංචරණ සීමා දැමූ නිසා ගාල්ලට පැමිණ ඇති බවයි. ඉන් පසු ගාල්ලේ සංචාරක සීමා දමන බැවින් ගාල්ලෙන් පිටත්ව කොහේ හෝ යාමට ඔවුන් උත්සාහ ගන්නා බැවින් ඒ පිරිස ආපසු ඇරලවීමට තම රථයෙන් ගාල්ලට ගිය බවයි. ඔහු හමුවීමේ අදහස අතහැර මම ආපසු හැරුණෙමි.

මේ ප්‍රදේශයේ නිදහසේ සැරිසරන පිරිස් බොහොමයකි. සියලු ව්‍යාපාරික ස්ථාන විවෘත කර තිබේ. පාර අයිනේ ලොතරැයි වෙළෙන්දා, කොස් වෙළෙන්දා පමණක් නොව සුපිරි වෙළඳ සැල් ද විවෘත කර ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැල්ද, විසිතුරු මසුන් හා විසිතුරු පැල විකුණන ස්ථාන ද, ඇඳුම් පැළඳුම් පමණක් නොව ලී බඩු වෙළෙඳ සැල් ද විවෘතව ඇත්තේ ඒවා ද වසංගත කාලයක වසංගතයක් පැතිරෙන ප්‍රදේශයක ජීවත්වන්නන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසා විය යුතුය.

මේ ගාල්ලේ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරයයි.

කොරෝනා යනු මාරාන්තික වසංගතයකි. බහුතරයක් මේ වයිරසය ආසාදනයවීමෙන් පසු නොමැරී ජීවත්වුව ද ඉන් ඇතිවන පසුකාලීන රෝගාබාධ ගැන කිසිවෙකුත් තවමත් දන්නේ නැත. මේ ලෝකයම තවමත් අල්ප වශයෙන් දන්නා හෝ නොදන්නා වයිරසයකි. මේ වයිරසය සෑදී දින 14කින් සුවපත් වන බව කීව ද සෑදි තුන්වැනි වතාවටත් යළි යළිත් කොරෝනා ආසාදනය වූ පිරිස් මේ රටේත් පිට රටවලත් සිටිති. දින 14ක් නිරෝධායනය වූ පසු එය තමන්ට ලැබුණු විශේෂ බලපත්‍රයක් යැයි ඇතැම් අය සිතා සිටිය ද දින 14ක් නොව දින ව 28ක නිරෝධායනය සම්පූර්ණ වී 28 වැනි දිනයේ ගත් පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වූ අය වැඩි ඈතක නොව ගාල්ල දිස්ත්‍රික්කයේම සිටතී.

දැන් ගාල්ලෙන් පාසල් දරු දැරියෝ ද කොරෝනා ආසාදිත බවට වාර්තා වී තිබේ. තවත් විශාල පිරිසක් නිරෝධායනයේය. පීසීආර් පරීක්ෂණ තොග පිටින් කළ අවස්ථාවක දී ඊට සහභාගී වී තමන් නෙගටිව්යැයි කියා උදම් අනමින් නගරය පුරා සංචාරයේ යෙදෙන බොහෝ දෙනකු තවමත් වයිරසය ඇඟ ඇතුළේ තබාග් පිරිසක් විය හැකි බව ඔවුන් නොදන්නවා විය හැකිය. මේ ජනතාව හිතන්නේ ගාල්ලේ අපේ ගම්වල 3000ක් විතර පීසීආර් කරලා අපි නෙගටිව් නිසා දැන් බයක් නෑ කියාය. අටලුගමටත්, බොරැල්ලටත්, සිදුවූයේ එවැනි නස්පැත්තියකි.

ගල්ලේ ජනතාව සීමාසහිත සංචරණ සීමා පයිසෙකට මායිම් කළේ නැත. ඊයේ (11) ගාල්ලට දැඩි සංචරණ සීමා දැමුව ද තවමත් තිබෙන්නේ වෙනදා මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශයකි. සංචරණ සීමා ක්‍රියාත්මක වන බවක් එහි පෙනෙන්නට නැත. ප්‍රධාන මාර්ගවල පමණක් නොව ප්‍රදේශයේ අතූරු මාර්ගවල ද තත්ත්වය එසේය. තනිපොල්ගහ හන්දියේ ත්‍රී රෝද රථ ගාල අසළ සිට කනම්පිටිය පැත්තට යාමට මට වාහන තදබදය නිසා විනාඩි 03-04ක් බලා සිටින්නට ද සිදුවිය.

ඉතින් කොරෝනා වැළඳීම පහසුවෙන් වළක්වාගත හැකිව තිබිය දී දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක නොවීමෙන් සිදුවන්නේ කොරෝනා වසංගතයෙන් බේරීම නොව එය තමන් අසළට කැඳවා ගැනීමකි. දැඩි සංචරණ සීමා යනු මාධය සංදර්ශනයකි.

සිදුවන්නේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා මෙන් පැත්තක ඇති කොරෝනා වසංගතය තමන් අසළට වැද්දා ගැනීමයි.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!