මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම් සිදුව ඇතත් මියගිය කිසිවෙකුගේ මරණයට හේතුව වෙඩි වැදීම නොවන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසයි. ඔහු පවසන්නේ මරණ පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බවයි.
ඔහු මේ බව කියා සිටියේ අද (03) පාර්ලිමේන්තුවේ දි අදහස් දක්වමිනි.
“බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරින් කිසිම කෙනෙක් මැරිලා නෑ. ඒ මැරිලා ඉන්න සියලු දෙනා මැරිලා තියෙන්නේ. ඇතුළේ කට්ටිය ගහගැනීම නිසා. වෙඩි පහරවල් තියලා තියෙනවා. නමුත් මැරිලා නෑ. මරණ පරීක්ෂණවලින් ඒ බව තහවුරු වෙලා තියෙනවා.“
බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවූවන් 11 දෙනෙකු මියගොස් තිබුණි.
තුවාල ලැබූ රැඳවූවන් ගණන 106කි.
ඉන් 28දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත්, 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත්, තවත් රැඳවියෙක් කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබති.
සුළු තුවාල ලැබූ රැඳවියන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යළි මහර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
එමෙන්ම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ විමර්ශන ආරම්භ කළේය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර යන කණ්ඩායමයි.