වනජීවී රාජ්‍ය ඇමතිවරයා හා වනජීවී නිලධාරීන් අතර ගැටලුකාරී තත්ත්වයකට හේතුවූ ජල ගැලුම් නිම්නයේ අනවසර ගව ගාල් කිහිපයක් කඩා ඉවත් කිරීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් කටයුතු කළහ.
සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ඇතුළු පිරිසක් මෙලෙස කටයුතු කර තිබේ. ඒ හිමිවරු පවසන්නේ වනජීවී රාජ්‍ය ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැක මෙහි ඇත්ත තත්ත්වය බැලීම සඳහා මෙම වනෝද්‍යානයට පැමිණි බවයි.
ජල ගැළුම් නිම්න වනෝද්‍යානය අවට ගම්මාන කිහිපයක ජනතාව තමන් මෙතෙක් වගාකළ ඉඩම් වගා කටයුතු සඳහා ලබාදෙන ලෙසත්, ගවයන්ට තෘණ ආහාරයට සඳහා ලබාදීමට ඉඩ දෙන ලෙසත් වනෝද්‍යානය මැදින් වැටී ඇති මාර්ගයක් යළි විවෘත කර දෙන ලෙසත් ඉල්ලා වනජීවී ආමත්යවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි. ඒ පිළිබඳ කරුණු සොයාබැලීමට අමාත්‍යවරයා සහ වනජීවී නිලධාරීන් එහි ගිය අවස්ථාවක දී වනජීවී නිලධාරීන් ගැමියන්ගේ ඉල්ලීමට විරුද්ධවීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.
ඉන්පසු වනෝද්‍යානය නිරීක්ෂණයට ගිය හිමිවරු පවසන්නේ මෙම වනෝද්‍යානයේ පාරිසරික වටිනාකමක් සේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ද ඇති බව තමන්ට නිරීක්ෂණය කළ හැකි වූ බවයි. වනෝද්‍යානයේ ඇතැම් ස්ථානවල තිබෙන පැරණි ගල්කණු හරකුන් ගැට ගැසීමට පවා යොදාගෙන ඇතැයිද හිමිවරු කියති.
වනජීවී නිලධාරීන් සිටින ස්ථාවරය නිවැරදි බවත් නමුත් ඇතැම් නිලධාරීන් දේශපාලකයන්ගේ වුවමනා ඉටු කිරීමට කටයුතු කිරීම පිළිකුල් සහගත බවත් චන්ද්‍රරතන හිමියෝ කීහ.
හිමියෝ වැඩිදුරටත් මෙසේ ද කීහ.
“මේ වනෝද්‍යානය බේරාගැනීමට 2016 වනවිට නඩු 219 පවරා තිබුණා
2019 හා 2020 වර්ෂවල ඒවායේ තීන්දු ලැබී තිබෙනවා. නමුත් මේ තීන්දු ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගවගාල් ආදිය ඉවත්කරන්න වනජීවී නිලධාරින්ට මුදල් අවශ්‍යයි. අපි දන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන රැස්වීම්වල දී අතැම් ලේකම්වරු මේ මුදල් නොදීමට තීරණය කළ බව. ආණ්ඩු මාරුවෙලා දේශපාලකයන් මාරු වුණාට ඇතැම් නිලධාරීන් තවමත් වැඩ කරන්නේ පරණ විදියටමයි. මේවා වෙනස් වෙන්න ඔ්නෑ. මේ වනෝද්‍යානය අපි බේරාගත යුතුයි. එහි පරිසර වටිනාකමක් විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මකව විශාල වටිනාකමක් තිබෙන බව අපි දුටුවා.”
වනෝද්‍යානයේ තිබූ ගව ගාල් කිහිපයක් කඩා දැමීමට ද හිමිවරු කටයුතු කළහ.